28 November 2012

අසරණයෝ "ඉල් මහේ පොහොදිනක සිදුවූ සත්‍ය කතාවකි.



ළයව් එකෙක්වත් මගේ දෑහට පෙන්න ඉන්න එපා  . මක බෑවිලා පළයව් “

පලින් පල කැඩි මඩ හුණු පැල්ලම් වලින් අතොරක් නැතිව ගැවසීගත්  මිටි බිත්තියට වාරුවී  අමු තිත්ත කුණු හරපෙන් අමරදාස මේ දෝස්මුරය තබමින් සිටියේ තමාගේම බිරින්දාටය. තමාගේම දරුවන්ටය . ගෙදරටම ඉතිරිවී තිබුණු පුටු කබල් තුනෙන් දෙකක කැබලි  මිදුල අද්දර බේලි ගස අසල විසිරි තිබුණි .

 හැලි ඇතුළු මැටි භාජන කිහිපයක සුන්බුන් කුස්සිය පැත්තේ දිය මැස්ස අසල විය . පා පහරකින් විසිවී ගිය බාත් හැලියේ බාත් සුනු කුඩා මඩුවක් වැනි කුස්සි කෑල්ලේ දසත විසිරි තිබුණි .වැහැරි  ගිය කෙසග සිරුරක් ඇති දැලි කුණු වැකුණු රෙදි කඩක් හැද  සිටි සුමානාවති දෙනෙතින් රූරා හැලෙන කදුළු කැට  දෙකොපුල් දිගේ ගලා හැලෙද්දී පොඩිඋන් තුන්දෙනා තුරුළු කරගෙන මිදුලේ කොනක ගැහි ගැහි උන්නාය .

බියෙන් ත්‍රස්ත  වූ පොඩි එකාගේ දෙපා ගැහෙමින් තිබිණි . ආයාසයෙන් සකසාගත් බත් පතවත් රස බැලීමට ඔවුන්ට නොහැකිවී තිබුණි . ඒ අමරදාසගේ නිවසේ හවස් වරුව වන විට දැකිය හැකි දින චර්යාවේ එක අංගයකි .

ස්ථිර ආදායම් මාර්ගයක් නැති අමරදාස දිනෙක මේසන් වැඩ වලට අත් උදව් දුන්නේය . තවත් දිනෙක ලි කපන්නන් හා එක්ක වැඩට ගියේය . තවත් විටෙක ඔහු පොල් පරලා පලන්නෙක් විය . කෙතරම් වෙහෙස මහන්සියෙන් උපයාගත්තද හවස් වන විට ඔහුගේ කුලී මුදලින් වැඩිකොටසක් ජලයට දැමු අයිස් කැටයක් මෙන්  කසිප්පු වීදුරුව තුල දියවී  ගියේය . එබැවින් දරු පවුල නඩත්තුවට හේ වියදම් කලේ අල්ප මාත්‍රයක  ප්‍රමාණයකි . මේ නිසා දිනෙන් දින සිය පවුල දිලිදු බවේ අගාධයටම ඇදෙන බව ඔහුට නොපෙනුනේ මත්පැන් රකුසා ඔහුගේ මනස වසා සිටි බැවිනි .

තම පවුල වැටී තිබු අගාධයෙන් ගොඩ ගැනීම වෙනුවට ඔහු කලේ දිනෙන් දින විනාශය කරදර කැන්දමින් තව තවත් අගාධයට තම පවුල රැගෙන යාමයි .

දරු තිදෙනාගේ ඉගැන්වීම වෙනුවෙන් අවසානයේ සුමන්නවති නිවෙසක බැල මෙහෙවර කම් කිරීමෙන් මුදලක් උපයා ගැනීමට තීරණය කලාය. මුළු දිවා වරුවම වැඩ කර හවස දෙක විතර වන විට ගෙදර එයි . දරුවන් හා එක්ව දවාලට බඩට දාගන්නට යමක් හදන්නේ ඉන් පසුවය. කෙසේ උවත් අමරදාසගේ කසිප්පු ටිකේ අනුහසින් ඔවුන්ට ඒ අහරත් නොලැබී යන අවස්ථාද එමටය .

“මේක මගේ කරුමේ. මගේ අතේ පයේ හය්ය තියෙනකන් දරු පැටව් ටික ලොකු කරගන්න මොකුත් කරන්නත් එපැයි. උන්ට උගන්නනකන් මට නිවනක් නැහැ “

සුමන්නවති අහල පහල ගෑනුන්ට එසේ කිවේ දුක හිතේ ගුලි කරගෙනය . මත් රකුසාට බිලි වන්නට පෙර අමරදාස කෙතරම් ලැදි ලෙස තමාට හා දරුවන්ට ආදරය දැක්වූ අයුරු ඇයට සිහිවේ.

පවුලේ අගහිගකම් වැඩි වන විට සුමනාවතිගේ කතාවත් අමරදාසට අදෝනාවක් විය

“තාත්තේ අද මට පොතකුයි පැන්සලකුයි ඕනේ “

පොඩි එකා මෙසේ කියාගෙන ලගට ආ විට හේ දරුවා එළවා ගත්තේ මෙසේ දොස් තබමිනි .

“කාලකන්නි යක්කු මාව කන්න ඉපදුනු උන් “

මෙසේ දිනෙන් දින තම වරදින් පවුල අගාධයට යනු දකින විට හේ තවත් උපක්‍රමයක් ඇරබුවේ දරුවන් හා සුමන්නවති බිය වද්දන්නටය . ගස් කපන්නට ගන්න කබය අතට ගත් හෙතෙම එක් කොනකින් තොන්දඩුවක් දමා කබල් මේසය මතට නැග තොණ්ඩුව ගෙලට දමාගෙන අනෙක් කොන බාල්කයේ ගැටගසා පොරව අතින් ගෙන සුමනාවතිට හා දරුවන්ට මෙසේ තර්ජනය කළේය.

“කාලකන්නි හැත්ත මම තොපි ඉස්සරහා මැරෙනවා යකුනේ .එකෙක් කිට්ටු වෙන්න එපා කොටනවා තොපිට පොරවෙන් “

ඔහු මේසය මත හිටගෙන මෙසේ කෑ ගසන්නට විය .බියෙන් තැතිගත් සුමානාවති මරලතෝනි දුන් බැවින්  එතනට රැස්වූ අහල පහල මිනිස්සු මහත් ඇවටිල්ලකින් පසු අමරදාස බිමට බස්සවා අවුල සමහන් කළහ .එදා දවස පුරාම සුමනාවතිට අමරදාස ඉල ඇට කඩෙන තුරු පහර දුන්නේය .

ඉන්පසු බීමතින් එන හේ මසකට දෙතුන් වරක්ම තම බිරිදටත් දරුවන්ටත් පහර දෙමින් මෙසේ ගෙල වැලලා ගැනීමේ ජවනිකාව රග පෑවේය . මේ නිසා මේ ගෙදර ඇතිවෙන කෝලහාල  අහල පහල මිනිසුන්ටද සාමාන්‍ය දර්ශනයක් විය .

ඉල් මහේ පෝය දිනක හවස් වරුවේ සුපුරුදු පරිදි අමරදාස හතර ගාතේ ගෙදර ආවේය . ඔහුගේ හඩ ඇසෙත්ම සුමනාවති හා දරු දෙදෙනාද කමින් සිටි පාන් කෑල්ල කුස්සියේ තබා අල්ලපු ඉඩමේ කෝපි පදුරක් අසල සැගවුනි . නිවසට ආ අමරදාස  මුලුතැන්ගෙට ගොස් හැලි වලං සියල්ල පොඩි කර දමා සාලයේ තිබු කුඩා පෙට්ටගම් පොඩියද පෙරලා දැමිය .

පැයක් හමාරක් අමු තිත්ත කුණු හරපයෙන් තම බිරින්දාටත් දරුවන්ටත් දෙස් තැබූ හේ වැනි වැනි ගොස් කබය ගෙන මේසයට නැග එහි එක් කොනක් බාල්කයට දමා උඩින් දැමූ කොන දකුණතින් අල්ලාගෙන සුපුරුදු රංගනයට සැරසුණේය.

“තොපි වගේ ...කාලකන්නි එක්ක ජිවත් වෙනවට ...වඩා මැරෙන එක හොදයි “

හේ මොර දුන්නේය .මද වෙලාවකට පසු

“පොඩි කොලු ගිහිල්ලා කුස්සිය පැත්තෙන් බලලා වරෙන් තාත්තා මොනවද කරන්නේ කියලා “

කෝපි පදුර යට හිදගෙන උන් සුමනාවතී තම ඇකයේ හිස හොවාගෙන හඩමින් හුන් පුතුට කීවාය .

“අම්මේ තාත්තා අදත් බාල්කෙ එල්ලෙන්න හදනවා “

මිනිත්තු කිහිපයකින් දිව ආ පුතු තම මවට කිවේය.නමුත් ඔවුනට එය සාමාන්‍ය සිදුවීමක් විය .

මේ අතර අමරදාස වෙරිමත නිසා කබයේ එක් කොනක් ඔහුගේ අතේ පැටලී තිබියදීම මේසය මතින් ලිස්ස වැටිණි . මේ නිසා අනෙක් කොන ඔහුගේ ගෙලට සිරවෙත්ම ඔහු බිම ඇද වැටිණි .

බොහෝ වෙලාවකට පසුව අමරදාස නිදන්නට ඇතයි සිතු සුමනාවතී දරුවනුත් කැටුව කුස්සිය පැත්තෙන් ගෙට ඇතුල් විය . ගෙලට සිරවුණු කබයක් සහිතව බිම වැටී සිටි අමරදාස දුටු ඇය සිතුවේ ඔහු නිදා සිටිනවා ඇතැයි කියාය .

“අදත් තාත්තාට මැරෙන්න අමතක වෙලා වගේ “

මද්දුමී කිවේ ඔවුන්ට මේ එල්ලීම නිතර දැක පුරුදු නිසාවෙනි .

“හැන්දෑවේ හයට විතර වැටුණු ගමන් මේ මනුස්සයා තාම නිදි... දැන් වෙරි හිදිලා ඇති පොඩි පුතේ තාත්තට කතා කරපන් “

රාත්‍රී නවයට පමණ සුමනාවති දරුවාට කීවාය .දරුවා මදක් දුරුන් සිට පියාට කතා කලේ ඔහු නැගිට තමාට පහර දෙතැයි බියෙනි . මන්ද යත් එවන් සිදුවීම් වල අත්දැකීම් ඔහුට තිබුණි . ඊට ප්‍රතිචාරයක් නොවුණු තැන හේ අමරදාසගේ ඇගට අත තබා සොලවා කතා කළේය ..

“අම්මේ තාත්තාගේ මුළු ඇගම සීතල වෙලා මේ ඇවිත් බලන්න “

හේ මවට කතා කළේය . සුමනාවතිද පැමිණ අමරදාසගේ සිරුරට අත තැබිය . සිරුර සීතලය . ගෙල පෙදෙස නිල් පැහැයට හුරුවී තඩිස්සි වී තිබුණි . අසුබ යමක් සිදුවී ඇති බව ඇයට වැටහිණි .ඇය විලාප තියන්නට විය .

“අනේ දෙය්යනේ මගේ මනුස්සයා ..................

අහල පහළ අය වහා අමරදාසව රෝහලට රැගෙන ගියහ . එහෙත් ඒ වන විටත් අමරදාසගේ අවසන් හුස්ම පොද ඉල් මහේ සද රැස් අතර සැගවී ගොස් තිබිණි .

23 November 2012

තාත්තාටත් විලිරුදාව.............



අද මම කියන්න යන්නේ පුංචි ගැමි කතාවක්  නිකන්ම කතාවකුත් නෙමේ පිරිමි පාර්ශවේ උදවියට ටිකක් හිතල බලන්න වටිනා කතාවක් ..

ඔන්න බොහොම ඉස්සර කාලෙක  හද්දා පිටිසර පළාතක ගොවි පවුලක් ජිවත් උනාලු .. ඉතින් මෙන්න මේ ගෙවිලියට පඩි පෙළ වගේ ළමයි හත් අට දෙනෙක් ම ඉන්නවලු ... දැන් කාලේ වගේ නෙමේනේ ඒ කාලේ ඇති පදම් ළමයි හදන්න පුළුවන් නඩත්තුවටයි කියලා වැඩි වියදමක් යන්නෙත් නැහැනේ . දැන් කාලේ එකෙක්ට වඩා හදන්න අමාරුයි ආර්ථිකය ගොඩ නැගිලා තියෙන විදිය තමයි අශ්චර්යද මොකක්ද කියනවනේ ඒකටත්..

හ්ම්ම් ආයෙත් යමු එහෙනම් කතාවට ..  

ඉතින් කොහොමින් හරි ආයෙමත් කාලයක් යනකොට මේ ගෙවිලිය ආයෙමත් ගැබ්බර උනාලු  ඉතින් බොහොම අමාරුවෙන් බඩකුත් උස්සගෙන ඇවිදින මේ ගෙවිලිය දකින කොට  ගමරාලගේ හිතටත් හරිම අමාරුයි .. මොකෝ ලේසි පාසු දුකක් යෑ ළමයි හත් අට දෙනෙකුත් හදාගෙන මේ උන්දා වින්දේ ඒ මදිවට ළමයා හම්බවෙන වෙලාවට  විලිරුදාවෙන් විදින වේදනාවත් සුළුපටු නැහැනේ  ..ළමයි හත් අට දෙනෙක්ම ගෙදරම හම්බවෙද්දී  ඇතිවුන වේදනාව ගැන  හොදින්ම දාන්නා ගමරාල මේ ගැන හිතල ගොඩාක් කනගාටු උනා ...

“ මගේ ඉවසීමක් නැති කමෙන් මේ ගෑනි දුක් විදිනවා මේකට මොකක් හරි පිලියමක් කරන්න ඕනේ” කියලා හිතපු ගමයා ගම හාමිනේ කෙරෙහි ඇතිඋන දැඩි ආලයත් හිතේ තියාගෙනම.. තමන් නිතරම වැදුම් පිදුම් කරන වනන්තරේ ගහක ඉන්න ව්‍යුක්ෂ දේවතා ගස යටට ගොස් යාතිකා කරන්න පටන් ගත්තා ..

දවස් ගානක් ඔහොම යද්දී ගසේ ඉන්න දෙය්යොත් ගමයා ගැන දුක හිතිලා අතු අතරින් ඔලුව එහෙම ටිකක් එලියට දාලා කතා කරනවා ...

“ කිමෙක්ද ගමය තා හැමදාම මාගේ වාස භවනට විත් කන්නලව් කරනවා තට උවමනා දෑ වහාම පවසව"

“අනේ දෙවියනි මගේ මායියට ආයෙත් ළමයෙක් ලැබෙන්න . උන්දැ ළමයා හම්බ වෙද්දී විලි රුදාවෙන් 
විදින දුක මට දරාගන්න බැහැ දෙවියනි “

“තා කුමක්ද මාගෙන් ඉල්ලන්නේ  එය ගැහැනුන්ට උරුම දෙයකි  එය වෙනස් කල නොහැක “

“එහෙනම් දෙවියනි ඒ වෙලාවට ඇතිවෙන විලිරුදාවෙන් බාගයක් උපදින්න ඉන්න ළමයාගේ පියාටත් ලැබෙන්න සලස්වන්න දෙවියනි  මා ලෑස්තියි  එය විදින්න “

“හොදයි තා බලාපොරොත්තු වන ලෙසටම මවට වගේම පියාටත් විලිරුදාව හැදෙයි “

එහෙම කියපු දෙවියා අන්තරස්දාන වෙනවා .. ගමයත් බොහොම සතුටින් ගෙදර යනවා ..

ඉතින් කාලය සම්පුර්න වෙලා අදාල දිනේ උදාවෙනවා ගම හාමිනේට ළමයා ලැබෙන දිනේ
දැන් දෙවියෝ කියපු විදියටම ගමරාලත් වෙදානාව විදින්න ලැස්ති වෙලා එහෙම  හාමිනේට යාබද ඇදක හන්සිවෙලා  ඉන්නවා ... වෙලාවක් යනකොට ගම හාමිනේට ළමයා ලැබෙන්න ආසන්න වෙලා විලි රුදාවෙන් කෑ ගහනවා ඒත් ගමරාලට කිසිම වෙනසක් නැහැ ..

“හෑ දෙය්යන්ට පොරොන්දුව අමතක වෙලා වත්ද “ ගම රාළට එයිට වඩා දෙයක් හිතන්න ලැබෙන්නේ නැහැ

මර ලතෝනි දීලා ගේ අද්දරින් කෑ ගහන සද්දයක් ඇහිලා ගමරාලාත් දුවලා ගිහින් බලනවා .. එතකොට තමයි ගමරාල දකින්නේ ...

අල්ලපු ගෙදර ගමරාලට විලිරුදාව හැදිලා  ...


______________________________________________________________________________

මේ  කතාව මට suminda කියලා  නාදුනන කෙනෙක් ඊමේල් එකට එවලා තිබුන  එකක් කතාවක් විදියට ලියලා දාන්න කියලා  ඉතින් මට හැකි අයුරින් මම ඒක වෙනස් කරලා හැදුවා  ..ස්තුතී  සුමින්ද .




 ---------------------------------------------------------------------------------------------------------------------------------------


ප.ලි :- මගේ පොස්ට් එකක් ගැන ප්‍රශ්නයක් ඇදගත්තු කෙනෙක් වෙන කෙනෙක්ගේ බ්ලොග් එකකට ගිහින් මට විරුද්දව කමෙන්ට් කරලා ඒ පොස්ට් එක පුරාම ජරා කරලා තිබුනා දැක්කා ඊයේ වෙච්ච වැඩේ මම හරියටම දැක්කේ අද උදේ ඉතින් මම ඒ ජරා ගොඩ හෝදන්න ගියේ නැහැ මොකද ඇනොනිමස් ආතල් මට වැඩක් නැති නිසා එත් පොඩි අත් බේතක් කළා ගද නැතිවෙන්න ..ඔව් පිළිතුරු දුන්නා ඒ ඒ තැන්වලම...

තවමත් ඒ ඇනොනිමස් ලා මේ පොස්ට් කියවන්න එනවනම් කරුණාකරලා ආයේ මේ බ්ලොග් එකට එන්න එපා . ඒක කාගේ කාගේත් හිත සුව පිණිස හොදා... මොකද මම පොස්ට් ලියපු විදිය ඉදිරියටත් එහෙම්මමයි ... වැඩි දුරට ඒ ගැන කියන්න හදන්නේ නැහැ මම අදාල තැන් වලම පිළිතුරු දීලා තියෙන නිසා... 

19 November 2012

ජිවිතයට වඩා ආදරය උතුම් කොටගත් මිනිසෙකුගේ අනුවේදනීය ප්‍රේම කථාව .!



මෑතක හදිසියේ කඩා හැලුනු මහා වරුසාවෙන් බේරෙන්නට ලගම තිබු වැසූ කඩ  පිලක් වෙත දිවය ගිය මට එහිදී අපුරු මනුස්සයෙක් හදුනාගන්න ලැබුනා වගේම කිසිදා නොඇසූ විදියේ අනුවේදනීය ප්‍රේම  කතාවක් දැනගැනීමේ අවස්ථාවද වැස්සට පින් සිද්ද වෙන්න ලැබුනා..

වැස්සෙන් බේරීමට මම එතැනට දිව යන විටම . බසයෙන් බැස මා මෙන්ම එතැනට දිව ආවේ වයස හැට පහක පමණ උවත් ප්‍රිය  මනාප  පෙනුමැති මනුස්සයෙක් .

තනි සුදු පැහැති කමිසෙකින් සැරසි හිසේ ජටාවක් ගැට ගසා සිටි මිනිසා බුලත් කහටින් අව පැහැවූ දසන් පෙන්වා සිනාසෙමින්  අප සිටි පුංචි ඉඩේ හැකි තාක් පසුපසට වී බිත්තියට හේත්තු වුනේ හිරිකඩෙන් බේරෙන්න උනත්  වන විතත් ඔහු බොහෝ තෙත බරිතව සිටියාමට ඔහු ගැන ඇති උනේ සියුම් අනුකම්පාවක්..

“ ගොඩක් තෙමිලා නේද මාමේ . මේ වැස්සත් දැන්මම පායන පාටක් නැහැ “

ඔව් පුතා මම අද එලියට බැහැලා තියෙන්නේ වැරදි වෙලාවක “

“ අංකල්  ඉන්නේ මේ ලග පාතකද මම ත්‍රීවීල් එකක් කතාකරගෙන ගිහින් ඇරලවන්නද”  මම එහෙම ඇහුවේ මේ වයසේ කෙනෙක් සීතලේ වෙව්ලමින්  ඉන්න එකෙන් අසනීපයක් හැදෙයිදෝ කියන බය නිසාමයි .

අනේ ඕන නැහැ ළමයෝ වැස්ස ටිකක් අඩු කලහම පුතා එයි මාව එක්ක යන්න මෙතනට “

අංකල්ගේ පුතා මොනවද කරන්නේ “

පුතා කිවේ මගේ නංගිගේ දරුවට පුතේ , මටමයි කියලා දරුවෝ නැහැ මම විවාහ උනේ නැහැ පුතේ “

 එහෙම කියලා ඔහු අමුත්තක් නොපෙන්වා සිනහ සුනත් .  සිනහව අතරේ දුක්බර කථාවක් හැංගිලා තියෙන විත්තිය මට තේරුනා .. මම තව තවත් ඔහුව දොඩමලු කලේ වැස්ස අඩුවෙන ලකුණක්වත් පෙනෙන්න නැති නිසයි

“ ඇයි මාමා  කාලේ කසාදයක් කරගන්න හිතුවේ නැත්තේ තනිකඩ ජිවිතේ හොදයි කියලාද  හිතුවද  “

බොහොම අහිංසකව  සිනාසුනු මිනිසා කඩ පිලේ වූ පුංචි බංකුවේ වාඩිවී අතොරක් නැතිව කඩා හැලෙන වර්ෂාව දෙස නෙත් යොමාගෙන කල්පනාවේ නිරත උනා .. ඔව් ඔහු මේ සැරසෙන්නේ දිගු කතාවකට මුල පුරන්න තමයි .

මම තනිකඩව ඉන්න හිතාගෙන උන්නු මිනිහෙක් නෙමෙයි පුතා . මමත්  කාලේ හීන  දැක්කේ කසාදයක් කරගෙන දරු මල්ලෝ හදාගෙන ජිවත් වෙන්න . එත් එක කාරණයක් හින්දා මට මේ හැමදේම එපා උනා ජිවිතේ කල කිරුනා . මොකක් හරි පුරුවේ කරපු දෙයක් උඩ තවම ජිවත් වෙනවා මිසක නැත්නම් මම මියැදිලා ගොඩක් කල් පුතා ..

අන්තිම වචන ටික කියපු විලාසයෙන් ඔහු ඉන්නේ ගොඩක් දුකකින් බව මට තේරුම් ගන්න අපහසු උනේ නැහැ..

ඕවා ගණන් ගන්න එපා මාමේ දැන් .. මමත් පටන් ගත්තේ වැරදි මාතෘකාවක් නේද .. “මට ඕන උනේ  කතාව එතැනින්ම නතර කරන්න  තව දුරටත් මේ මිනිසාව දුකට පත්කිරීමට මට හිත දුන්නේ නැහැ ...ඒත්,

නැහැ පුතා වැරදි මාතෘකාවක් නෙමේ .. කොහොමින් හරි කතාවට වැටුන හින්දා මම  කතාව කියන්නම් වැස්ස පායනකන් පුතා අහගෙන ඉන්න ..

“එයා හිටියෙ අපෙ ගෙවල් වලට ගෙවල් තුන හතරකට එහයින් පොඩි කාලෙ ඉදලම   දැන හැදුනුම් කමක්  තිබුනත් අපි අතරෙ හරියටම සම්භන්ධයක් පටන් ගත්තෙ මට වයස අවුරුදු විස්ස විසිඑක කාලෙදි … අපි ගොඩාක් ආදරේ කළා පුතා , එක දවසක්වත් නොදැක ඉන්න පුළුවන් කමක් අපිට තිබුනේ නැහැ ඒ තරම් ලොකු බැදීමක් අපි අතර තිබුනා

“ එහෙමනම් කොහොමද ඒ සම්භන්දේ නතර උනේ “

මිනිස්සු හරි කුහකයි පුතා .. අපි කවදා හරි මැරිලා යන්න ඉපදිලා ඉන්න මිනිස්සු කියලා හිතන්නේ නැහැ , කුලමල ජාති ආගම් භේද හිස් මුදුනේ තියාගෙන මිනිස්සු අනිත් මිනිස්ශසුන්ට කෙනෙහිලි කම් කරනවා එත් ඒවායින් අසරණ වෙන්නේ අනිත් අය.. හරියට මේ මම වගේ .

ඒ කොහොමද “ ඔහුගේ කතාවේ මුලක් මැදක් අගක් නොතේරුන නිසා මම එහෙම ඇහුවා ..

අපි ඒ ප්‍රදේශයේ ගොඩක් නම්බුකාර පවුලක් පුතා ..අපි හොද නම්බුකාර පරම්පරාවකින් පැවතෙන මිනිස්සු ඉඩකඩම් සල්ලිබාගේ ඇතිවෙන්න තිබුනා.. ගමෙන් තිබුණු කුබුරු යායෙන් බාගේකටත් වඩා අයිතිවෙලා තිබුනේ අපේ අප්පුච්චට .. මොනවා තිබුනත් හිතේ සතුටක් නැතුව ඇත්ද පුතේ ... මගේ සතුටට ගෙදර උදවිය විරුද්ධ උනා...

එහෙම කියපු මනුස්සයා ඔහුගේ අතේ තිබුණු පුංචි මල්ලෙන් බුලත් කොලයකුත් අඩුම කුඩුමත් අරගෙන එය සුදානම් කරනගමන් නැවතත් කල්පනාවට වැටුනා . ඔහුට නිදහසේ කල්පනා කරන්න ඉඩදී මම නිහඩ උනා...මොහොතකට ,

“පුතා දන්නවද කුලය ගැන .. ඔහු නැවතත් කටහඩ අවදි කළා ..

“ඔව් කුල ගැනනම් දන්නවා එත් කවුද දැන් ඕවා බලන්නේ “

හ්ම්ම් එහෙම කියන්න එපා පුතා දැන් කාලෙත් පරම්පරා කුලය  ඉස්සරහට දාගෙන ඉන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා .. එතකොට හිතල බලන්නකෝ ඒ කාලේ මිනිස්සුන්ගේ ඔය කුල භේදය කොයි තරම් ඉහලින් හිත්වල තිබුනද කියලා. අපිටත් උසස් කුලයක් තිබුණු මිනිස්සු එත් අනිත් මිනිස්සු වගේ මට කුලේ ගැන ආඩම්බර වෙන්න බැරි උනා . මම කුලවත්ව ඉපදුනු එක ගැන මම අදත් දුක් වෙනවා “

“ඇයි ඒ ....

මම කසාද බදින්න හිටි දැරිවි බොහොම පහත් කුලයක කෙනෙක් . එයා රදා කුලේ , අපේ පැත්තේ රෙදි හෝදන වැඩ තමයි එයාලගේ මහ උදවිය කලේ , අපේ ගෙවල් වල රෙදි හෙදුවෙත් උන්දලා තමයි.. උන්දලා අපේ ගෙවල් වලටවත් වැද්ද  ගත්තේ නැහැ උවමනාවකට ආවත් පිළිකන්න පැත්තෙන් තමයි ආවේ ... ඉතින් එහෙව් පව්ලකින් කෙනෙක් එක්ක හාද කමක් ඇති කරගෙන විත්තිය අපේ ගෙවල් වල උදවිය දැනගත්තම ඇතිවෙන තත්වේ තෙරේනවනේ  අපේ අප්පුච්චා මාව ගහලා මැරුවේ නැති ටික විතරයි ..

අපිට කවදාවත් මව් දෙමාපියන්ගේ ආශීර්වාදේ මැද්දේ එකතු වෙන්න ඉඩක් නොලැබෙන බව  අපි දෙන්නම සහ සුද්දෙන් දැනගෙන උන්නා.. මම දෙමාපියන්ගේ බහකට පිටින් ගියොත් මට තබ සතේක දෙයක් දෙන්නේ නැහැ කියලා අප්පුච්චා නිතරම දෙස් දෙවොල් තිබ්බා එත් මටනම් උන්දලාගේ දේවල් ගැන වටිනාකමක් කොහෙත්ම තිබුනේ නැහැ .. කාටත් හොරෙන් කසාදෙ කරගෙන පැනල යන්න මම උත්සහ කලෙත් නැහැ එහෙම කලොත් ඒ ඇත්තීගෙ ගෙදර උදවියගේ ජිවිත වලට කරදරයක් කරන බවකුත් මට ඉගියෙන් දන්වලයි තිබුනේ ..

අන්තිමේදී අපි දෙන්නම කථා කරලා තීරණයක් ගත්තා දෙන්නම එකට මැරෙන්න .

හෑ මැරෙන්න “ ඒ වචනේ ඇහෙද්දී මගේ ඇස් උඩ ගියේ ඉබේමයි

ඔව් පුතා එකට ජිවත් වෙන්න බැරිනම් එකට මැරෙනවා කියන තීරණේ තමයි අපි දෙන්නම උන්නේ ඒ තරමටම අපි අතර බැදීමක් තිබුනා ..

අන්තිමේදී අපි දෙන්නම එකග තාවෙකට ආව ... මම මැහි තෙල් බෝතලයක් ගෙනත් මම භාගයක්  තියාගෙන ඉතිරි බාගේ එයාට දුන්නා අපි දෙන්නම ගෙවල් වලට ගිහින් වෙලාවක් නියම කර ගත්තා හරියටම එකම වෙලාවට වස බොන්න .. අපි වස බිව්වා..

එත් මම බලාපොරොතු වෙච්ච දේ නෙමෙයි උනේ .. ගෙවල් වලින් මාව ඉස්පිරිතාලේ අරගෙන ගියා මාස ගානක් දුක් වින්දා දෙමව්පියෝ පුළුවන් තරම් සල්ලි වියදම් කරලා මාව ගොඩගත්තා .. මම පන වගේ ආදරේ කරපු කෙල්ල ඉස්පිරිතාලෙක ගොඩක් දුක් විදලා මම වෙනුවෙන් ජිවිතෙන් සමුගත්තා ඒකිගේ මිනියවත් මට දැකගන්න ලැබුනේ නැහැ අදටත් ඒ  සොහොන ලගට ගිහින් එයාට පින් පමුණුවනවා.. මට කරන්න ඉතිරිවෙලා තියෙන්නේ එච්චරයි ..

එහෙම කියා ලොකු හුස්මක් සමග නිහඩව කල්පනාවට වැටුනු මිනිසාගේ නෙත්හි දිදුලන කදුළු බිදු මාර්ගයේ වාහන ආලෝකයෙන් මට පැහැදිලිවම පෙනුනා... මටත් ඒ මොහොතේ ඉක්මනින් නිවසට යෑමේ අවශ්‍යතාවයට වඩා මේ කතාවේ  අවසානය දැනගැනීමේ කුතුහලයෙන් හිටියේ ..

අන්තිමේදී මට හිරේ උසාවි වල ලගින්න සිද්ද උනා  මම සතුටින් ඒ දේවල් බාරගත්තා  මම දරාගන්න බැරි දුකකින් හිටියේ මම සියදිවි හානි කරගනී කියලා මට මුරකාරයොත් දාලයි තිබුනේ ... එත් මම අධිෂ්ඨානය කරගෙන හිටියේ ඉඩ ලැබුණු මොහොතක මමත් මගේ ජිවිතේ නැති කරගෙන එයා ඉන්න ලෝකෙකටම යනවා කියලා..

එත් එක ඉෂ්ට කරගන්න පහසු උනේ නැහැ මාව හිරකරලා තිබුනේ .. එහෙම ඉන්න අතරේ කල්පනා කරලා වැඩිවෙලාම  මම මානසික රෝගියෙක් උනා ..  මානසික රෝහලේ වසර ගනනාවක්ම හිටියා .. ගෙවල් වල උදවිය පුළුවන්තරම් වියදම් කරලා මාව ගොඩදාගත්තා ...

පස්සේ මාව පිටිසර පළාතක පන්සලක නතර කලා ඒ පන්සලේ හිටිය හාමුදුරු නමක් එක්ක අපේ නෑදෑ කමකුත් තිබුනා උන්දා තමයි මාව  ගෙන්න ගත්තේ.. අද මම මේ විදියට අනිත්‍ය තේරුම් අරගෙන ජිවත්වෙන්නෙත් ඒ හිමිනමට පින් සිද්ද වෙන්න...

හාමුදුරුවරු ඇසුරේ ඉන්නකොට මගේ හිතත් ටික ටික හරි ගියා.. මේ හැමදේම නැතිවෙන සුළු බව උන්දැලා මට තේරුම් කරලා දුන්නා .. සෑම දේම අනිත්‍යයි .. පෙරුම් පුරාගෙන ලබාගත්ත මනුෂ්‍ය ජිවිතයක් විනාශ කරගන්න එකත් මහා පාපයක්ලු ..

 හැමදේකටම පිළිතුර මරණය නෙමේය කියල අන්තිමේදී මම තේරුම් ගත්තා  මම ඒ පන්සලේ වැඩ කටයුතු වලට උදව්වෙමින් අවුරුදු කිහිපයක්ම හිටියා.. එත් මට මහන වීමේ ආශාවක් ඇති උනේ නැහැ එත් මම කවදාවත් විවාහ නොවෙන්න ස්ථිරයෙන්ම තීරණය කරගෙන හිටියේ ..

පස්සේ කාලෙක මව් දෙමාපියෝ මියැදුනා  පරම්පරාව කුලය නම්බුව බුදලේ ඔය එකක්වත් යනකොට ගිනියන්න පුළුවන් දේවල් නෙමේ .. එයාලා ගියා හිස් අතින්ම එත්  එයාලගේ නම්බුව වෙනුවෙන් මාව සදාකාලිකවම තනිකරලා .. පස්සේ මම ඒ ගෙදරට ගිහින් පදිංචි උනා ඒත් කවදාවත් මම වෙන ගැහැණු කෙනෙක් ගැන හිතුවේ නැහැ මම වෙනුවෙන් මියගිය ඒ උත්තමාවී ගැන හිත හිතා  අද වෙනකනුත් හිතින් මැරී මැරී  තනිවම ජීවත්වෙනවා
.
හරි අපරාධයක්නේ “ කථාව අවසානයේ මට  එයිට වඩා යමක්  කියන්න ඉතුරුවෙලා තිබුනේ නැහැ

අපරාධයක් නෙමේ පුතා මේක තමයි ජිවිතේ අපි ලබා උපන් හැටි අපි සංසාරේ කොතැනක හරි ලොකු පාප කර්මයක් කරලා ඇති ..

අවසානයේ මම බොහෝදේ කීවත් වැහි අහස දිහා බලාන හුල්ලන මිනිසාගේ දුක තුනී කරන්න ඒ වචන ප්‍රමාණවත් උනේ නැහැ ..

ආදරය සුන්දර දෙයක් වගේම මිනිස් හදවත්  දවා අළු කිරීමට තරම් දරුණු වන අවස්ථා ඇති බව මා ද තේරුම් ගත්තා මේ මිහිපිට ආදරය වෙනුවෙන් දුක් විදින මෙවැනි ජිවිත කියක්නම් ඇත්දැයි සිතමින් මා ඒ සොදුරු මිනිසාට සමුදී පොද වැස්සේම පිටත් උනා ...

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...