26 August 2013

මහ රෑ චාටර් වී භූතයෙක් වූ චමි...


මා උසස් පෙල පංතියේ අසුන්ගෙන වැඩි කාලයක් යෑමට මත්තෙන්  අප ප්‍රදේසේ සිටි රැය පහන් වනතුරු පාඩම් කිරීමේ භාරදුර ක්‍රියාදාම කණ්ඩායමේ  සාමාජිකයෙක් වීමි .  ඒ මා තුල ඇති අධ්‍යාපන උනන්දුව නිසා යැයි ඔබට සිතුනිනම්  ඔබ වැරදිය .  වහාම එය නිවැරදි කර ගත යුතුය .  මගේ අරමුණ වෙන එකකි.  ඒ දහවල් කාලයේ වත් අල්ලා ගන්නට නොලැබෙන මිතුරන් හා සතියකට දෙතුන් වරක් හෝ රාත්‍රියේ සෙට් වී කයියක් ගැසීමටය.. ඕපාදුපයක් කියවිමටය .. සරලව කිවහොත් ෆන් එකටය ..

එවකට මා උසස් පෙළ පංතියට ඇතුළුවී මසකට වැඩි කාලයක් ගෙවී ගොස් තිබුනේ නැත. රැයක් පහන් වනතුරු තබා පැයක්  දෙකක් පාඩම් කිරීමට  තරම්වත් මාගේ උසස් පෙල පොත් හි  සටහන් නැත. ඒ මා සටහන් කර නොගන්නා නිසා නොවේ.. අප තවම විෂය නිර්දේශයට අවතීර්ණව නොමැති බැවිනි. එහෙත් මා සමග පාඩම් කල අනෙකුන් එසේ නොවේ උන් මට වඩා වසර දෙකකින් වැඩිමහලුන්ය . උසස් පෙල විභාගය අත ලග බැවින් උන්ට පාඩම් කිරීමට ඇති පදම් දෑ තිබේ .. එහෙව් උන් සමග උසස් පෙල පිටු තුනක් පිරි ඇති මගේ සටහන් පොතත් සමග මට කරන්නට ඇති ලබ්බක් නැත එහෙත් මා උන් සමග හරි හරියට පාඩම් කලෙමි. සටහන් පොතේ පිටු තුන කටපාඩම් වෙන තුරු පාඩම් කලෙමි ..ඒ  මා තුල ඇති අද්‍යාපන උනන්දුව නිසාම  නොව.. උක්ත කරුණ නිසාම පමනි.

අපට පාඩම් කිරීමට ස්ථිර   ස්ථානයක් කියා තිබුනේ නැත. බොහෝවිට රාත්‍රී පාඩම් කිරීම් වලදී ඒකරාශී වුයේ  එක් එක් සාමාජිකයන්ගේ නිවෙස් වලය.  නිවසේ ප්‍රධාන දොරෙන් පිටත කාමරයක් තිබීමත් කාමරය තුල සිදුවන කතාබස් වලට අවහිරයක් නොවීමත් යන  ප්‍රධාන කාරණා දෙක සම්පුර්න වීම මත එතැන අපට රාත්‍රියක් ගෙවෙන තුරාවට පාඩම් කිරීමට සුදුසුකම් සපුරනාවායයි අප සැලකුහ.

මෙවැනි ස්ථාන කිහිපයක් අතරින් අප වඩාත් ඇලුම්කල ස්ථානයක්ද විය ඒ ජනකාන්ත නිවෙසයි. ජනකාන්ත අයියා ද එකල උසස්පෙළ කඩයිම පැනීමට ඔන්න මෙන්න කියා සිටි එකෙකි.. එබැවින් ඔහුගේ ආරාධනය පිට අප බොහෝවිට රාත්‍රී පාඩම් සදහා යොදාගත්තේ ජනකාන්ත නිවසේ ඉදිරිපස කාමරයයි .

එක් දිනෙක රාත්‍රියේ නිලංක, ප්‍රියා සහ මා ජනකාන්ත නිවෙස කරා ගියෙමු ඒ පාඩම් කිරීමට අවශ්‍ය ආම්පන්නද රැගෙනය . ජනකාන්ත නිවසේ අපට පාඩම් කිරීම සදහා ලබා දී තිබුනේ නිවෙස ඉදිරිපස ඇති කන්තෝරු කාමරයක ප්‍රමාණයේ පුංචි කාමරයකි මෙහි ඇත්තේ පුංචි පොත් මේසයක් සහ ඇදක් පමනි .

පොත් මේසය ජනකාන්ත අයියා නිරන්තරයෙන්ම අයිති කරගෙන සිටි බැවින් අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇද උඩ සිට පාඩම් කටයුතු කිරීමට සිදුවිය . එක අතකින් එය අපට වාසි විය .. ඒ පාඩම් අතර තුර නිදිමතක් ආවොත් එහෙම්මම ඇස් පියාගත හැකි බැවිනි... බොහෝ දිනවල අපි තිදෙනා කලේද එයමය .. එහෙත් ජනකාන්ත අයියාට එසේ බැරිය . අප එසේ නිදාගත් දිනවල එලිවෙනතෙක් නින්දක් නැතිව  ජනකාන්ත අයියා අපා දුක් විදි බව පසුදා අපට පවසයි එහෙත් අපට එයින් වැඩක් නැත. ඇද අයිති අපටය.. ජනකාන්ත අයියාට අයිති මේසයයි එබැවින් ඌ මේසය උඩ නැටුවත් අපට කම් නැත . අප පාඩම් කල ස්ථානයේ අප නිදාගන්නා සේම ඌ පාඩම් කරන ස්ථානයේ නිදාගැනීම උගේ යුතුකමකි .

මෙදිනද මධ්‍යම රාත්‍රී කිට්ටු වෙනතෙක් අප නිහඩව පාඩම් කලෙමු..  නිහඩව පාඩම් කිරීමෙන්ම කම්මැලි සිතුන නිසාදෝ මන්දා ජනකාන්ත අයියා අලුත් යෝජනාවක් ගෙනාවේය .

“මම උබලගෙන් ආර්ථික විද්‍යාවෙන් ප්‍රශ්න අහන්නම් උබලා උත්තර දියල්ලා ....

නිදි මතේ සිටි බැවින් අප තිදෙනාද එයට අකමැති වුයේ නැත ..

“ආර්ථික විද්‍යාව නිර්වචනය කරන්න ... හොදයි නිර්වචනය කරහල්ලා බලන්න ..”

අප ප්‍රශ්නයට පිළිතුරු ගොනු කරන අතරේ ... එකෙක් මහා හඩින් ලියන භාෂාවෙන්ම  උත්තරය කිවේය ..  ඒ එකෙක් නොව එකියෙකි... ඒ ගෑනු කටහඩ අපගේ නොවේ ..

අප තිදෙනා එකිනෙකාගේ මුණු දෙස බැලුවේ නිදි මරගාතේ ඇසුණු ගෑනු කටහඩ  අප තිදෙනාගෙන්ම කෙනෙක්ගේ දැයි  සැක හැර දැනගැනීමටය...  එහෙත් තිදෙනාගේම මුහුණුවල ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.. දැන්නම් ඒ කටහඩ අපේ කාමරයේ නොමැති අයෙකුගේ හඩක්  වැව් ස්ථිරය ..

ජනකාන්ත අයියා ට එය ගැටලුවක් නොවන සේය ඔහු  සුන්දර සිනාහවකින් සැරසී අප දෙස බලා සිටි..

“කවුද බං ඒ ...

අප තිදෙනා විශ්මයට පත් කල ඒ පිළිතුරු කාරිය කවුදැයි අප සෙවිය යුතුය..

“ ඒ අපේ අම්මා ...”

ජනකාන්ත අයියාගේ ඒ පිළිතුර අපව තවත් විශ්මයට පත් කලේය .  ජනකාන්තගේ අම්මා වැනි අයෙක් ආර්ථික විද්‍යාවේ මුලික දැනුමින් සන්නද්ද වුයේ කෙසේද?.. ගෘහ විද්‍යාව ගැන ප්‍රශ්නයකදී ඈ පිළිතුරු දුන්නා නම් අප පුදුම  විය යුතු නැත. මන්ද ඈ ගෘහණියකි . එහෙත් ඈ දැන් පිළිතුරු සපයන්නේ අපට අමාරු විශයක්වූ ආර්ථික විද්‍යාවටය.. ඉතින් අප පුදුම විය යුතු නොවේද ...

“ඒයි ජනකාන්ත අයියේ උබලගේ අම්මා කොහොමද බං ආර්ථික විද්‍යාව දන්නේ ..”

“ මෙහෙමනේ බං .. මම තනියම පාඩම් කරද්දී  හයියෙන් කෑගහලා පාඩම් කරන්නේ.. එතකොට ප්‍රශ්න උත්තර පොතේ ලියලා තියෙන ප්‍රශ්නයි උත්තරයි දෙකම කියනවා .. අම්මට දැන් ඒවා ඇහිලා ඇහිලම  කටපාඩම් ...”

මෙතෙක් වෙලා අප පුදුමයට පත්කල පැනයට පිළිතුරු ලැබුනේ ජනකාන්ත අයියා අම්මට නොඇසෙන සේ හීන් හඩින් එසේ කියූ පසුවයි ..

ඉන් පසුවද ජනකාන්ත අයියා  ආර්ථික විද්‍යාවෙන්   ප්‍රශ්න කිහිපයක්  ඇසු අතර අප පිළිතුරු දීමට පෙර උන්ගේ අම්මා ඒ සැමටම පොතේ හැටියටම පිළිතුරු දුන්නේය..  

ඈ ඉන්නේ අප සිටින කාමරයට එහා පැත්තේ කාමරයේ බැව් එයින් අපට පසක් විය.. කාමර දෙක වෙන්වී ඇත්තේ එක බිත්තියකිනි... සමහර විට අප හිමින් මුමුනන  නොහොබිනා දෑ වුවද උන්ගේ අම්මාට කනේ තිබ්බා සේ ඇසීමට ඉඩ ඇත .. ඒ බව මට කල්පනා වුයේ පසුවය එවිට  අප පමා වැඩිවී තිබුණි ..

ජනකාන්ත අයියයි උන්ගේ අම්මයි අතරේ ප්‍රශ්න උත්තර වැඩසටහන දිගින් දිගටම යන අතරේ අප තිදෙනා පොත් පත් අකුලා තබා ඇදට  ගොඩවූයේ නිදාගන්නා අදහසිනි ..  එහෙත් කරුමයකි . මෙතෙක් වෙලා නිදි මත පෙරෙමින් තිබුනද ඇදට නැග කොට්ටයට ඔලුව තිබු මොහොතේ සිට නිදි මත කොහෙන් ගියාද නැත .. අන්තරස්ද්දාන වූ නිදිමත නැවත අප කරා එනතෙක් අප කතාවට වැටුණි..

අපේ කතා බහ එක් එක් මතෘකා ඔස්සේ ගොස් අවසානයේ වැදගත්ම මාතෘකාවේ නතර විය .. අප වැනි අද්‍යාපනය ලබන වයසේ සිටින්නන්ගේ වැදගත්ම මාතෘකාව කුමක්දැයි වචනයෙන් කිවයුතු නැත එය ඔබ දනි..  මේ වයස පසු කල සියල්ලෝමද දනී.. නොදන්නෙක් වී නම් ඔහු ජිවිතයේ එක් කාලපරිච්ඡේදයක් මගහැර පැමිණියෙකි...

ආධ්‍යාපනය ...!!,

අධ්‍යාපනය යැයි ඔබ සිතුවානම් ඔබට වැරදි ඇත ..මා කිවේ ආදරය ගැනය .  මේ කාලයේ අපගේ සිත් ගත් යුවතියන් රාශියක් සිටියේය .., එබැවින් උන් ගැන අපට කියවීමට ඇති පදම් දෑ තිබේ. මේ මොහොත අප ඒ සදහා යොදාගත්තේය..

අපටත් නොදැනීම මාතෘකාව දික් ගැහුනි එත් කම් නැත වරද වුයේ මාතෘකාව අතුරු මාතෘකා ඔස්සේද දිව යෑමයි... අප දන්නා යුවතියන්ගේ රුව ගුණ නැනැ පමණක් නොව..හැඩ ගැනද අප කතාවිය.. එතැනින් ගොස් එක්  එක්  සරීර ස්ථානයන් හී හැඩ ගැනද කතා විය අවසානයේ අපගේ කතිකාව උච්චතම අවස්ථාවට පැමිණෙමින් සිටින මොහොතේ ..

“බරාස් “  ගා අප සිටි කාමරයේ දොර ඇරී ගියේය.. ඒ දොර එසේ නිකන්ම ඇරෙන්නේ නැත. කිසියම් කෙනෙක් එළියේ සිට වැරෙන් දොර තල්ලු කර ඇත...

ඒ ශබ්දයෙන් අප සිව් දෙනාම ගැස්සී ගියමුත්  බිය යටපත් කරගෙන දොර දෙසම බලා සිටියෙමු... දෙරෙන් එපිට  කට්ට කලුවරය.. අපට නොඇසුනාට පොද වැස්සකුත් වැටෙන බව යාන්තමින් ඇති හද එළියෙන් පෙනෙන්නට විය

එහෙත් සමගම දොර ඉදිරියෙන් දිස්වූයේ  සුදු දිග ගවුමක් ඇදගත් කාන්තා රුවකි ..  එක වරම හැමු සුළගින් ඈගේ කෙහෙරැලි අවුල්වී මුහුනට වැටුණි.. ඒත් සමගම කාමරය තුලට එබුනු ඈගේ මුහුන ලයිට් එළියෙන් අපට පැහැදිලිවම දිස්වුනි... ඔව් ඒ මෝහිනී ..

“බැහැපියව් තුන් දෙනාම එලියට ....” මෝහිනී කෑගැසුවේය....  

මෝහිනී ඇන්ටි යනු වෙන කවරෙකුවත් නොව ජනකාන්ත අයියාගේ මව්තුමියයි ..

මෙතන රෑ තිස්සේ පාඩම් කරන්න කියල ඇවිත් කරන පාඩමක් නැහැ මගුල් කතා කරනවා ... අපේ එකාට පාඩමක් කරගන්නත් නැහැ .. නිලංග ,ප්‍රියාන් , චමි ...තුන් දෙනාම දැන්ම බහින්නයි කිව්වේ එලියට ..”

දැන් ඉතින් කරන්නට දෙයක් නැත තව දුරටත් මෙතැන රැදී සිටියහොත් ජනකාන්තගේ අම්මා අපව බෙල්ලෙන් අල්ලා බල්ලන් සේ එලියට විසික්කා කරන්නට වුවත් ඉඩ ඇත ..එබැවින් අපි   අප සතු ආම්පන්නද කොට්ට මෙට්ටද අකුලාගෙන එලියට බැස්සෙමු ..

“අපි යනවා ජනකාන්ත අයියේ ...”

එත් ජනකාන්ත අයියා අපට නතර වෙන්නැයි කිවේ නැත එසේ විනම් ඌටද අප සමග එලියට බැසීමට සිදුවන බැව් ඌ දනී...

අප පොද වැස්සේම එලියට බසින අතර මේසා විපතක් වීමට අප පෙර කල අකුසල කර්මයක්  තිබේදැයි මනසින් සොයා බැලීමට මට සිත්විය ...

යටගිය දවසක අප මෙලෙසම ජයකාන්තයාණන් ගේ කුටියේ  පාඩම් කටයුතු සදහා ආහ.. මෙදා මෙන්ම එදාද අප සිටියේ ඇද උඩය ජනකාන්තයාණන් මේසය උඩය.. එදාද මෙදා මෙන්ම මැදියම් රැයේ අප තිදෙනා ඇද උඩම නින්දට වැටුණි.. අප නින්දට වැටී මද වේලාවක් යෑමට මත්තෙන් ගිගුරුම් සහිත මහා වර්ෂාවක් පතිත විය.. ජනකාන්ත නිවසේ සිංහල උළු අතරින් පවා වැහි බිදුද හිරිකඩද කුටියට පතිත විය .. තද වර්ෂාවත් සීතලත් බැවින් ජනකාන්තයාණන්ට නිදා ගැනීමට උවමනාවිය.. එහෙත් මේසය උඩ නිදාගැනීමට බැරිය , ඇදේද  අප තිදෙනා ඇති බැවින් නිදාගැනීමට ඉඩක් නැත .. අසරණවූ ජනකාන්තයාණන් පැදුරු කඩමල්ලක්වත් නැතිව සීතලේම සිමෙන්ති පොලවේ වකුටුවී වැදහොත්තේය ...

වර්ෂාව එන්න එන්නම දරුණු විය .. ගිගුරුම් ඇතිවිය එබැවින් ජනකන්තයාණන්ගේ මෑණියන්වහන්සේට අප ගැන සොයා බැලීමට සිත් විය ඈ ඇවිත් කුටියේ කවුළුවකින් එබී බැලුවිට ඈ දුටුවේ.. සීතලේ බිම වැතිරී සිටින ජනකාන්තයාණන් සහ ඇදේ සැපට නිදන අප තිදෙනාවය..

එදවස පටන් ජනකාන්ත මෑණියන්දෝ අපට වයිර කරන්නට විය.. ඉඩ ලද විගස අපෙන් පලි ගැනීමට සිතාගත්තේය... අද අපට මෙලෙස මහා රාත්‍රියේ එලියට බැසීමට කරුණු කාරනා සැලසුනේ එසේය ..

පව නම් පවමය ගොනුන් පසුපස යන රියසක සේ පව පවුකාරයන් පසුපස ලුහුබදි එය වැලැක්විය නොහැක මෙදා මේ සා විපතක් පැමිණුනේ එදවස අප කල ඒ පාප කර්මය නිසා බැව් සිහිපත් කර  ගත් අප තිදෙනා පොද වැස්සට තෙමේමින් මහා රාත්‍රියේම පල්ලම් බැස්සේය.. ඒ යන ගමන් ජනකාන්ත අය්යාවත් උන්ගේ මෑණියන්දාවත්. මෑණියන්දාගේ මෑණියන්වත් සිහිපත් කරන්නට අමතක නොකලේමු..

මේ මහා රාත්‍රියේ කෙසේවත් අපට නැවත නිවෙස් වලට යෑමට නොහැක... කරන්නට දෙයක් සිතා ගැනීමට නොහැකිව අරමුණකින් තොරව ඇවිදගෙන ගිය අප අවසානයේ ගමේ හන්දිය ලගින් හැරී හොල්මන් කන්ද  පාමුල ලයිට් කණුව යට බෝක්කුවේ අසුන් ගත්හ ..

අසුන්ගෙන වැඩි වෙලාවක් යෑමට මත්තෙන් ..ටක් ..ටක් ..ටක් ..යන ශබ්දයෙන් කෙනෙකුගේ පා ගැටෙන හඩක් ඇසෙන්නට විය.. පුදුමයකි .. මෙවන් වේලාවක මේ පාරේ කෙනෙක් තනිවම නම් යන්නේ නැත මෙය පාලු පාරකි  හොල්මන් කතා  දෙක තුනකටම මග පෑදු ස්ථානයකි..එසේනම් මේ එන්නේ හොල්මනක් වත්ද ..

බෝක්කුව එහා පැත්තේ ඇති කෙහෙල් පදුර අස්සට රිංගු අප තිදෙනා ..ටක් ටෝක් ..හඩින් එන හොල්මන හැදින ගන්නට උත්සහ කලේමු...

ඒත් සමගම හොල්මන ලැසි ගමනින් අප සිටි ස්ථානයද පසුකර ගියේය .. ඒ හොල්මනක් නොව අපගේ නැටුම් ගුරුවරයායි ..

ඔහු අප ප්‍රදේශයේ නැටුම් පංතියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.. මා මුලින්ම ඔහුගේ නැටුම් පංතියට ගියේ ඔහු මයිකල් ජැක්සන් වැනි පොරක් යැයි සිතාගෙනය.. එහෙත් ඔහුගේ සුන්දර සුකුමල මුහුණත් , කාන්තාවකගේ බදු ලැසි ගමනත් දැකීමෙන් මගේ මයිකල් ජැක්සන් සිහිනය බොද විය .. එහෙත් මා නැටුම්  පංති යෑම දිගටම කරගෙන ගියේය... අද වන විට මේ නැටුම් ගුරුවරයා රුපවාහිනි නාට්‍ය වල පවා සුළු වශයෙන් ප්‍රසිද්ද නාමයක් සාදාගෙන ඇත..

අද ඔහු මේ එන්නේ කොහේ හෝ නැටුම්  සංදර්ශනයකට සහබාගීවි එන ගමන්ය... කෙහෙල් පදුරක් අස්සේ රිංගා සිටි බැවින් ඔහු අපව දුටුවේ නැත ...

“ඒයි මොකද කරන්නේ සර් කාරයට පොඩි ජෝක් එකක් කරමුද ...’
එකෙක් යෝජනා කලේය..

දැන් ඔහු අප පසුකර මීටර් සියයක් පමණ දුර ගොස්  පාළු කන්ද අසලට ලංවී ඇත මේ කදු පාර දෙපස ඇත්තේ පොල් ඉඩම් කිහිපයකි පාරට පෙනෙන මානෙක නිවෙස් නැත ඇතත් අතරින් පතරය.. කන්ද අවසානයේ පාර අසලම ඇත්තේ සුසාන භූමියයි.. නැටුම් ගුරුවරයාගේ නිවෙසට සුසාන භූමියද පසුකර සැතපුමක පමන දුරක් තිබේ..

දැන් නැටුම් ගුරුවරයා කන්ද නැගීම ආරම්භ කර ඇත අපද ඔහුට මීටර් සියයක් පමණ පිටු පසින් ඔහුව ලුහුබදි.. කන්ද මැදක් හරියේ සිට අප මෙහෙයුම ආරම්භ කලෙමු... ඒ සියුම් හඩින් භූත ශබ්ද දැමීමෙනි .. අසල ඇති පොඩි ගස් පදුරු එක වරම හයියෙන් අල්ලා සෙලවිමෙනි .. පුංචි පුංචි ගල් කැට විසි කිරීමෙනි ..


අපේ වෑයම සාර්ථක විය .. ගුරුවරයා පොඩ්ඩක් නතරවී පසු පස බැලුවේය ඉන් පසු කරේ එල්ලාගෙන සිටි බෑග් එක ගලවා වමතේ හිරකර ගත්තේය.. දැන් ඔහුගේ ගමන වේගවත්ය.. අප නැවතත් ශබ්ද කල විට ඔහු නැවත පසුපස හැරි බලා පහත්වී පයේ ලා සිටි සෙරෙප්පු දෙක ගලවා දකුණතට ගත්තේය.. දැන් ඔහුගේ ගමන ඉතා වේගවත්ය එය දිවිමකට සමානය එහෙත් අඩි පහ හයකට වරක් පිටු පස හැරී බැලීමට ඔහු අමතක කලේ නැත...

සුසාන භුමිය පෙනෙන මානයේදී ඔහු පසු පස හැරී බැලු විටම.. මා හයියෙන් හූවක් කියාගෙන පාර මැද්දට පැන ඔහු වෙතට දිව ගියෙමි.. ඒ අතරම අනෙක් වුන් දෙදෙනාගේ ගල් ගැසීමත් දිගටම සිදුවිය ...


හු ..කියාගෙන දෑත් දිගුකරගෙන එන මා දුටු නැටුම් ගුරුවරයා මටත් වඩා හයියෙන් හු.. තියමින්.. පාර දිගේ දුවන්නට පටන් ගත්තේය.. අපට ඔහුට ලංවිමටවත් ලැබුනේ නැත ඒ තරමටම ඔහු වේගවත්ය .. එදා ඔහුගේ දිවීම සමකල හැක්කේ ඔලිම්පික් මීටර් සියය කප් ගැසූ පොරගේ දිවීමට පමණි .

පසුවදා සවස අපට නැටුම් පංති පැවැත්වෙන දිනයකි.. එහෙත් වෙනදා වේලාසනින්ම ඇවිත් ශාලාව විවුර්ත කරන නැටුම් ගුරුවරයා අද පෙනෙන්නට නැත ...  අනෙක් ශිෂ්‍යයෝද දොර අසලට වී බලාසිටි පංති වේලාවද ගෙවී ගොස්ය එහෙත් ගුරුවරයා පෙනෙන මානේක නැත.. පෙරදා රාත්‍රියේ සිදුවූ දේ මා දන්නා  බැවින් ගුරුවරයාගේ ප්‍රමාදය මටද ඇති කලේ බියකි ..

මද  වෙලාවකින් කොලුවෙකු පාපැදියකින් ඇවිත් නැටුම් ශාලාව ඉදිරියේ නතර විය ..

“ නැටුම් සර් මේ ලියුම දෙන්න කිව්වා ..”

එසේ කියා කොල්ලා එතැන සිටියෙක් අත ලියුම තැබුවේය....

// උන ගැනී අසනීපව ඇති බැවින් අද දින නැටුම් පංති පවත් වීමට නොහැකි බව කරුණාවෙන් දන්වා සිටිමි
මෙයට ,
නැටුම් සර් ,  //

භූත නාටකය එතැකින් නිමා විය.. සර්ට උන ගැනීමේ උප්පත්ති කතාව දැන සිටියේ අප තිදෙනා පමනි.. අද වන තුරුද එය එසේය...!!!

---------------------------------------------------------------------------------------------
ජනකාන්ත අයියාගේ පාරම්පරික ජන නැටුමක් පහතින් ...













13 August 2013

අත්භූත නවාතැන්පොල - (සත්‍ය කතාව )


දැඩි වර්ෂාව  කපාගෙන වාහනය වේගයෙන් ඉදිරියට ඇදුනි . මද්දහන ගෙවී සුළු වෙලාවක් වුවද මිදුමත්  වැහි අන්ධකාරයත්   නිසා පරිසරයේ  තිබුනෙ අදුරු මුසල ගතියකී ..  අමිත්ට  නැවත වරක්  කන්නාඩියෙන් පසුපස අසුන දෙස බැලුණි. තේහැවිරිදි පුංච් පුතු පසුපස අසුනේ තවම නිදිය  .  මේ හදිසි ගමනත්  දැඩි වර්ෂාවත් නිසා වාහනයේම පැය ගනනක්  ගතකල පුංචි පුතුගෙන් දිස් වුයේ විඩාබර පෙනුමකී  . එය අමිත්ගේ සිතේද  ඇතිකළේ කනස්සල්ලකී

මම කීවානේ අමිත් සීසන් එකේ නුවරඑළියේ ගෙස්ට් හවුස්  හොයන එක ලේසි නැහැ කියලා කෝ ඔයා ඇහුවේ නැහැනේ ..”

මෙතෙක් වෙලා නිහඩව සිටි අනෝමාද  මැසිවිලි නගන්නට විය.  ඇයට උවමනවුයේ මෙම නිවාඩුව ගාලු ප්‍රදේශයේ ගතකිරිමටය , එහෙත් නුවර එළියේ ශිත දේශගුනයට ඇලුම්කල අමිත්ගේ කැමැත්තට පිටු පෑමට ඇයට නොහැකිවිය. එබැවින්  අකමැත්තෙන් වුවද  නුවර එළියේ යෑමට ඈ එකගවිය .

“තව ටිකක් බලමු අනෝමා අපිට පොඩි ගෙස්ට් හවුස්  එකක් හරි හොයාගන්න බැරි වෙන්නේ නැහැ  හවස් වෙන්න තව වෙලාව තියෙනවා ..එහෙම බැරි උනොත් මම බිස්නස් වැඩ වලට ආවාම නතර වෙන තැනක් තියෙනවා එතන හරි අද රෑ ඉමු  ”

පාරම්පරික ව්‍යාපාරික පවුලක් වූ අමිත්ට මුදලින් කිසි අඩුවක් නොවුහ . එබැවින් මාස දෙක තුනකට වරක් හෝ නිවැසියන් සමග මෙවැනි දුර පලාත් වලට ගොස් විවේක ගැනීම ඔහුගේ සිරිතකි..  ඔවුන් මෙවැනි ගමන් කොතෙකුත් ගොස් ඇත.. තවමත් තරුණ වියේ සිටින අනෝමා සහ අම්ත්ටත්  තෙහැවිරිදි  පුතුටත් මෙවැනි ගමන් ගෙන ආවේ සතුටකි එහෙත් අද ගමන් ආරම්භයේ සිටම සොබාදහම පවා ඔවුන්ට බාදා කරන්නට පටන්ගෙන තිබුණි .

නුවරඑළිය නගරය පුරාම ඇවිද්දත්  අමිත්ට නවාතැනක් සොයාගැනීමට අපහසුවිය සියලු ප්‍රධාන සංචාරක නිකේතන සංචාරකයන්ගෙන් පිරි ගොසිනි . නොනවතින වර්ෂාව හා දැඩි සිතල ., ඔවුන්ව තවත් අපහසුතාවයට පත්කලේය..

“කරන්න දෙයක් නැහැ අනෝමා මම බිස්නස් වැඩ වලට ආවාම නතර වෙන ගෙස්ට් හවුස්  එකටවත් යමු.. ටවුන් එකෙන් ටිකක් දුරට වෙන්න තියෙන්නේ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් නැහැ “

අවසානයේ  අමිත් නැවතත් තමන් දන්නා නවාතැන්පල වෙත රථය පැදවුයේය.. නගරයේ සිට කිලෝමීටර් හත අටක් පමන දුරට වෙන්නට තිබු නවාතැනට ලංවනවිට  හාත්පසම අදුර ගිලගනිමින් තිබුණි නවාතැන් පොලෙහි වාහනය නවතා වාහනයෙන් බැසීමටත් ප්‍රථම  මැදිවයසේ පසුවන නවාතැන් භාර කරු රියදුරු අසුන පැත්තේ ඇති කවුළුවෙන් හිස පෙව්වේය ...

“සමාවෙන්න සර් රුම්ස් නම් ඔක්කොම ඉවරයි ..”

සුපුරුදු නවාතැන් සේවකයාගේ රුව අමිත් ඇදින ගත් නමුත් සේවකයා අමිත්  හදින ගත්තේ නැත.  අදුරත් වාහනය තුල සිටීමත් නිසා තමුන්ව හරිහැටි නොපෙනුන බව තේරුම්ගත් අමිත් හිතවත් සේවකයා සමග  කතා කළේය ..

“ඒයි සැම්සන් මේ මම අමිත්...”

“ඔහ් මේ අපේ අමිත් මහතයානේ..  “

“අපිට අද රෑට කාමරයක් ගන්න නැද්ද සැම්සන් “

“අමිත් මහත්තයා මට කෝල් එකක් දුන්නනම් මම තැනක් ලෑස්ති  කරලම තියනවනේ.. මේ දවස් දෙක තුනේ නුවරඑළිය හොටෙල් රෙස්ටුරන්ට් ඔක්කොම මිනිස්සුන්ගෙන් පිරිලා..”

“සැම්සන් දන්න කියන තැනක් නැද්ද අපිට අද රෑට විතරක් ඉන්න ...”

ටවුන් එකට ලගින්නම් හොයලා වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ  අන්න අර පාර දිගේ උඩහට ගිහින් ගම ඇතුල පැත්තට යන්න  ඒ හරියේ ගෙස්ට් හවුස්  දෙක තුනක් තිබුනා ...”

නවාතැන් පලෙහි සේවකයාට සමුදුන් යුවල කදු පාර දිගේ රථය පැදවුහ.. කලින් පැවති තද වර්ෂාව දැන් පොද වැස්සක් බවට පරිවර්තනය වී තිබුනද  දැඩි මීදුමත් මාර්ගයේ දුෂ්කර තාවත් නිසා අමිත්ට වැඩි වේගයකින් වාහනය ධාවනය කිරීමට නොහැකිවිය එබැවින් ඔවුන් කදු ප්‍රදේශය තරණය කිරීමේදී තරමකට රෑ බෝවී තිබුණි . රාත්‍රියේ නොදන්නා ප්‍රදේශයක නවාතැන් නොමැතිව අතරමංවූ තරුණ යුවලගේ ආත්මවිස්වාසයද හිනාවෙමින් තිබුණි . මගදී  නවාතැන් පොළවල් කිහිපයක් දුටුවද ඒ සියල්ලම රාත්‍රියක් ගතකිරීමට අමිත් වැන්නවුන්ට සුදුසු නැති බැව් දුටු බැවින් අමිත් තවත් ඉදිරියටම ධාවනය කලේය.

“ අමිත් අර බලන්න ....

අනෝමා  පෙන්වා සිටියේ  අතුරු පාරකට ඊතලයකින් පෙන්වා ඇති රෙස්ටුරන්ට් එකක නමක් සහිත පුවරුවකි .. විශාල පුවරුවක්වූ එය අපවිත්‍රවී  ඇති බැවින්දෝ පැරණි බවක් පෙන්වූයේය ..

“ඒකත් හරියන එකක් නෙමේ වගේ අනෝමා බලන්නකෝ බෝර්ඩ් එකේ හැටි .. වහලා දාපු ගෙස්ට් හවුස්   එකක් වෙන්න ඇති .. නැත්නම් මේ වගේ කාලේක මෙහෙම තියන්නේ නැතුව මිනිස්සුන්ට පෙනෙන්න ලයිට් එහෙම දාලා තියනවනේ ..”

“කමක් නැහැ අපි මේකත් බලාගෙනම යමු ..

අමිත් බෝර්ඩ් එකෙන් පෙන්වා ඇති අතුරු මාර්ගය දිගේ වාහනය ගෙන ගියේය..  මාර්ගය දෙපස විශාලව වැවී ඇති  ෆයිනස්  ගස්  යාය නිසා මාර්ගය තවත් අදුරු බවක් පෙන්වූයේය..  

මද දුරක් ගිය තැන ඇති විශාල ගේට්ටුවට  පසුකර ගිය  අමිත් දුටුවේ පැරණි නමුත් තරමක් විශාල දෙමහල් නිවාඩු නිකේතනයකි.  පහත මාලයේ අලින්දයක් සහ කාමර කිහිපයක් ද ඉහත මාලයේ  පාර පැත්තට මුහුනලා විශාල කොරිඩෝවක් ඒත් සමග විශාල කාමරයක්ද  කොරිඩෝව දිගට පුංචි කාමර පේළියක දොරවල්ද පහතට හොදින් පෙන්නෙන්න තිබුණි . එහෙත් මද ආලෝකයත් නවාතැන්පලේ පැරණි පෙනුමත් නිසා එයින් දිස්වුයේ ගුප්ත බවකි .

“අනෝමා මේකේ කවුරුත් ඉන්න පාටක්නම් පෙන්න නැහැ අපි වෙන තැනක් බලමු ..”

“අපි ටිකක් කතා කරලා බලමු අමිත් දැන් ගොඩක් රෑ වෙලානේ ..අපිට වෙන තැනක් හොයාගන්නත් නැති වෙයි මේ වෙලාවේ ..”

“එත්  මේකේ කවුරුවත් ඉන්න පාටක්නම් නැහැ ...

“ටවුන් එකෙන් දුර නිසා ගෙස්ට්ලා අඩු ඇති අමිත් .. අපි ටිකක් කතා කරලා බලමු ..”

වාහනයේ නලා නාදයත් සමගම පඩිපෙළ බැසගෙන දිව ආවේ මහලු මිනිසෙකි නුවර එලිය දේශගුනයට ගැලපෙන ලෙස ජර්සියක් හැද  හිසේ ජටාවක් ගැටගසා සිටි  මහල්ලාගෙන් දිස්වුයේ වැදගත් වංශවත් පෙනුමකි ..

“අපිට මෙහෙන් කාමරයක් ගන්න පුලුවන්ද අද රෑට ..”

“පුළුවන් සර් එන්න ඇතුලට ..., හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ”
ඒ මොකක්ද ?

“අද මේකේ වැඩ කරන අය කවුරුත් නැහැ  ඔක්කොම නිවාඩු ගිහින් කෑම නම් සර්ලට පිටින් ගන්න වෙන්නේ .. අනිත් පහසුකම් විතරයි දෙන්න පුළුවන් ..”

“ඇයි මේ වගේ සීසන් එකක නිවාඩු යන්නේ ..”

“අද පෝය දවසනේ සර් පෝය ලංවෙලා ඔක්කොම නිවාඩු යනවා ආයේ හෙට රෑට  තමයි එන්නේ පෝයට මම තනියම ඉන්නේ... උදෙත් ආව ගෙස්ට්ලා දෙන්නෙක් ආයේ හැරිලා ගියා කෑම පිටින් ගන්න වෙන නිසා ..

“කමක් නැහැ අපි හෙට උදේට යනවනේ අද රෑට පිටින් කෑම ගන්නම් “

“අඃ එහෙනම් ගැටලුවක් නැහැනේ සර් එන්න මම හොදම රුම් එකක් ලෑස්ති කරන්නම් ..”

මහල්ලා සමග යුවල පඩිපෙළ නගිමින් ආලින්දයට ඇතුළුවිය... මෙතෙක්වෙලා කාරය තුල නිදමින් සිටි පුතු වඩාගැනීමෙන් අවදිවී ඇහි මෑලි කඩමින් අනෝමාගේ තුරුලට ගුලිවුයේ  දැඩි සීතලෙන් මිදීමට මෙනි.. අමිත් ඒ දෙස බලාසිටියේ දැඩි අනුකම්පාවෙනි ...

පැරණි බඩු භාණ්ඩ වලින් පිරීගිය පහත මාලයේ මද වෙලාවක් සක්මන් කල අමිත්ට මෙය එළියෙන් දුටුවාටත් වඩා ගුප්ත  බවක් හැගුනද ඔහු එය ගනන් නොගත්තේ මෙය හැර වෙන විකල්පයක් ඔවුන්ට නැති බැවිනි .


“සර් එන්න උඩට මම උඩ බැල්කනිය අයිනේම රුම් එක ලැස්ති කළා ..” ඉහත මාලයේ සිට ගාරදී වැටෙන් එබී බැලු මහල්ලා යුවලට ආරාධනා කලේය .

මහල්ලා පෙන්වූ විශාල කාමරය දෙසට බැල්කනිය පසු කරමින් යනවිට තවමත් නිදි මතෙන් සිටින පුතු එක වරම බැල්කනියේ ඇති හාන්සි පුටු පේලියේ එක් පුටුවක් දෙසට සිගිත් අතැගිලි දිගු කරමින් මුමුණන්නට පටන්ගත්තේය

“ අම්මි ආ..අර ආන්ටි ..අර..අර ..අතන ..”

අමිතුත් අනෝමාත් එකවරම නතරවී පුතු පෙන්වන පුටුව දෙස බැලුවද ඔවුන් දැක්කේ අදුරේ තබා ඇති හාන්සි පුටු පේළියම පමනි.. කාලෙකින් එහි කෙනෙක් වාඩිවී නැති බවට එහි ඇති මකුළුදැල් ද කියා පෑවේය ..

“මේයා තාම නිදි මතේ හීනයක් දැකලද කොහෙද අමිත් ...අපි රුම් එකට යමු ..”

නිදන ඇදන් දෙකක් සහ විශාල නාන කාමරයක් සහිත විශාල කාමරය ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා සැපපහසු එකක් විම ගැන ඔවුන් පසුවූයේ සතුටිනි...

“අනෝමා ඔයා පුතත් එක්ක ඉන්න මම රෑට කන්න මොනවා හරි එලියට ගිහින් ගේන්නම් ..

“අනේ එපා අමිත් යන තැනක අපි තුන්දෙනාම යමු .. මෙතන හරි පාලු පාටයි මගේ හිතට හරි නැහැ ..”

මෙතෙක් වෙලා අමිත්ට දැනෙමින් තිබු හැගීම අනෝමාටද දැනී තිබෙන බව ඇසීමෙන්  අමිත් පුදුම වුයේ නැත.. තිදෙනාම පිටතට ගොස් ආහාර රැගෙන නැවත එනවිට රාත්‍රී දහයේ  කනිසමට ලංවී තිබුණි . එත් සමගම පොද ගසමින් තිබු වැස්ස නැවතත් ගිගුරුම් සහිත මහා වැස්සක් බවට පරිවර්තය වුයේ ක්ෂනිකයෙනි .  රාත්‍රී ආහාරය ගෙන තිදෙනාම නින්දට වැටුණු  විගසම ගමන් තෙහෙට්ටුව නිසාමදෝ ඔවුන්ට ඉක්මනින්ම නින්ද ගියේය.
විශාල සයනයේ අනෝමා සහ පුතුද එයින් මදක් එපිටින් ඇති සයනයේ අමිත්ද  නිදාගෙන තිබුණි.

මධ්‍යම රාත්‍රියේ කිසියම් සබ්දයකින් අමිත් අවදිවිය . එවිටත් වර්ෂාව අඩුවී නැත අකුණු ගසමින් වසින වැස්සේ සබ්දය හැර වෙන යමක් අමිත්ට නැවත අසුනේ නැත.  නැවතත් ඇස පියවිගෙන එන විටම නාන කාමරය දෙසින් අඩි සබ්දයක් ඇසි ඔහු සයනයේ සිටම ඒ දෙසට හැරුනි..

අදුර නිසා හරි හැටි පැහැදිලි නැතත් විටින් විට විදුලි කෙටීමේ ආලෝකයෙන් නාන කාමරයේ දොර අසල කෙනෙක් සිටගෙන සිටින ජායාවක් දැකගත හැකිවිය .  වාඩාත් විමසිලිමත්වූ අමිත්ට දැක ගැනීමට ලැබුනේ නාන කාමරය අසල සිට තමා දෙස බලාගෙන සිටින තම බිරිදවය..

බිරිද නාන කාමරයට යන්නට ඇතැයි සිතා නැවත ඇස් පියාගැනීමට සැරසුනත්  තවමත් එකම ආකාරයකට නොසෙල්වී සිටින බිරිද ගේ ඉරියව්වල වෙනසක් දුටු අමිත් නිකමට මෙන් බිරිදත් දරුවත් නිදාගෙන සිටි සයනය දෙස බැලුවේය.. දුටු දසුනින් ඔහුට ඇස්  අදහා ගැනීමට නොහැකි විය ..

තම බිරිද  දරුවාද තුරුලු කරගෙන සයනයේ තද නින්දේය ..
එහෙත් සමගම පිපිරූ අකුනේ ආලෝකයෙන් නාන කාමරය අසල සිටින අත්භූත ගැහැනියගේ වියරු මුහුණ අමිත්ට පැහැදිලිවම දර්ශනය විය ...


ජිවිතයේ ප්‍රථම වතාවට මුහුණ දෙන අසාමාන්‍ය අත්දැකීමෙන් බියපත්වූ අමිත් කෑගැසීමට තැත් කලත්  කිසිම ශබ්දයක් පිට නොවෙන තරමට ඔහුගේ උගුර හිරවී තිබුණි ,  සයනයෙන් නැගිටිමටවත් නොහැකි ලෙස ශරීරය පනනැතිවී තිබුනේ දැඩි බිය නිසාද නැතිනම් අදුශ්‍යමන බලවේගයේ ක්‍රියාවක් නිසාදැයි ඔහුට වටහා ගැනීමට නොහැකි විය.. 


කළහැකි එකම දෙය වුයේ හැකි වැර යොදා අතින් ඇදට ගැසිම පමනි . එහෙත් බිරිදත් දරුවත් සිටින්නේ ඒ ශබ්දයෙන් අවදි වන තරමේ සුළු නින්දක නොවේ .

ටිකෙන් ටික තමන්  වෙතට ලංවෙන අත්භූත ගැහැනියගේ මුහුන අමිත්ට දැන් පැහැදිලිවම පෙනේ.. ඒ මුහුණේ ඇත්තේ බියකරු පෙනුමකි .. මද ආලෝකයෙන් රුදුරු ඇස්  දිලිසෙන්නට විය ..

ඉතිපිසෝ ගාථාව  තොල් මැතිරීමට උත්සහ කලත් එහි වචන දෙක තුනකට වඩා අම්ත්ගේ මතකයට ආවේ නැත.. අත්භූත ගැහැණු රුවත් අමිත්ගේ සයනයත් අතර පරතරය අඩි කිහිපයක් තරමට ලංවෙද්දි අමිත්ට මතක්වුයේ.. දසසිල් මෑණි කෙනෙක්වූ තම මව දිනක් කියූ දෙයකි ..

“පුතේ මොකක්හරි කරදරයක් උපද්ද්‍රවයක් වෙන්න යනකොට බුදු ගුණ සිහි කරන්න.. ඒ ඇති . හැම කරදරෙකින්ම පුතාව බේරයි .. බුදු ගුණ බලේ අනන්තයි..”

අමිත් තදින් දෑස් පියාගෙන ආරක්ෂාවට ගෙලේ පැළද ඇති යන්තරය තදින් අල්ලාගෙන බුදුගුන සිහිකරන්නට විය..

ක්ෂණිකයෙන් මෙතෙක්වෙලා හිරවී තිබුණු උගුර නිදහස්වීය. ඒ අවසරයෙන් අමිත් හඩනගා බිරිදට කැගැසුවේය ඒ ශබ්දය කොතෙක්දයත් බිරිද පමණක් නොව නිදාගෙන සිටි දරුවාද අවදිවී බියවී හඩන්න පටන් ගත්තේය.. බිරිද විදුලි බුබුල දල්වා අමිත් අසලට ආවේය ..

“අමිත් ඇයි.. ඔයා හීනෙන් බයවුනාද...

තමන් මුහුණ දුන් බියකරු අත්දැකීම බිරිදට පැවසීම මේ වෙලාවේ සුදුසු නැතිබැව් සිතු අමිත් එය සැගවුයේය..

“මම නපුරු හීනයක් දැක්කා අනෝමා...”

“ඔයා හොදටම බයවෙලා ඉන්නේ අමිත්.. මේ සිතලෙත් ඔයාට හොදටම දාඩිය දාලා .. අපි හෙට උදෙන්ම මෙහෙන් යමු අමිත් මෙතන ඒ තරම් හොද තැනක් නෙමේ..හරිම අමුතුයි.”

ඉන්පසු තිදෙනාම එක සායනයකට  වී විදුලි බුබුළු දල්වාම නිදාගත්තද  නින්ද නැවතත් අමිත්ගේ අහලකටවත් ආවේ නැත. එහෙත් අනෝමා නැවතත් නින්දට වැටුනි.. නිදි වර්ජිතවම සිටි අමිත් පාන්දර ජාමේම අනෝමාවත් අවදි කරගෙන පිටත් වීමට  බඩු භාණ්ඩ සුදානම් කර පසුව තවමත් නින්දේ සිටින පුතුවද කරපින්නාගෙන පහත මාලයට පඩි පෙළ බසිනවිට ඒ අසල බිත්තියේ එල්ලා තිබු මංගල ජයරුපය ඇස ගැටුණි.. ඒ ජයාරුපයේ සිටින කාන්තාවත් පෙරදා රැයේ තමන් දුටු අත්භූත කාන්තාවත් එක් අයෙකුම බව හදුනා ගැනීමට අමිත්ට අපහසුවුයේ නැත .

මද වෙලාවක් ඇතුලත ඔවුන්ගේ ඇමතුමෙන් නවාතැන් පොලේ භාරකරු ඔවුන් ඉදිරියට ආවේය..

“සර් ලා උදේම පිටත් වෙන්නද ... මම හිතුවේ ටිකක් දවල් වෙනකන් ඉදිවී කියලා ..”

“අපිට තව ගමන් ගොඩක් තියෙනවා යන්න ඒකයි .. ඒක නෙමේ අර ෆොටෝ එකේ ඉන්නේ කවුද ?..”

“ ඒ මේ ගෙස්ට් හවුස් එක  අයිති මහත්තයි නෝනයි...”

“එයාලා දැන් කොහෙද ඉන්නේ “

“නෝනාව  කවුද මේ කාමරයක්  ඇතුලෙම මරලා දාලා තිබුනා.. ගොඩක් අය සැක කලේ ඒක කලේ මහත්තයාමයි කියලා.. පස්සේ මහත්තයාට කලකිරිලා  මේ ගෙස්ට් හවුස්  එක  මට භාර දීලා රටගියා..දැන් අවුරුදු ගානක් වෙනවා ආයේ ආවේ නැහැ.. ඉස්සර මේක ගොඩක් සරුවට තිබුන එකක්.. “

“ ඒ කියන්නේ ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා මැරිලා ...”

“ඔව් ඇයි සර් මෙච්චර උනන්දුවෙන් මේ ගැන අහන්නේ ...

“අඃ නෑ නිකන් ෆොටෝ එක දැක්ක නිසා අහන්න හිතුනා ..”

“හ්ම්ම් ඒක මිසක් මම හිතුවා ඒත්..

භාරකරු කියන්න හැදු වචනය ගිලගත්තේය

“මොකක්ද හිතුවා කිව්වේ ..??

“නෑ මහත්තයෝ දන්නේ නැද්ද  මේ වටේ තියෙන ගෙස්ට් හවුස්   කාරයොයි මිනිස්සුයි එකතුවෙලා මේ හෝටලේ නම සවුත්තු කරන්න එක එක කතා ගොතනවනේ ..

“ඒ කිව්වේ ...“

“මේ ගෙස්ට් හවුස්  එකේ  අවතාර තියෙනවා ගෙස්ට්ලා බයවෙනවා කියලා කතාවක් පතුරනවනේ ඔය එක එක උදවිය.. ඒකෙන් දැන් මේකට ගෙස්ට්ලා එන්නේ නැහැ .. ඉදලා හිටලා නොදන්නා කෙනෙක් ආවොත් මිසක මහත්තයාලා වගේ .. හෙක්.. හෙක්.. ,  මේකේ ඇති හොල්මන් අවතාරයක් නැහැ මහත්තයෝ මම මේ තනියම ඉන්නේ ඕනේ තරම් මම නම් ඔය කිසි දෙයක් දැකලා නැහැ ඕවා බොරු කතා.. හොල්මන් අවතාර කියලා දෙයක් නැහැ මහත්තයෝ ...’

කිසිත් නොකියූ යුවල නවාතැන්පොළ  භාරකරුට සමුදී පිටත් වීමට වාහනය වෙතට පැමිණුනි... තවමත් හිරු එලිය වැටී නොමැති බැවින් පරිසරයේ ඇත්තේ දැඩි අදුරු බවකි කාරය නවතා ඇති තැන සිට ඔවුන් නතර වී සිටි කාමරයත් බැල්කනියත් ලයිට් එළියෙන් පැහැදිලිවම පෙනෙන්න තිබුණි ..

කාරයට නගින්නට හදද්දිම අනෝමාගේ ඇකයේ සිටි පුතු බැල්කනියේ හාන්සි පුටු දෙසට අත දික්කරමින් යමක් මුමුණන්නට විය ...

“අම්මී.. අර ඇන්ටි ඉන්නවා ..අර ..අර ..අතන ..”

කෝ පුතේ ඔයා කාවද පෙන්නන්නේ එතන කවුරුත් නැහැනේ ..”

“අපි යමු ...!!!”

අනෝමා පුතුට පිළිතුරු දෙන අතර ඒ දෙස නොබලාම රියදුරු අසුනේ අසුන්ගත් අමිත් රිය පනගැන්වුවේය...


____________________________________________________
ප . ලි ;- සත්‍ය සිදුවීමක් ඇසුරිනි , රසවත් කිරීමට ලුනු  ඇබුල් ස්වල්පයක් එකතුකර ඇත .

















You might also like:

Related Posts Plugin for WordPress, Blogger...