Showing posts with label චරිතකථා. Show all posts
Showing posts with label චරිතකථා. Show all posts

22 January 2014

සර්කස් පැසිපියා නළුවෙක්වූ හැටි




මේ කතාව මෙයිට දශක කිහිපයකට ඉහතදී සිදුවූ සත්‍ය කතාවක්.  ඒ කියන්නේ ලංකාවේ සිංහල සිනමාව අතිශයෙන් ජනප්‍රිය වෙච්චි කාලයක් තිබුනනේ ආන්න ඒ කාලේ .  ඒ කාලේ තමයිලු ලංකාවේ සිනමාවේ නැගීමක් තිබුනේ හොද දක්ෂ කම් වලින් සපිරුණු නළු නිලියෝ කැලක් ඒ කාලේ අපිට හිටියා  ඒ කාලේ ඉපදෙන්න ඕනේ නැහැ අපේ කාලේ ඉපදුන කෙනෙක්ට උනත් පරණ චිත්‍රපටයක් බැලුවම ඒ වෙනස තේරුම් ගන්න පුළුවනි තාක්ෂනය අතින් දුර්වල තලයක තිබුණු යුගයක උනත් රගපෑම් තීර රචනා ගීත රචනා අතින් මේ කාලේට වඩා දියුණුවක් ඒ කාලේ දකින්න තිබුනා ..

උදාහරණයක් හැටියට “කොළඹ සන්නිය” චිත්‍ර පටය අරගෙන බලන්න ඒ තරම් හාස්‍යජනක සිංහල චිත්‍ර පටයක් මම නම් මේ කාලේවත් දැකලා නැහැ. එහෙම බලද්දී ලංකාවේ සිනමාව ගමන් කරලා තියෙන්නේ ඉදිරියට නෙමෙයි ආපස්සට ඒත් දැන් දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා ආයෙමත් ඉදිරියටම යන ලක්‍ෂණ පෙන්වන චිත්‍රපට කිහිපයක් බිහිවුණා මෑතකදී .

මෑත කාලේ වැඩක් නැහැ මේ කතාවට අදාළ සිද්දිය අයිති ඈත කාලේට නිසා අපි යමු ආයෙමත් ඈත කාලේටම .

මේ කාලේ විජය කුමාරතුංග, ජීවන් කුමාරතුංග , සනත් ගුණතිලක ,ශෂී විජේන්ද්‍ර ,ලාල් වීරසිංහ  කියන්නේ සිනමාවේ සුපිරි වීරයෝ  දැන්කාලේ චිත්‍රපට නළු නිළියන්ට නොතිබුන ජන ප්‍රසාදය ඒ කාලේ මේ උදවිය දිනාගෙන තිබුනා , සබීතා පෙරේරා , මාලනී පොන්සේකා ,ගීතා කුමාරසිංහ වගේ නිළියොත් එහෙම තමයි . 


කොතැනක ගියත් සමරු පොත් අරගෙන රසිකයෝ වටවුනා කැමරා උස්සගෙන රසිකයෝ වටවුනා තමන් ප්‍රිය කරන නළුවා හෝ නිළිය සමග එකට ඉදලා ෆොටෝ කෑල්ලක් ගහගන්න  එහෙම ගත්තු ෆොටෝ සමහර ගෙවල්වල රාමුකරලා කාටත් පෙනෙන තැනකින් තියලා තියෙනවා එහෙම මම දැකලා තියෙනවා  කිහිපතැනකදීම .



ඒ කාලේ තව දෙයක් තමයි නළු නිළියන්ට ලිපි ලියන එක අපරාදේ කියන්න බැහැ ඉතින් ලිපි විස්සක් විතර යැව්වම පිළිතුරු ලිපි එකක් දෙකකුත් ලැබෙනවා ඒ බව මම දන්නේ අපේ අසල්වැසියෝ කිහිප දෙනෙකුත් ඔය ලියුම් ලියන වැඩේ ජයටම කරපු නිසා ඒ සංදියේ මම හිච්චි කොලුවා ඒ හන්දා මට ඒ වගේ ලියුම් කරදහියක් ලියලා තැපැල් කොරගන්න තරමේ හපන් කමක් කරන්න හැකියාවක් තිබුනේ නැහැ නැත්නම් මාත් ලියනවා නිලියෙක්ට .

මේ කාලේ හිටිය බොහොමයක් තරුණ තරුණියන්ට චිත්‍රපට පිස්සුව තිබුනා සමහර උදවිය සිනමා ශාලාවට එන හැම චිත්‍රපටයක්ම නරබන තරමට චිත්‍රපට පිස්සුව තිබුන අතර චිත්‍රපට පිස්සුව උත්සන්නම වෙච්චි පිරිස ඔය චිත්‍රපට වලට සම්භන්ධ එක එක චරිත අධ්‍යක්ෂක වරු , කැමරා කාරයෝ ,ලයිට් අල්ලන අය, තේ හදන අය වගේ අය පස්සෙන් ගිහින් රගපාන්න සුළු චරිත ඉල්ලගන්න වෙහෙසුනා .

මෙන්න මේ කාලේ ලංකාවේ තිබුනා ජනප්‍රිය සර්කස් කණ්ඩායමක්. ඒ සර්කස් කණ්ඩායමේ හිටිය තරුණයෙකුටත් මේ චිත්‍රපට පිස්සුව තදින්ම වැළදිලා තිබුනා. සර්කස් කණ්ඩායමේ නම පැසිපියා වගේ මතකයක් තිබෙන නිසා මම මේ තරුණයාටත් පැසිපියා කියලම නම තියන්නම්  .



ඔන්න ඉතින් පැසිපියා තරුණයත් කාලේක ඉදලම  චිත්‍රපටයක රගපාන්න අවස්ථාවක් ලබාගන්න වෙහෙසුනා. ඒත් කවදාවත් ඒ වැඩේ හරියන පාටක් තිබුනේ නැහැ වැඩක් හරි යාගෙන එනකොට මොකක් හරි අලකලංචියක් වෙලා අවස්ථාව ගිලිහිලා  යනවා ඒ තරම් නරක කාලයක් ලබලා තිබුනත් අපේ පැසිපියා තරුණයා නෙමෙයි උත්සාහය අත හැරියේ. දිගටම උත්සහ  කළා..  

සර්කස් කණ්ඩායමේ පුහුණුවීම් අතපහුකරගෙන ,සංදර්ශන වලට සහභාගී නොවී චිත්‍රපට වලට නළුනිලියෝ තෝර ගන්නා සම්මුඛ පරීක්ෂණ වලට ගිහින් රැයක් දවාලක් නැතිව රස්තියාදු වෙන්න ගත්තා ඒත් ප්‍රතිඵලය අරකම තමයි “නෝ චාන්ස් “   පැසිපියා තරුණයාට ඒ කාලේ හිටි ප්‍රසිද්ධ නළුවෙකුට සමාන මුහුණුවරක් තිබුනට මොකද රගපෑමේ දක්ෂකම නැති නිසාමදෝ යන යන තැනින් අසමත් වෙනවා මිසක වෙන දෙයක් වුනේ නම් නැහැ ..

ඒත් මිනිස්සුන්ගේ අධිෂ්ඨානය කියන්නේ බොහොම බලගතු දෙයක්  කෙනෙක්ට යමක් ලබාගන්න ඕනෙමයි කියලා ඒ දෙය වෙනුවෙන්ම කැපවුනොත් කවදාහරි දවසක  ඒ තැනට ලංවෙන්න පුළුවන් ඒක තමයි ධනවාදී චින්තනය කියන්නේ , පැසිපියා ඔය කියන චින්තනේ දැනගෙන නොහිටියා වුනත් ඔය රගපෑම මත්තෙම නැහුන නිසා දවසක් ප්‍රසිද්ධ චිත්‍ර පටයක ජනප්‍රිය නළුනිලියෝ එක්ක රගපෑමේ වරම උදාකරගත්තා .

ඒක උනේ මෙන්න මෙහෙමයි ...

දවසක් පැසිපියා චිත්‍රපට ෂූටින් කරන තැනකට ගිහින් චරිත ඉල්ලලා  චාටර් වෙලා ආයෙත් හිස් අතින්ම ඇවිත් නයා මැරිච්ච නයි පනික්කියා වගේ මූනක් හදාගෙන වාඩි වෙලා උන්නා සර්කස් එක ඉස්සරහා ..  ඔහොම ඉන්නකොට පැසිපියාගේ පරණ යාළුවෙක් එනවා එතැනට..

“ඒයි පැසිපියා මොකද බං නිකන් දාහට අරන් සීයට දුන්නා වගේ මුණ එල්ලගෙන ඉන්නේ .. තාම බැරි උනාද පික්චෑර් එකකට මුණ ඔබා ගන්න ..”

“ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ බං, යන යන හැම තැනින්ම  මාව කැපිලා යනවා.. උන්ගේ දෙබස් වලට හරියන විදියට මගේ මුඩ් එන්නේ නැහැ කියනවා නෙවැ...”

“ඒවා ඕනේ නැහැ ..මම දන්න මහත්තැන් කෙනෙක් ඉන්නවා මම වැඩේ කරලා දෙන්නම්  හැබැයි පැසිපියෝ වැඩේ කෙරුනට පස්සේ මට සලකන්න වෙයි ඈ...”

“අනේ මේ මොනවා කතා කරනවද මචෝ පික්චැර් එකකට මුණ දාගන්න චෑන්ස් එකක් අරගෙන දුන්නොත් මම උබට සලකන්නේ දෙයියෙක්ට වගේ ...”

“එහෙනම් හෙට උදේම යමු ..”

පැසිපියත් උදේම නැගිටලා අලුත් ඇදුමක් එහෙම ඇදගෙන නළු බට්ටා වගේ යාළුවත් එක්ක පිටත්වුණා.. යාලුවා අදුනන චිත්‍රපට මහත්තයා හමුවෙන්න . මේ මහත්තයත් එසේ මෙසේ කෙනෙක් නෙමේ චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් ...

ඔන්න දැන් යාළුවා පැසිපියාගේ සියලුම විස්තරයි ආව කාරනෙයි කියලා අධ්‍යක්ෂක තුමාට පැසිපියාව හදුන්වලා දුන්නා.. අධ්‍යක්ෂක තුමත් පැසිපියා දිහා පරීක්ෂාවෙන් බලාගෙන ඉදලා කතාව පටන් ගත්තා ..

“හොදයි මම ගැලපෙන චරිතයක් දෙන්න බලන්නම් ..තමුන් සර්කස් එකක නේද වැඩ කරනවා කිවේ ..

“ඔව් මහත්තයා මම තමයි අහවල් සර්කස් එකේ ඉන්න හොදම වැඩකාරයා.. මම නැත්නම් සර්කස් එක හබක් ..”
පැසිපියත් දෙපාරක් නොහිතා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන තමන්ගේම ගුණ වයාගත්තා .

“ඒ කියන්නේ එහෙනම් ඔහේට හිටි පිනුම් , බඩ පිනුම් එහෙමත් ගහන්ඩ පුළුවන් ඇති ..”

“මහත්තයා මේ බඩපිනුමක් කතා කරනවා මට ඕනෑම තැනක ඔනෑම බල්ටියක් කරණමක් උඩු කරණමක් ගහන්න පුළුවන් ආයේ තිතට .”

“එහෙමද එහෙනම් ආන්න අර මිදුලට ගිහින් මට කරණම් ටිකක් ගහලා පෙන්නනවා ..”

පැසිපියත් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන මිදුලට බැහැල දන්න හැම සිල්පයක්ම දාලා පෙන්නනවා.. පැසිපියාගේ සර්කස් වැඩ කෑලි දකින අධ්‍යක්ෂකගේ ඇස් උඩ යනවා ..

“තමුසේ මාර වැඩ කාරයෙක්නේ.. මම තමුසේ වගේ කෙනෙක්ව තමයි හොය හොයා හිටියේ මම දිනයක් දෙන්නම් එදාට නොවරදවාම ඇවිත් මාව හමු වෙනවා ..”

“ඒ කියන්නේ මහත්තයා මාව තෝර ගන්නවද ..”

“තෝරගෙන ඉවරයි ඕයි.. නොවරදවාම මේ දිනේට එනවා ..”

දැන් ඉතින් පැසිපියාගේ ඉහේ මලක් පිපිලා වගේ ඒත් මේ චිත්‍ර පටයේ රගපාන අනෙක් අය කවුද කියලා දැන ගන්නත් පැසිපියා අමතක කරන්නේ නැහැ ..

“කවුද මහත්තයා මේකේ මම ඇරෙන්න ඉන්න අනිත් නළු නිලියෝ ..”

“මේකේ ප්‍රධාන චරිතෙට ඉන්නේ ජීවන් කුමාරතුංග ..”

ඒ නම ඇහෙද්දී පැසිපියාගේ සතුට දෝරේ ගලන්න පටන් ගන්නවා  ජීවන් කියන්නේ පැසිපියා ආසම නළුවා . ආසම නළුවත් එක්ක රගපාන්න  ලැබෙන එක කොයිතරම් වාසනාවක්ද ..  අධ්‍යක්ෂක වරයාට අනේක වාරයක් පිං දුන්නු පැසිපියා  දොරේ ගලපු සතුටත් ලේන්සුවෙන් පිහදාගෙනම නවාතැනට ගියා .. ඒ ගිහින් සර්කස් එකෙන් ලැබුණු පඩියම වියදම් කරලා යාළුවට සලකන්නත් අමතක කලේ නැහැ ..

අධ්‍යක්ෂක දුන්නු  දිනය වෙනතෙක් ඇගිලි ගනිමින් සිටි පැසිපියා  නියමිත දිනයේ උදේම අවදිවෙලා අලුත්ම ඇදුමකින් සැරසිලා බුදුන්ට මල් පහන් එහෙමත් පුදලා ගමන පිටත් වෙනවා..

ෂූටින් කරන තැනට ගිහින් කලින් දවසක ගිහින් මුනුගැහුණු අධ්‍යක්ෂක වරයාව හමුවූනා. අද්‍යක්ෂක වරයත් පැසිපියාව බොහොම උණුසුම්ව පිලිගත්තා.  එහෙම පිළිගෙන අධ්‍යක්ෂක වරයා පැසිපියාව බාර දුන්නා වෙන කෙනෙක්ට ඒ කෙනෙත් පැසිපියාව එක්ක ගිහින් පැසිපියාට ටි ෂර්ට් එකකුත් ඩෙනිම් කලිසමකුත් ලබා දෙනවා රූ ගත කිරීමේදී අදින්න ..

“දැන් මොන කොටසද මහත්තයෝ ෂුට් කරන්නේ ..” පැසිපියා අහනවා ..

“අඃ දැන් තියෙන්නේ සටන් ජවනිකාවක් ගන්න ..යමුකෝ මාත් එක්ක ....”

පැසිපියාව එක්ක ගිහින් තැනක් පෙන්නනවා ඒක පටු අනාරක්‍ෂිත අඩි තිහ හතළිහකකට වඩා දිගු පාළමක්..

“මෙතැන තමයි තැන .. ඔහේට තියෙන්නේ මම සිග්නල් එකක් දුන්නම පාළමේ මේ කෙලවරේ ඉදලා එහා කෙලවරට උපරිම වැඩ දාලා කරනම් ගහගෙන යන්න .. මට අධ්‍යක්ෂක තුමා කීවා තමුසේ වැඩකාරයෙක් කියලා . ඒත් මේ වැඩේ ටිකක් අවදානම් වැඩක්.. පුළුවන් වෙයිද කරන්න

වැඩේ අවදානම් කියලා තේරුනත් පැසිපියා වැඩේ සතුටින් භාර ගන්නවා. මොකද තමන්ගේ වැඩ කිඩ පෙන්නන්නත් හොද අවස්තාවක්නේ මේක..

කොහොමින් හරි කල් මරලා එහෙම පැසිපියාගේ කොටස පටන් ගන්නවා , කැමරාමන්ලා ලයිට් කාරයෝ මැද්දෙන් පැසිපියා කරනම් ගහගෙන බල්ටි ගහගෙන පාලම දිගේ කෙළවරටම යනවා . කෙළවරටම ගිහින් අවසන් කරනමත් ගහලා පාලමෙන් බිමට පනිනකොටම පැසිපියා දකිනවා ජීවන් කුමාරතුංග පැසිපියාගේ වගේම ඇදුමක් ඇදගෙන පාලම කෙලවරේ අත් දෙකත් ඉහලට උස්සගෙන හිටගෙන ඉන්නවා ..

මේ යකා මෙතැන අත් උස්සගෙන මොනවා කරනවද කියලා හිතුනත් පැසිපියා ඒ හිතුන දේ හිතේම තියාගෙන තමන්ගේ කොටස තිතටම කලාය කියන ප්‍රසංසාවත් අධ්‍යක්ෂක වරයාගෙන් ලබාගෙන සත පහක මුදලක්වත් නොගෙන සතුටින් පිට වෙනවා ..

මාස ගණනකට පස්සේ පැසිපියා පෙනීසිටි චිත්‍රපටය ප්‍රදර්ශන ශාලා වල ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්නවා.. පැසිපියාටත් ඉතින් හරි සතුටුයි . පැසිපියා චිත්‍රපටය බලන්න යන්නේ තනිවම නෙවෙයි යාළුවන්වයි නෑදෑයන්වයි ගමේ අසල්වැසියන්වයි ඔක්කොවම එකතු කරගෙන ලොරි බාගෙකුත් කථාකරගෙනයි තමන්ගේ වියදමෙන් චිත්‍රපටය පෙන්වන්න එක්ක යන්නේ.

චිත්‍රපටය පටන් අරගෙන මැදක් හරියක් යනවා ඒත් පැසිපියා ඉන්න කොටස නැහැ. පැසිපියට හරි අප්සැට් .ඇයි එක්කන් ආව උදවියත් අහනවනේ කෝ අනේ ඔයාගේ කෑල්ල  තාම නැහැනේ කියලා ..

කොහොමින් හරි චිත්‍ර පටයේ අවසාන ජවනිකාවේදී සටනකදී අර පාළම පෙනෙන්න තියෙනවා .. ඒක දකින පැසිපියා කෑ ගහනවා හැමෝටම ඇහෙන්න

“ඔන්න ඔතන තමයි මගේ එක ගත්තේ දෑන් මාව පෙන්නයි හොදට බලපල්ලා ..”

පාලම ගාවට එනවා ජීවන් කුමාරතුංග , ජීවන්ගේ කෙල්ලව දුෂ්ඨයා උස්සගෙන ගිහිල්ලා පාලමෙන් එහා පැත්තේ ගහක ගැටගහලා ජීවන් හතර අතේ ඉන්න උන්ට නෙලාගෙන එනවා පාළම ලගට ඇවිත් පාළම උඩට පනිනවා බල්ටියක් ගහලා .. පැනල එක දිගටම කරනම් ගහගෙන ගහගෙන යනවා පාලම දිගේ ...
එතකොට පැසිපියා කෑ ගහනවා ,

“අර බලපල්ලා අර කරනම් ගහගෙන පාලම දිගේ යන්නේ මම ..”

ඒත් පාළම දිගේ කරනම් ගහගෙන ගහගෙන ඇවිත් පාලමෙන් බිමට පනින්නෙත් ජීවන් කුමාරතුංගමයි.. පාලමෙන් බිමට පැනපු ජීවන් නායක දුෂ්ඨයාටත් හතරගාතේ දාලා වැටෙන්න ගහලා කෙල්ලව බේරගන්නවා ඒත් එක්කම චිත්‍රපටයත් අහවර වෙනවා...

ඒත් අර කරනම් ගහගෙන ආවේ පැසිපියයි කියලා පැසිපියා දහ අතේ දිව්රලා කීවත් එකෙක්වත් පිළිගන්නේ නැහැ ඒ උන්නේ පසිපියා කියලා . එදායින් පස්සේ පැසිපියාට රගපෑම් ගැන කලකිරෙනවා චිත්‍රපට පිස්සුව ටිකෙන් ටික හොද වෙනවා . එයින් පස්සේ කවදාවත් උන්දැ ආයෙමත් චිත්‍රපටවල රගපාන්න උත්සහ කලෙත් නැතිළු පුරුදු රස්සාවම කරගෙන පාඩුවේ  හිටියා මිසක .


ප .ලි .:-

පැසිපියාව යොදාගෙන ඇත්තේ එම චිත්‍රපටයේ  අසීරු අවදානම් කොටසක් රුගත කිරීම සදහා ආදේශක නළුවෙක් විදියට පමණි .




11 September 2013

අපූරු ජන්ද අපේක්ෂකයා ..



ජන්දේ ගැන මට මුලින්ම අදහසක් ඇතිවුනේ ඉස්කෝලේ හයේ හතේ පංතිවල ඉන්න කාලේක.. දවසක් ඉස්කෝලේ අහවර වෙලා පාරට බහිද්දිම ඉස්සරහා තාප්පේ වැහෙන්නම ජන්ද පෝස්ටර් අලවල ඒවායේ එවුන්ගේ හිනාව එකෙකුට එකෙක් දෙවෙනි නැහැ, එහෙමත් එකෙක් තමයි  දත් දෙක තුනක් පෙන්නලා හිනා වෙලා උන්නේ අනිත් හැමෝම දත් තිස් දෙකට ආසන්න ගානක් හිනාවෙන් ප්‍රදර්ශනය කරලා තිබුනා .. කොහොම උනත් ඒ හිනා මුණු වලට ඒ කාලේ මම ප්‍රිය කළා.. පස්සේ තමයි දැන ගත්තේ උන්දැල ඒ හිනහා වෙන්නේ අපිටමයි  කියලා .මුලින්ම පෝස්ටර් වලින් හිනහව පෙන්නලා පස්සේ ජන්ද වරමින් පාර්ලිමේන්තුවට රින්ගුවට පස්සෙත් උන්දැල කලේ අපිව හිනස්සන එක විතරමයි...

පස්සෙන් පහු අපේ ගම් පළාතෙත් උන්දැල එක්කෙනා දෙන්නා පුංචි ජන්ද වලට ඉදිරිපත් වෙලා ප්‍රාදේශීය සභා වගේ එව්වට ගියා .. සල්ලිය බාගේ යහමින් තියෙන උන්දැල නම් ඉන් පස්සේ බලය හොයාගෙන දේශපාලනේට පය තිබ්බට මොකද එදා වේල හොයාගෙන කන සමහර උන්දැලත් ඇමතිලා මන්ත්‍රීලා පස්සේ දුවලා ජන්දේ ඉල්ලන්න ඉදිරි පත්වෙන එක ගැන  ඒ කාලේ හැටියට මගේ හිතේ ඇතිවෙලා තිබුනේ ලොකු ගැටලුවක් සමහරුන් තියෙන රස්සාව පවා නැති කරගෙන දේශපාලනේට ගිහින් ගමට වැඩ කරන්න වෙහෙසෙන්නේ ගමට තියෙන ආදරේටයි කියන වැරදි වැටහීම මට ඇතිවෙලා තිබුනට මොකද පස්සේ කාලෙක මම තේරුම් ගත්තා දේශපාලනය කියන්නෙත් හොද බිස්නස් එකක් තමයි කියන එක .. වැඩේ හරියට කලොත් තමන් විතරක් නෙමේ හත්මුතු පරම්පරාවම ගොඩ... ඒ ගමන් ඔය ඉදලා හිටලා පාරක් පාලමක් හැදුවම හොදටම ඇති ..

මෙන්න මේ කාලේ අපේ ගම් පළාතේ අපුරු ජන්ද අපේක්ෂකයෙක් හිටියා උන්දැ ගැන තමයි මේ කතාව ,

එදයි අදයි කියලා වැඩි වෙනසක් නැහැ මම මුන්දැ ගේ නම හරියට කිව්වොත් එහෙම ලංකාවේ ඇතුලත නොඅදුනන කෙනෙක් නැති තරම් . ඒ තරමටම මෙතුමා ජනප්‍රිය ධනවත් ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙක්. ආචාර්ය මහාචාර්ය වැනි නම්බු නාම පට්ටම් වලින් පිදුම් ලැබුවෙක්. ඒ කාලේ මම හිතාගෙන උන්නේ ආචාර්ය වරයෙක් මහාචාර්ය වරයෙක් වෙනවා කියන්නේ මොකක්හෝ විෂයකින් පරතෙරට පැමිණියෙක් කියලයි  ඒත් පස්සේ කාලේක මට තේරුණා ඒක මගේ වැරදි අදහසක් කියලා . මුදල් තියේනම්  ඔය පට්ටම් ඕනෑ තරම් අරගෙන නමට ඉහලින් එල්ල ගත්තෑකි හරිම සරලයි.. 

මෙතුමා එදාට වඩා අද ජනප්‍රියයි කිව්වොත් හරි.. ඒ හේතු කාරණා උඩ මට උවමනාවෙන්ම එක්තරා සීමාවක් සහිත රාමුවක සිට මේ ලිපිය ලියන්න සිදු වෙනවා.. මොකද නැත්නම් සුදු වෑන් රථයක අසුන්ගෙන  යන්න මගේ කිසිම කැමැත්තක් නැහැ නෙවැ.

මෙතුමාගේ අපූරු ක්‍රියා කලාපයක් තිබුනා.. සමහර විට මතු අනාගතයේ ජන්දේ ඉල්ලීමේ බලාපොරොත්තු ඇතිව එහෙම කළා වෙන්නත් පුළුවන් ඒ කොහොම වෙතත් ඒ කරපු දේවල් මෙතුමාටම පමණක් ආවේනික වෙච්ච දේවල් හැටියටම තමයි අදත් මම දකින්නේ... ආයේ ඉතින් මේවා වෙන කවුරුත් කරලත් නැහැ කරන්නෙත් නැහැ වන් ඇන්ඩ් ඔන්ලි අපේ කතා නායකයාගෙන්ම පමණයි .

වෙසක් කාලේට දෙන දන්සැල් වලින් බහුතරයක් උදවිය දැකලා ඇත්තේ කෑම, සිසිල්පැන්, තේ පැන් ඇතුළු බිම වර්ග හෝ මල් පහන් දන්සැල් විතරක් වෙන්ටැති... ඒත් අපිනම් සල්ලි දන් සැලුත් දැක්කා ඒ ඉතින් අපේ මෙතුමාට පින් සිද්ද වෙන්න .. අපරාදේ කියන්න බැහැ අහල ගම් හත අටක ගෑනු මිනිස්සු පෝලිම් ගැහිලා උන්නා දන්සැල වැද  පුදාගන්න  පෝලිම් ගැහිලා උන්නු මිනිසුන්ව අන්ඩු මට්ටු කරන්නත් වෙනමම ආරක්ෂකයෝ කිහිප දෙනෙක්ව යොදවන්න සිදුවුණා   .. නැත්නම් පොඩ්ඩ එහා මෙහා වෙද්දී ගුටි ඇනගෙන හරි පෝලිමේ ඉස්සරහට පැනලා මුල්‍යමය දානය ලබාගෙන පින් අනුමෝදන් කිරීමේ පරම පවිත්‍ර චෙතානාවෙන් හැමෝම මුසපත් වෙලයි උන්නේ ..  ඒ සංදියේ මම හිච්චි ගැටයා නැත්නම් ඔය පෝලිම් කෙළවරක මටත් ඉන්ට තිබුනා ..

 මාරු කාසි අහුරක් දෙකක් එහෙමත් නැත්නම් රුපියල් විස්සේ පනහේ කොල වලින් අතට අහුවෙන තරමේ අහුරක් මේ දන්සැලින් ලබා දුන්නා.. කාලේ හැටියට ඒ ලැබෙන මුදල හොදටම ප්‍රයෝජනවත් පැයක් දෙකක් පෝලිමේ ලැගල උන්නාය කියලා කාටවත් පාඩුවක් නැහැ මේකද මම මේ කියන කාලේ කියන්නේ පාන් රාත්තලක් රුපියල් තුනයි පනහට තුබුන කාලේ .. ඉතින් එහෙව් කාලේක මාරු කාසි අහුරු දෙක තුනක් නෝට්ටු අහුරක් ගන්න ආව මිනිස්සුන්ගෙන් දන්සැල් පෝලිම කිලෝමීටරයකටත් වඩා දික් වුනා කියන එක පුදුමයක් නෙමේ.. අද කාලේ මහා බත් දන්සැලකවත් මම එහෙව් පෝලිමක් දැකලා නැහැ.. කොහොම හරි ඔය වගේ දන්සැලක් අවසන් කරන්නේ මුන්දැගේ අතින් ලක්ෂ හය හතක් දන්දීලා අහවර කලාට පස්සෙයි. ඒකත් විශාල පිනක් නෙවැ.. බලමුකෝ ඒ පින් හේතු වල බල මහිම ඇතිවෙයිද කියලා ජන්දේ දිනන්න.. ඒක දැනගන්න වෙන්නේ අන්තිමට..

ඉතින් ඔය විදියට මහා දාන මාන පිංකම් වලට මෙතුමා ලෝබ නැතුව අත දිගහැරලා වියදම් කරන කාලේ අපේ පල්ලියේ සමිති සමාගමකින් කරන ව්‍යාපෘතියකට මුදල් අඩු පාඩුවක් වෙලා ඒක පියවා ගන්න අපි පිරිසක් සංවිධානය වෙලා  විදී නාට්‍යක් කලා.. මේ නාටකය රගදක්වන්නය කියලා අලුතින් නළු නිලියෝ හොයන්න ඕනේ වුනෙත් නැහැ සමිතියේ සාමාජිකයෝ වෙච්චි අපිම තමයි නළුවෝ උනෙත්...

විදී නාට්‍යක් යැයි කීවට අපි මේක කිසිම විදීයක නම් රගදෑක්වුයේ නැහැ.. ඒකට අපි තෝරාගෙන තිබුනා ධනවත් ව්‍යාපාරික නිවෙස් කිහිපයක්  ඒ නිවෙස් වලට ගොස් ඒ උදවියට විතරයි මේ නාට්‍යය පෙන්නුවේ.. ඉතින් අපිට ඒ ගෙවල් වලින් අත දිග ඇරලා ආධාර කළා.. ඒ අපේ නාට්‍ය ලස්සන නිසාම නොවේ  පල්ලියේ පියතුමා ඒ නිවෙස් කිහිපය දැනුවත් කරලා තිබුන නිසා හැකි පමණින් අපට  ආධාර කරන්නය  කියලා..

අපි මෙහෙම තෝරාගෙන හිටිය නිවෙස් අතරින් අද මගේ කතානායක ප්‍රභූ වරයාගේ බංගලාවත් ප්‍රධාන ඉලක්කයක් වෙලා තිබුනා .. අපිට වෙන් කරලා දීලා තිබුන දවසේ  අපේ කණ්ඩායමමගියා මේ ගෙදරටත් නාට්‍ය රගදක්වන්න. අපරාදේ කියන්න බැහැ උන්නැහේ අපිව බොහොම හොදට පිළිගත්තා විතරක් නෙමේ කෑමෙන් බිමෙනුත් හොදට සංග්‍රහ කරලා එහෙම අන්තිමේදී කිව්වා ...

“හොදයි පුතාලා දැන් එහෙනම් නාට්‍ය කරන්නකෝ ..හැබැයි රගපෑම් නම් සුපිරියට තියෙන්න ඕනේ ...”

උන්නැහේ එහෙම කියලා කට ගන්න හම්බ උනේ නැහැ, අපේ කොයිකටත් පණ්ඩිත ජනකාන්ත අයියා ගේ කට හැමතැනකදිම වගේ මෙතනදීත් අනිත් අයට වඩා ඉස්සරවුනා ..

“ආයෙත් අහලා අංකල්.. දෙන්නම් ආයේ ඇස්ටි හැලෙන්න ...”

අපි බලාගෙන ඉන්නැද්දි උන්නැහැගේ මුණ වෙනස් වුනා ඉස්සෙල්ලා තිබුන කුලුපහ හිතවත් ගතිය වෙනුවට ඒ මුනට ආරුඩවුනේ අපිව බියපත් කරවන තරමේ නපුරු පෙනුමක්.. කම්මුල් කේන්තියෙන් වෙව්ලන්න ගත්තා ..

“අංකල්.. කවුද යකෝ අංකල්.. මම තමුසේගේ අංකල්ද..ඈ ..කතාකරනවා ,

ලොක්කා ජනකාන්ත දිහාටම ඇගිල්ල දික්කරගෙන කෑගහන්න ගත්තා, ජනකාන්ත විතරක් නෙමේ ඒවෙලාවේ උන්දැ යකෙක් වගේ හැසිරුනු හැටියට අපි හැමෝමත්  බයවුනා...

“නෑ..නෑ,, අංකල් නෙමේ මට සමාවෙන්න සර්.සර් .” 

හොදටම බයවෙලා උන්නු ජනකාන්ත අයියා වෙව්ල වෙව්ලා ඒ වෙලාවේ උත්තර  දුන්නු ආකාරය  බලාගෙන හිටි අපි හැමෝගෙම හිත්වලට  දුකක් එක්වුනා කිව්වොත් මම වැරදි නැහැ..

“ඕයි..මිනිස්සුන්ගේ තරා තීරම බලලා ඒ විදියට ගරු නම්බු දීලා කතාකරන්න පුරුදු වෙනවා මින් පස්සෙවත් ..තේරුනාද ?..

“එහෙමයි සර් ..තේරුනා ...”

තව දුරටත් එතුමා නොනවත්වා අපිට බනින අතරේ.. තවදුරටත් ඉවසගෙන ඉන්න පුළුවන් කමක් අපිට තිබුනේ නැහැ ඒක නිසා ඕනෑ දෙයක් වෙත්දෙන් කියලා අපි එහෙම්මම හැරිලා බැස්සා එලියට.. තෙමහල් නිවසේ දෙමහලේ ඉදලා පඩි පෙළ බැහැලා ගේට්ටුව ලගට යනකොටම ආරක්ෂකයෝ දෙන්නෙක් ඇවිත් අපිව නැවැත්තුවා ..

“එක්කෙනෙක්වත් යන්න එපා .. ඔක්කොටම ආයේ මහත්තයා එන්න කිව්වා ..

ආරක්ෂකයෙක් එහෙම කියද්දී නම් මම හිතාගත්තා මේ පාර නම් හොද හෝටලේකින් බඩ කට පුරා කෑමක් දෙන්න තමයි හදන්නේ කියලා .එත් පෙර කල පිනකට  එහෙමවුනේ නැහැ ..

“හරි .දැන් වෙච්ච දේවල් අමතක කරලා ඔයාලා නාට්‍ය කරන්න ...”

අපිත් හිත යට තිබුනා අමනාපේ උඩට නොපෙන්වා නාට්‍යය කරලා ඉවරවෙලා පිටත්වුනා.. අපිට සැලකිය යුතු මුදලකුත් ලැබුනා  ..

ඒ මෙතුමාගේ මාන්නය පෙන්වපු එක අවස්ථාවක්..

ඊට පස්සෙ කාල වලදීත් අපිට සමිති සමාගම් වල අවශ්‍යතාවයන් වලට එතුමාගේ කාර්යාලයට යන්න වෙච්ච අවස්ථා තිබුනා , එත් පිරිමි පාර්ශවයේ කෙනෙක් ගිය අවස්ථා වලට වැඩේ සාර්ථක වුනේ නැහැ දවස් තුන හතර රස්තියාදු වෙන්නවුනා ඒකටත් අපි සාර්ථක පිලියමක් හොයාගත්තා ඒ තමයි සමිතියේ හිටිය හොදට ඇහැට කනට පේන තරුණියක්ව මේ වැඩේට යොදාගත්ත එක. වැඩේ සාර්ථකයි ඉන් පස්සේ දවස් ගණන් රස්තියාදු වෙන්න වෙච්ච වැඩ එක දවසෙන් අහවරයි.. ඒක හරි සිම්පල් ප්ලෑන් එකක් .. 

ඉදලා හිටලා ගමේ පාරේ තොටේදී මෙතුමාව දැක්කොත් ආයේ දෙපාරක් නෙමේ  තුන් හතර පාරක් හැරිලා බැලෙනවා.. වැරදියට වටහා ගන්න ඕනේ නැහැ ඒකටත් හේතු  තියෙනවා . එක්කෝ මෙතුමා ඉන්නේ අස්පයෙක් පිටේ, එහෙම නැත්නම් අස්ප කරත්තෙක හෝ හැඩ වැඩ දැමු  අන් දිග ගොන් කරත්තෙක.. ඉද  හිට අලියෙක් පිටේ යන අවස්ථාද නැතුවම නෙමේ..  

ගමන බිමන එහෙම වෙද්දී නිවසේ තියෙන බොහොමයක් බඩු භාණ්ඩ එහෙමත් රජ සිටු වරුන්ගේ හා සමානව නිර්මාණය කරවලා තිබෙනවා යැයි පැවසෙනවා... ඒකට හේතුව මෙතුමා රජවරු සිටුවරු නිලමේ වරුන්ට වැඩි ඇල්මක් දක්විමම තමයිලු  .

ඒ බව දන්නා බංගලාවේ ආවතේව කාරයෙක් උපායක් යොදාගෙන මඩිය තර කරගත්තු කතාවකුත් තියෙනවා (ලු).. මිනිහා කරලා තියෙන්නේ මෙතුමා එක්ක ඉද  හිට කතාවට වැටෙන්න අවස්තාවක් ලැබුන ගමන් මෙතුමාට රජතුමණි කියන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කිරීමට පෙළබිම.. එහෙම අමතන වාරයක් පාසා මුදල් නෝට්ටු කිහිපයක් ආවතේව කාරයාගේ අතේ තියන්නටත් මෙතුමා පසුබට වෙන්නේ නැහැලු ..

දවසක් මෙහෙම මෙතුමාට රජතුමණි කිය කියා ආමන්ත්‍රණය කර කර හිටි ආවතේව කාරයාට මොකක්දෝ උවමනාවකට මෙතුමාගේ බිරින්දෑ කතාකරලා තියෙනවා .. ආවතේව කාරයත් ගිය ගමන්ම අර ගැම්මෙන්ම ඇයි බිසවුන්නාන්සේ මට එන්න කිව්වේ කියලා අහලා... ඔය රජ කතාව ගැන අමනාපෙන් හිටිය බිරින්දෑට ඒක පාරම මේ මිනිහා බිසවුන්නාන්සේ කියපු එකට අසුහාරදාහටම නැගල “කොහෙද මනුස්සයෝ මෙහෙ රජවරු බිසෝවරු ඉන්නේ ..උබටත් පිස්සු උබේ මහා එකාටත් පිස්සු ...” කියලා ආවතේව කාරයව පන්නගෙන තියෙනවා..     දවසක් හොදම නැටුම් තෙල් වලින් සප්පායන් වෙච්ච ආවතේව කාරය ඕක ගම පුරාම කියව කියව ගියාලු හරි උජාරුවෙන්..


කොහොමින් කොහොමින් හරි පුංචි ජන්දයක් ලංවෙද්දි මෙතුමාත් ඒකට ඉල්ලුම් කලා.. බොහෝ උදවියට වගේම ධනයෙන් අඩුපාඩුවක් නැතිවුනාම බලය ලබාගැනීමේ ආශාව කියන සම්මතය තමයි මෙතනටත් බලපෑවේ  එහෙම නැතුව මෙතුමා දේශපාලනයෙන් හරි හම්බ කරගන්න  අදහසකින් ජන්දෙට ඉදිරිපත්වුනා කියලනම් හිතන්න අමාරුයි .

මෙතුමා ජන්දෙට ඉදිරිපත්වුනදා ඉදලම මේ බංගලාව මිනිස්සුන්ගෙන් පිරුනා කොයිවෙලෙත් මිනිස්සු හත් අටසීයක් ගෙදර ඉස්සරහා වත්තේ හිටියාමයි .. පෝස්ටර් ගහන්නද කැන්වස් යන්නද ස්ටේජ් ගහන්නද ඕනේ තරම් සෙනග උදව් කාරයන්ගේන්නම් කිසිම අඩුපාඩුවක් නොතිබුන ජන්ද අපේක්ෂකයෙක් කිවොත් හරි ... පෝස්ටර් වලින් පැය කිහිපයක් ඇතුලත මුළු පළාතේම තියෙන තාප්ප බිත්ති ටික වනසලා දන්නා පුළුවන් විදියේ කඩිසර ජනකායක් හිටියේ කොයිතරම් සෙනගක් හිටියත් මෙතුමා ඒ ඉන්න හැමෝටම හොදට සැලකුවා ..තුන් වේල කන්න බොන්න දුන්නා. ඒ විතරක්නම් මදෑ හැම කෙනාටම දෙතුන් සීය ගානේ බෙදලත් දුන්නා දවස ගානෙම මේ තරම් සෙනගක් පැල පදියම් වෙන්න හේතුවත් ඒකම තමයි .

මේ අයට මුදල් තෑගී බෙදලා දුන්නේ හරි පරිස්සමට කාවවත් මග නොඇරෙන්න ඒකට හොද ක්‍රම වේදයක් භාවිතා කලා මෙතුමා,  ඒකට යොදාගෙන තිබුනේ ඇතුල් වෙන්න සහ පිට වෙන්න දොර දෙකක් සහිත කාමරයක් එක දොරකින් පෝලිමේ සෙනග ඇවිත් එකා ගානේ කාමරේට ඇතුල්වෙලා මුදල් හෝ  තෑගී අරගෙන එහෙම්මම අනිත් දොරෙන් පිට වේලා යනවා.. කටවත් අසාධාරණයක් වෙන්නෙත් නැහැ හැමෝටම ලැබෙනවා එක්කෙනෙක්ට දෙපාරක් එන්නත් බැහැ.. කොහොමද වැඩේ ..

කොහොම හරි ජන්ද දිනය ලංවෙද්දි මෙතුමා ගණන් හදලා අනුමාන කලා මනාප මෙච්චරක් විතර ප්‍රමාණයක් අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනේ කියලා .. මම හිතන්නේ හැම අපේක්ෂකයම එහෙම බලනවා ඇති . මෙතුමා අරගෙන බැලුවම දැනට සහයට ඉන්න ජනතාවම විතරක් මනාප තුන ගානේ දුන්නොත් එතනම මනාප බරගානක් තියෙනවා , ඒ විතරක්ඈ උන්දැලගේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ මනාප තව ගමේ නිතර යන එන උදවියගේ මනාප එහෙම එකතු කරලා බැලුවම මෙතුමා දැනටම ජන්දේ දිනලා ඉවරයි මනාපම තියෙන්න ඕනේ බරගානක්.. ඉතින් මෙතුමා බොහෝම සතුටින් ජන්දේ දවස ගතකලා ..

පහුවදා ජන්ද ප්‍රතිපල බලද්දී මෙතුමා උඩින්ම පරාදයි..අර කියන්නේ ඇපත් නැහැ කියලා ආන්න එහෙමයි . ලැබිලා තියෙන මානප සංක්‍යාව ගණන් හදලා බලපුවාම ලගම හිටීය සහායකයන්ගෙන් ලැබුණානම් තියෙන්න ඕනේ ගානටත් වඩා මනාප සංක්‍යාව අඩුයි.. මගේ හිතේ අර ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ වැඩක් වෙලා තියෙන්නේ අරූ දායි මූ දායි කිය කියා හිතාගෙන හැමෝම වෙන වෙන උන්ට ජන්දේ දාල ...

කොච්චර අන්ත පරාජයක් ලබලා හිටියත් මෙතුමා මුනෙන් දුකක් කනගාටුවක් පෙන්නුවේ නැහැ කාටවත් ජන්දෙන් පස්සේ දවසෙත් වෙනදා වගේම හැමෝටම එන්න කියලා කිව්වා තෑගී දෙන්න .. මිනිස්සුත් ඉතින් ඔක්කොම ඇවිත් වෙනදා වගේම පෝලිමේ එක එකා වහලා තිබුන දොරෙන් කාමරේට ඇතුල්වෙලා එහා පැත්තේ දොරෙන් පිට වේලා එහෙම්මම පාරට බැහැලා ගියා... ඒත් වෙනදා වගේ සන්තෝෂ පාටක්නම් මුණු වල පෙනෙන්න තිබිලා නැහැ..

මොනවාද දන්නවද අන්තිමට දීලා තිබුණ තෑග්ග...






මුණ  පුරෝලා කම්මුල් පාරක්...



වෙනදා වගේම කාවවත් මග නොහැර හැමෝටම හොදට රිදෙන්න පාර දීලා තිබුනා .. ගුටි කාලා එලියට බැස්ස උන් ආයේ කාටවත් කියන්න ගියෙත් නැහැ ගිමිට කම්මුල අතගාගෙන ගෙදරම ගියා මිසක ...

ඔන්න ඔහොමයි පුංචි ජන්දයක් අහවරවුනේ එයින් පස්සේ මෙතුමා ආයේ කවදාවත් ජන්දේ ඉල්ලන්න ගියේ නැහැ ඒ මේ වෙච්ච නව නින්ගිරාව මතකේ තියෙන නිසාම වෙන්න ඇති , අද මෙතුමාගේ එක වියාපාරික ව්‍යාපෘතියක් නිසා කුඩා ළමුන් පාසල් සිසුන් හා තරුණ තරුණියක් ප්‍රයෝජනයක් ලබනවා සතුටු වෙනවා අන්න ඒ වැඩේටනම් මමත් මනාපයි

________________________________________________________________
ප.ලි :- මෙතුමා කව්දැයි ඉගියකින් හෝ අදුනාගත් කෙනෙක් සිටිනම් කෙලින්ම නම නොකියා ඉගියක් පමණක්ම කරන ලෙස ඉල්ලා සිටිමි.  
















29 May 2013

ගින්නට පැනීම , සස ජාතකය සහ ඇත්ත.



වෙසක් සතිය ගෙවීගෙන යන මේ මොහොතේ  බුදු චරිතයට අදාළ පුංචි කථාවක් හෝ නොලිවහොත්  එය  මදි කමකි  . මේ දිනවල සිදුවූ  හිමි නමගේ ජිවිත පුජාවත් සමගම  එය බෝධිසත්ව චරිත කතා වලට සමාන කිරීමට උත්සහ කරන පිරිසකුත් මට දැක ගන්නට ලැබුණි  . 

බෝධිසත්ව ජාතක කතා ගෙන හැර දැක්වුවහොත් බෝධිසත්වයන් ජීවිතය දන්දුන්  අවස්ථා කිහිපයක් තිබේ . එහෙත් ඒ එකක්වත් වර්තාමානයේ මේ හිමිනමගේ  ක්‍රියා කලාපය හා සැසදීමට නොහැක. බෝධිසත්වයන්ගේ දන්දීම සහ හිමිනමගේ ජිවිත හානිකරගැනීම සංසන්දනය කිරීමට යෑමෙන් සිදුවන්නේ ඒ අපවත්වූ හිමිනමගේ චරිතයට තව තවත් හානි වීම පමණි. එම ක්‍රියාවේ නුගුණ ලියමින් හිමිනමට තව දුරටත් නින්දා කිරීම යුතු නොවන බැවින් එම හිමි නමගේ ගිනි පුජාව සමාන කරන බෝධිසත්ව චරිත කිහිපය අතරින් සස ජාතකය ගැන පමණක්  මම ලියමි .

යට ගිය දවසක  බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ එක වනයක  වඳුරෙක්, සිවලෙක් මස්කාවෙක් සහ සාවෙක් ද ඉතා මිතුරුව  ජීවත්වීය . අනෙක් සතුන්ට වඩා මේ සාවා නුවණැත්තෙක් බැවින් අනෙක් තිදෙනා  ඔහුව හදුන්වා ඇත්තේ සස පණ්ඩිත යනුවෙනුයි. මේ සස සාවද දිනපතා ආහාර ගැනීමෙන් පසුව තම මිතුරු සත්වයන්  තිදෙනාට අවවාද අනුසාසනා කරන එක පුරුද්දක් කරගෙන තිබෙනවා .

 දිනක් මේ සිව් දෙනා සිටින විට පොහෝ දිනට පෙර දිනෙක රාත්‍රියේ  පිරුන හඳ දැක  ඉන් පසුව සස පණ්ඩිතයෝ විසින් අනෙක් මිතුරන්ට මෙසේ පවසන්නට විය .”හෙට පොහොය දිනය ඒ  බැවින් අප සීල් සමාදන් විය යුතුයි  . සිල්වත් ව සිට දෙන දානයන් හි විපාක බලවත් . එබැවින් කවරෙක් හෝ යාචකයෙක් හෙට දින  ඔබලා අසලට පැමිණියහොත්  ඔබලා අනුභව  කරන දෙයින් යමක් දෙන්න”  මිතුරෝද සස පණ්ඩිතයන්ගේ අවවාද පිළිගෙන පිට විය .

පසුදින උදෑසන මස්කාව කෑම සොයාගෙන යද්දී . වැද්දෙක් විසින් දඩයම් කර අමතකව දමාගිය මසුන් කිහප දෙනෙක් දැක එය රැගෙන තම නවාතැනට ඇවිත් . පසුව ආහාරයට ගැනීමට සිතාගනිමින් පැත්තකින් තබා ශිලය රකිමින් සිටින්නට විය .

(මස්කාව /දියබල්ලා )


මේ අතර සිවලාද එසේම කෑම සොයා යන අතරේ ගොවි නිවෙසක් අසල දමා ගොස් තිබු වේලු තලගොයි මාංශයන් දැක එයට හිමිකරුවෙකු  සොයා නැති බැවින් තම නවා තැනට ගෙනැවිත් පසුව ආහාරයට ගැනීමට සිතා  පසෙකින් තබා ශිලය ආරක්ෂා කරමින් සිටින්නට විය , මේ අතර වදුරාද මී අඹ වල්ලක් සොයා ගෙනැවිත් එලෙසම පසෙක තබා භාවනාවේ යෙදෙන්නට විය  ..

මේහෙම මිතුරු සත්‍වයෝ භාවනාවේ යෙදෙන අතර සස පණ්ඩිතයෝ හෙවත් සාව ද බඩගිනිවූ විට ගොස් හී තණ කනවා යැයි සිතාගෙන සිල් සිහි කරමින් වැදගෙන ගෙන සිටින්නට විය  . එහෙත් ඒ අතරේ ඔහුට සිහිවන්නේ මෙසේ සිටින අතරේ වෙන කිසිවෙක් ආහාරයක් සොයා තමන් වෙත පැමිණියහොත් ඔහුට දීමට දෙයක් නොමැති බවයි. 

එසේ පැමිනෙන්නෙක් හට හී තණ දීමටද නොහැක එසේනම් මා ඔහුට පිළිගන්වන්නේ කුමක්දැයි සිතමින් සිටින හාවට පහල වන්නේ අමුතුම අදහසකි . අද කිසිවෙක් ආහාර සොයාගෙන මාවෙත ආවොත් කිසිවෙකු නොදෙන විදිහේ දානයක් මා ඔහුට පිළිගන්වමී.. මා මාගේ ශරීරයේ මාංශ ඔහුට අනුභවයට ලබා දෙමී .. මෙසේ සිතු සස පණ්ඩිතයෝ දිගටම ශිලය රකින්නට විය .

මොවුන්ගේ මෙම ශීලයේ බලය ශක්‍ර දේවේන්ද්‍රයාටද දැනෙන්නට විය . මොවුන්ගේ ශිලය පරික්ෂා කර බැලීමට සිතු ශක්‍රයෝ බමුනෙක්ගේ වෙස් ගෙන වනයට ආහ ...

එසේ පැමිණි බමුණා මුලින්ම මස්කාව අසලට ගොස් කෑමට යමක් අයද සිටියේය .. මස්කාවාද ඔහු රැගෙන විත් තිබු ආහාරය බමුණාට පිළිගැන්වුහ . බමුණා එය එතැනම තබා නැවත රැගෙන යාමට එනබව පවසා ගියේය ..එසේම නරිය අසලට සහ වදුරා අසලටත් ගොස් ඔවුන් දුන් දෑ නැවතත් එතනම තබා නැවත එනබව පවසා අවසානයේ සාවා ලගට ගොස් ආහාරයක් අයැදුවේය..

බමුණා දුටු සස පණ්ඩිතයෝ ඉතා සතුටට පත්වී මෙසේ කිවේය “ මාගේ බලාපොරොත්තුව මුදුන් පමුණුවා ගැනීමට ඔබගේ පැමිණීම ඉතාම උතුම්ය  කිසිවෙකු නොදුන් ආකාරයේ දනක් මම අද නුබට දෙමි , මෙතන ගිනි මැලයක් ගසන්න මම එයට පැන  මා පිළිස්සුනු පසු ඔබට මාගේ මාංශය අනුභව කල හැකිය යි කිවේය ...

බමුණු වෙස් ගෙන සිටින ශක්‍රයා ඒ අසල ගින්නක් මවා සාවාට ගින්නක් දල්වා ඇති බව කිවේය .  සාවාද නැගිට ඇවිත් ශරීරයේ වසා ඇති සතුන් පලවා හැර සතුටු සිතින් ගින්නට පැන්නේය ..

එහෙත් ඒ ගින්නෙන් සස පණ්ඩිතයන්ගේ ශරීරයේ ලෝමයකටවත් හානියක් වුයේ නැහැ පිළිස්සෙනවා වෙනුවට ඔහුගේ ශරීරය සිසිල් විය . එවිට සස පණ්ඩිතයන් බමුණා අමතා මේ ගින්න සිසිල්ය ඒ මන්දැයි ඇසුවේය ..

එයට පිළිතුරු දුන් ශක්‍රයන් සස පණ්ඩිතයානනි මම බමුණෙක් නොවෙමි . මම සක්‍ර දෙවෙන්ද්‍රයායි නුබලාගේ ශිලය පරික්ෂා කිරීම පිණිස මෙහි ආවෙමියි කිවේය ..



පසුව ශක්‍රයන් සස පණ්ඩිතයන්ගේ මෙම දානමය ශිලය නිසා පැහැදී මේ මුළු බද්‍ර කල්පය පුරා සියල්ලටම පෙනෙන පරිදි චන්ද්‍ර මණ්ඩලයෙහි සස රූපය ඇඳ සස පණ්ඩිතයන් වඩා ගෙනඇවිත්  ඒ වනයේ අලුත් හීතණ පලසක් මතින් තබා  පිටව ගියේය ..


දැන්  බලමු ප්‍රයෝගිකව මේ සිදුවීම් විය හැකිද කියලා ....


එදා සිට අද වෙනතුරුත් චන්ද්‍ර මණ්ඩලයෙහි අප දකින සා සලකුණ සස පණ්ඩිතයන්ගේ රූපය බවයි පැවසෙන්නේ එහෙත් පසු කලකදී සොයාගනු ලැබුවේ ශක්‍රයා විසින් හදේ ඇද ඇති රුපයක් නොමැති බව සහ ඒ උල්කාපාත වැටීමෙන් ඇතිවූ සලකුණක් බවයි ..

එහෙත් ජාතක කතාවක සත්‍ය අසත්‍ය සෙවීම අනුවන කමකි . බුදුන් දෙසුවේ පරම සත්‍ය බැවින් සදේ සස රූපය ඇන්දේ සක්‍රයා නොවේයැයි කාටවත් තර්ක කිරීමටද නොහැක..

සමහර විට විනාශ වෙමින් නැවත නිර්මාණය වෙමින් පැවතෙන මේ ලෝ තලයේ චන්ද්‍රයන් වෙනස් වීමට බැරි කමක්ද නැත. ඒ නැතත් තවමත් දිස්වන උල්කාපාත සා රුපය නිර්මාණයක් වීමටද බැරි කමක් නැත.. සදට උල්කාපාත කිහිපයක් වැට්ටවීමට ශක්‍ර දෙවියන්ට  නොහැකියැයි කිවහැක්කේද ...

ඒ හැරුණු කොට මෙය මහා බද්‍ර කල්පයේ සිදුව ඇති දෙයක් බැවින් ඒකල සිටි සත්වයන් සත්වයන් අතර හා සත්වයන් මනුෂ්‍යන් අතර අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව නොතිබුනා යැයිද කීමට නොහැක . එක් පුරාන කථාවක කියවෙන පරිදි මන්ත්‍රී දේවියගේ ශාපය නිසා සතුන්ට කතාකිරීමට නොහැකි වුනායයි පැවසීමද එයට එක් උදාහරණයකි .

මෙසේ එකින් එකට සමාන ලක්‍ෂණ සහිත ජාතක කතාවලින් වර්තමානයේ මනුෂ්‍යාව සිතාගන්නටවත් නොහැකි අමුතුම සුරංගනා ලෝකෙකට ගෙන ගියත් මෙයිට කල්ප කාලාන්තරයකට පෙර මේ ලෝකයේ මෙවැනි දේවල් ඇත්තටම සිදුනොවුනා යැයි අපට කිව නොහැක.  මක්නිසාද යත් භද්‍ර කල්පවල වෙනත් කාල ප්‍රාන්ත වලදී සිදුවූ දේවල් තේරුම් ගැනීමට තරම් අපගේ මනස මෝරා නොමැත . ඒ හැර අප වෙන කුමක් සිතන්නද මේ රාමුවෙන් පිට සිතන්නටවත් අපගේ මනස මෝරා නොමැත.




You might also like:

Related Posts Plugin for WordPress, Blogger...