23 December 2012

නත්තල් තෑග්ග.....




ඊයේ සිදුවූ දෙයින් ඇතිවූ සිත් තැවුල තවමත් පහව ගොස් නැත .. මා ආයාසයෙන් එය මගහැර සිටීමට උත්සහ කලද දිය යට එබූ රබර් බෝලයක් සේ නැවතත් උඩට මතුවී සිත් තැවුල් ඇති කිරීමට තරම් එය සමත්වේ.. එයට හේතුව මා විසින්ම මා නිවැරදි කාරයෙකු කලද යටි සිත එය පිළිගනිම ප්‍රතික්ෂේප කරන නියාවෙනි.. ඔව් මා වැරදි කරුවෙකි ..

මාගේ පියාණන්ගේ වියෝවෙන් දෙවැනි වසර ඊයේට යෙදී තිබිණි ... ඔහු වෙනුවෙන් පිලියෙලවූ දානය පිරිනැමීමට නගරය පුරා සිටින යාචකයන් සොයමින් ගියේ මා කුඩා පුතු සහ බිරිය සමගය...

“සුනෙත් තව කෑම ටිකක් ඉතුරුයි මේ ටික අපි යන ගමන් බැසිලිකාව ලග ඉන්න හිගන්නන්ට දීගෙන යමු...

බැසිලිකා නාමය ඇසෙන විටම මා තිගැස්සී  ගියෙමි .. මා වසර දෙකකින් බැසිලිකා දෙව්මැදුර වෙතද නොපැමිනුනේ.. මා දැකීමට  අකමැති දසුනක් නෙත ගැටෙවී යැයි බියෙනි..

“ කමක් නැහැ සුනෙත් අපි පල්ලියට යන්න ඕනේ නැහැ පල්ලිය ගාව පාරේ ඉන්න අයට දීගෙන ඉක්මනින් යමු “
මගේ බිරිද එලෙස පැවසුවේ මාගේ යටිසිත කියවීමට තරම් ඈ දක්ෂවූ නිසාවෙනි .. එය මට මහත් අස්වැසිල්ලක් විය

දෙව්මැදුර අසල පාරේ වාහනය නැවතු මා අවට සිසාරා නෙත් දිවෙව්වේ අසුභ යමක් ඇතිදෝයි බියෙනි .. එහෙත් එවැනි කිසිවක් පෙනෙන මානෙක නැත .. සැනසුම් සුසුමකින් ලය සැහැල්ලු කරගත් මා වාහනයෙන්  බිමට බැස්සෙමි .. සමහර විට ඇය මියයන්නට ඇත..

යාචකයන්ට කෑම පාර්සල් බෙදමින් අඩහෝරාවක් පමණ ගතවන විට ..ඈතින්  සෙල්ලම් කරමින් සිටි පුතුගේ කෑගැසීම් හඩින් මාගේ අවදානය ඒ දෙසට යොමුවිය ..

“තාත්ති ...අර බලන්න “

“ඇයි පුතා “

“අර-----

පුතු අතින් පෙන්වූ දිසාවට මාද නෙත් යොමුකලෙමි... එවිට මා කිසිසේත් නැවත දැකීමට අකමැතිවූ දර්ශනය මගේ නෙතට හසුවුණි....

පාරේ කෙලවරින් මතුවූ අන්ධ මැහැල්ල ගාටමින් ඉදිරියට පැමිණෙමින් තිබුනි .. වැරහැලි වූ සුදු සැට්ටය සහ චිත්තය කුණු දුහුවිලි වැදී අළු පැහැයට හැරී ඇත  .. සම්පුර්ණයෙන්ම සුදුවී ඇති ඇගේ කෙහෙරැලි මුනුන පුරා විසිරි ඇත.. එයද මාස කිහිපයකින් පිරු බවක් පෙනෙන්නට නැත...  ඇවිදින ඇටසැකිල්ලක් බදු ඇය සුදු සැරයටිය වනමින් විසිවෙමින් ඉදිරියට ඇදෙමින් සිටියේ දින ගනනකින් කුසට ආහාරයක් නොලද්දෙකු පරිද්දෙනි.. ඈ විදින දුක් ගැහැට ඇගේ මුහුණේ හොදින්ම සටහන් වී ඇත.. ඒ වෙන කිසිවෙකු නොවේ මාගේ මවය ..

“තාත්ති ඒ අපේ ආච්චි ... තවමත් ඒ දෙසෙට නෙතු යොමා සිටින පුතු නැවත කෑගැසුවේය ...

“අපි යමු ඉක්මනට “ මා පුතුගේ අතින් ඇදගෙන වාහනය වෙත දිව ආවෙමි .

“අනේ තාත්ති අපි ආච්චිව එක්ක යමු ....

“මොන අච්චියෙක්ද ඒ ආච්චි නෙමේ වෙන ගෑනියෙක් ... දගකරන්නේ නැතුව ගිහින් වාඩිවෙනවා “ මා ප්‍රථම වතාවට පුතුට සැරවුනෙමි..

පුතුව වාහනයේ ආසනය වෙත බලෙන්  වාඩිකරවූ මා .. ඉතිරිව තිබු කෑම පාර්සල් කිහිපය වාහනය තුලට විසිකරන ගමන් රියදුරු අසුනට ගොඩවිය...

“අපි ඉක්මනින් යමු සුනෙත් ඉතිරි ටික ටවුන් එකේ හිගන්නන්ට බෙදමු ..” ඒ වන විට මහළු සිගන්නිය බිරිදගේද නෙතට හසුවී තිබුනි ..  බිරිදද ඇයව හදුනාගෙන ඇත..

“ අනේ තාත්ති ආච්චිව එක්ක යන්න බැරිනම් අපි එයාට කෑම එකක්වත් දෙමුකො..” පුතු නැවත නැවතත් ඇවටිලි කරන්නට විය ..

“ දැන් එක පාරක් කිව්වා නේද මම කටවහගන්න කියලා ඒ ආච්චි නෙමේ ..එච්චරයි ....
එතැන් සිට නගරයට පැමිණෙන තුරාවටම අප තිදෙනාගෙන් කිසිවෙක් කතා කලේ නැත ...

කුඩා පුතු තවමත් කනස්සලු ස්වභාවයෙන් වාහනයේ මුල්ලක ගුලිවී සිටි... මා සාප්පුවක් අභියස නතර කලේ කුමක් හෝ රැගෙන දී  ඔහුගේ සිත සැනසිමටය....

“පුතා  පුතාට මොනවද මගෙන් නත්තලට ඕනේ ...

“මට මුකුත් එපා තාත්ති මට ආච්චිව ගෙනත් දෙන්න .....

ඔහු පැවසූ දෙයින් මා නැවත්තත් ගොළු විය ___________
.............................................................................................................

ඊයේ දහවල් වරුවේ සිදුවූ ඒ සිදුවීම් සමුහය හිතින් බැහැර කිරීමට අසාර්ථක උත්සාහයක මා යෙදෙමින් සිටියෙමි .. එහෙත් එයින් සිදුවුගේ වීඩියෝ පටයක අග සිට මුලට යන්නාක්මෙන් අතීතය කරා මාගේ මනස දිවයාමය ...

මට මතක ඇති කාලයේ සිටම මම මගේ මවට වයිර කළේය .. එයට හේතුව ඈ අන්ධ වීම නිසා මට ගොඩක් ගැහැට විදීමට සිදුවීමය... එහෙත් මා පියාට අතිශයෙන්ම ආදරය කළේය ..

දැනුම් තේරුම් ඇති කාලයේ සිටම මා ඇයට මාවෙත ලංවීමට ඉඩ නොදුන්නෙමි... ඈ මාවෙත ලංවීමට උත්සහ කරන සෑම අවස්ථාවකදීම මා ඇයට බැන වැදුණි... පියා ඈ සමග සිටිනාවාටද මම අකමැති විය .. එය තේරුම්ගෙන සිටි ඈ බොහෝවිට සිටියේ හුදකලාවය... ඈගේ දෙනෙත් නොමැතිකමෙන් වල ගැසී විරූපී වී ඇති මුහුණ දකින විට මට ඇති වුනේ පිළිකුල් සහගත හැගීමකි.. ඈ ව කොන් කරමින් ඇයට වෙනස්කම් කරමින් මම සතුටක් ලැබුවේය ..

වෙනත් මව් වරුන් දරුවන් අතින් අල්ලාගෙන පාසල වෙත එනවිට මා පාසල් ගියේ තනිවමය... වෙනත් මව් වරු දරුවන්ට සලකන අයුරු බලමින් මාගේ අන්ධ මව ඔවුන්හා සංසන්දනය කරමින් මා ඇයට තව තවත් වයිර කළේය...

එබැවින් මා වැඩිපුර හිතවත් වුයේ පියාටය ..සෑමදේම පැවසුවෙත් ඔහුටය ...
“ඇයි තාත්තේ ඔයා අන්ධ කෙනෙක් මගේ අම්මා කරගත්තේ .. එයාට මගේ ඉස්කෝලේ වැඩ කියාදෙන්නත් බැහැ මාව බලාගන්නත් බැහැ .. මට එයාව එපා ...”

එදවස මා කුඩා කාලයේ පියා සමග නිතරම පැවසුවේ එවැනි වදන්ය ..

“එහෙම කියන්න එපා පුතේ .. ඔයාට ලැබිලා තියෙන්නේ ලෝකේ ඉන්න හොදම අම්මා... ඔයාට කවදාහරි දවසක තේරේවි එයා ඔයාට කොයිතරම් ආදරේද කියලා ..”.  ඒ සෑම අවස්ථාවකදීම පියා එලෙස පවසා නිහඩ විය .. එහෙත් මව පිලිබදව මාගේ සිතේ හටගෙන තිබු තරහා නැති කිරීමට ඒ වචන ප්‍රමාණවත් නොවුනි...

ටිකෙන් ටික මා වැඩෙන විට ඒ හැගීමද එලෙසම වැඩෙන්නට විය ...

මා විවහා වී පුතු ලැබී වසර හතරකින් පමණ පසු පියා මියගියේය .. ඔහුගේ අවමංගල්‍යන් පසු ක්‍රමයෙන් මවට මා දක්වන වෙනස් කම් වැඩි විය එයට තවත් එක් හේතුවක් වුයේ මාගේ බිරිදද ඇයට අකමැති වීමය...

හරියටම මෙයිට වසරකට පෙර නත්තල් දිනට නුදුරු දිනයක ...

“සුනෙත් නත්තල් පාර්ට් යට අපේ ඔෆිස් එකේ ලොක්කෝ ඔක්කොමත් එනවා ..ඒ වෙලාවට අම්මව මෙතන තියාගන්නේ කොහොමද ... එයාව කොහෙට හරි යවන්න බැරිද “

“ඔව් එයානම් කරදරයක් තමයි අපි ඉක්මනින් මොකක්හරි කරන්න බලමු අන්ධ හින්දා කොහේටවත් ගිහින් දාන්නත් බැහැ “

“අන්ධයි කියලා හැමදාම මෙහෙම පුලුවන්ද සුනෙත් .. ඔය මහලු මඩම් වල ඕනේ තරම් අන්ධයෝ ඉන්නේ “

අවසානයේ මා තීරණය කලේ ඇයව මහලු නිවාසයකට ගෙන ගොස් දැමීමටය.. ඈ සතුව තිබු ඇදුම් කඩමලු කිහිපය කුඩා මල්ලකට දැමු මා එය ඇය අත තැබුවෙමි ..

“අම්මා මේකත් අරගෙන ගිහින් වාහනේට ගොඩවෙන්න “

“මාව කොහෙද එක්ක යන්නේ පුතේ “

“ඔයාට දැන් මෙහෙ ඉන්න බැහැ මම හොද තැනක නතර කරන්නම් ගිහින් නගින්න “

එයින් පසු කිසිත් නොදෙඩු  ඇය සැරයටියේ ආදාරයෙන් අපහසුවෙන් ඇවිද ගොස් රියට ගොඩවිය ...

මා රිය පනගන්වා ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වන විට ඈ නැවත හඩ අවදි කළේය ..
“මාව මහලු මඩමකටද ගෙනියන්නේ පුතේ ..

“හ්ම්ම් “

“මම පුතාගෙන් එක ඉල්ලීමක් කරන්නම් මාව පල්ලියක් ලගින් දාලා යන්න .. මම ආයේ පුතාට කරදර කරන්න එන්නේ නැහැ ... මම තව ටික දවසක් ජිවත් වෙයි ඒ ටිකේ මට පල්ලියකට වෙලා ඉන්න පුළුවනි ...

ඈගේ ඉල්ලීම මත මා ඇයව බැසිලිකා දෙව් මැදුර අසල තනිකර නැවත නිවස වෙත පිටත් උනෙමි ... ඈ කොහේ සිටියත් මට ගැටලුවක් නැත මට ඕනෑ උනේ ඈගෙන් ගැලවීමට පමණි ....

“තාත්තේ  මේ තරුව නත්තල් ගහේ උඩින්ම එල්ලන්නකෝ ... “ නත්තල් ගස සරසමින් සිටි පුතුගේ හඩින් මා කල්පනා ලෝකයෙන් මිදුණි ..

“මොනවාද සුනෙත් මම මේ හෙට නත්තල් පර්ටියට මෙතන තනියම ලෑස්ති කරනවා ඔයා කල්පනා කර කර ඉන්නවා ඇවිත් මට උදව් වෙන්නකෝ ...”

මෙවර නත්තල් දිනට අප නිවසේ සාදයට බොහෝ පිරිසක් ඒමට නියමිතව තිබුනා ..

නත්තල් දින ප්‍රීති ගෝෂා මැද හිතවතුන් සමග සතුටින් කාලය ගතවෙමින් තිබුනා ...

එහෙත් දහවල් වන විට අනාරාධිත අමුත්තෙක් පැමිණ තිබුනා ...

“හෙලෝ සුනෙත් මම ලෝයර් කහවත්ත .... ඔයාට නත්තල් තෑග්ගක් දෙන්න තමයි මම ආවේ...

“වාඩි වෙන්න ලෝයර් ... මොකක්ද තෑග්ග .. කව්ද මට තෑගී එවන්න ඉන්නේ ..

“ඒක දීග කතාවක් සුනෙත් ..

ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නා මෙයිට ..අවුරුදු හතකට ඉස්සෙල්ලා අපේ කාර්යාලයට ආව ..ඇවිත් එයාලා සතු දේපොළ ඔක්කොම ඔයාගේ නමට හරෝලා මේ වසරේ නත්තල් දිනේට ඔයාට තෑග්ගක් විදියට ලැබෙන්න සලස්වලා තියෙනවා ...අද තමයි ඒ දවස .. මෙතන ලියකියවිලි ඔක්කොම තියෙනවා.. භාර ගන්න සුනෙත් මහත්මයා ..

තව එකක් සුනෙත් මහත්මයා ඔයාලගේ දෙමාපියන් හිතුවා මේ වසර වෙනකන් ඒ දෙන්න ජිවත් වෙන එකක් නැහැ කියලා ..එකයි මෙහෙම දෙයක් කලේ .. අනික එයාලා නැති කාලෙක ඔයාට විශාලා තෑග්ගක් දෙන්න එයාලා ආසා උනා ...”

පියාට අයිති පැරණි නිවසක් සහ මවට අයිති ඉඩකඩම් අක්කර ගණනක ලියවිලි මා භාරගත්තා ....

“තව දෙයක් ඔයාගේ තත්තා මියගියා කියලා දැනගත්තා කෝ ඔයාගේ අන්ධ අම්මා ....

ඔහු ඇසු පැනයට මට පිළිතුරු දීමට අසීරු විය ... එබැවින් මා බොරුවක් කීවෙමි ..
‘’අම්මත් මියගියා ගිය අවුරුද්දේ “

“හනේ.. ඇත්තද ඔයාගේ අම්මා හරිම කරුණාවන්ත කෙනෙක් .. ඔයා නොදන්නා තව දෙයක් තියෙනවා දැන් දෙමාපියන් මියගිහින්  නිසා මේකත් තව දුරටත් රහසක් වෙන්න ඕනේ නැහැ..

“ඒ මොකක්ද ලෝයර් ...

“ඔයා ඉපදෙනකොටම වෙච්ච අතපසුවීමක් නිසා ඔයා ඉපදෙන කොටම අන්ධ උනා .. ඔයාව අන්ධයෙක් විදියට ජිවත් කරවන්න එයා කැමති උනේ නැහැ .. ඔයාගේ තාත්තාගේ අකමැත්තවත් තකන්නේ නැතිව එයාගේ තනි කැමැත්තට එයාගේ ඇස් දෙක ඔයාට පරිත්‍යාග කරලා ඒයා අන්ධ උනා .. ඔයා තවමත් මේ ලෝකය දකින්නේ ඔයාගේ අම්මගේ ඇස් දෙකෙන් ..”

ඒ වදන් ඇසෙත්ම මාගේ හිස බ්‍රමනය වන්නට විය .. මා ඉක්මනින් අසල තිබු අසුනට බරවිය .. මෙතෙක් කාලයක් මා වෙනස්  කම් කලේ ඈගේ අන්ධ දෙනෙත් නිසාය .. එහෙත් මා ලෝකය දැක තිබෙන්නේ ඇයගේ දෙනෙත් වලිනි .. මට ආලෝකය දී ඈ සදාකාලිකවම අදුරේ ඉන්න තරම් කොයිතරම් සෙනෙහසක්ද ...

මට පියා නිතර කියූ වදන් සිහිවේ ...
“ඔයාට ලැබිලා තියෙන්නේ ලෝකේ ඉන්න හොදම අම්මා... ඔයාට කවදාහරි දවසක තේරේවි එයා ඔයාට කොයිතරම් ආදරේද කියලා ...  “

ඔව් මම අද තේරුම් ගත්තා මට ලැබිලා ඉන්නේ ලෝකේ ඉන්න හොදම අම්මා ..එත් මම එයාට කොයිතරම් වෙනස්කම් කලාද ... මම දැන්මම  අම්මා ව රැගෙන ඈ යුතුයි ..

මා දුවගොස් රථයට ගොඩවූයේ අම්මා රැගෙන ඒමටයි....

“තාත්ති කොහෙද යන්නේ ... සෙල්ලම් කරමින් සිටින පුතුගේ හඩ ඈතින් ඇසෙ ..

“මම පුතා ඉල්ලපු නත්තල් තෑග්ග අරගෙන එන්නම් ..පුතේ ..

උපරිම වේගයෙන් මා බැසිලිකා දෙව් මදුර වෙත ඉගිලුනා ... පාලු රබර් වත්ත අසලින් දෙව් මැදුර පැත්තට රථය ඇදෙන විට මා ඇයට කල වෙනස්කම් නැවත්තත් මැවී..මැවී පෙනෙන්නට විය ...

දෙව් මදුර ඉදිරිපස පාරේ හැම තැනම බැලුවත් මට ඈගේ රුව නෙත නොගැටුනි ...

“මෙතන හිගාකන ගොඩක් වයසක ගැහැණු කෙනාව එහෙම දැක්කද ?... මා එසේ ඇසුවේ  පාරේ යමින් සිටි මගියෙකුගෙනි ..

“ඔය අහන්නේ අර අන්ධ ගැහැණු කෙනා ගැන නේද ..?

“ඔව් කෝ එයා ..

“මෙයිට දවස් දෙකකට ඉස්සෙල්ලා කව්ද මහත්තයෙක් මෙතන කෑම පාර්සල් වගයක් බෙදලා හිගන්නන්ට .. අර අන්ධ අම්මට ලැබිලා නැහැ ... එයා ගොඩක් බඩගින්නේ ඉදලා තියෙන්නේ .. අන්න අර කුණු බක්කිය ලග අනිත් අය කාලා ඉතිරි වුනු ඒවා කකා ඉන්නකොට ... පාරේ යන වාහනේක වැදිලා උන්දා මැරුණා .... අයිතිකාරයෙක් නැති නිසා ආණ්ඩුවේ කනත්තේ භුමධානය කළා ..පව් කාගේ හරි අම්මෙක්නේ ..
 එදා කෑම බෙදු දවසේ ඈගේ අසරණ දුක්බර මුහුණ මට නැවතත් මැවී පෙනෙන්නට විය ..

මා ඉක්මනින්ම ආණ්ඩුවේ සුසාන භුමිය වෙත ගියෙමි .. සුසාන භුමියේ හුදකලා තැනක ඈ වලදමා තිබුණි ..  මට ලෝකය බැලීමට දෙනෙත් දුන් ඈ ඒ වෙනුවට අනන්ත දුක්විද හව්හරණක් නැතිව මියගොස් ඇත... ප්‍රථම වතාවට ඈගේ දෙනෙතින් ඈ වෙනුවෙන් ඉනූ මගේ කදුලක් ඈගේ සොහොනේ පස් වලට මුසුවුණි...

මට නැවතත් පියා කියූ වදන් සිහිවේ ...

“ඔයාට කවදාහරි දවසක තේරේවි එයා ඔයාට කොයිතරම් ආදරේද කියලා ...  “
එහෙත් දැන් මා ප්‍රමාද වැඩිය ....

_______නිමී_________

:පලි:- මනංකල්පිත කතාවකි 

08 December 2012

අදහන්න බැ කදුලක්ද ආදරේ නුබ දන්නේ නෑ සුන්දරයි ජිවිතේ .





“ඩොක්ටර් නිරාශා අර අලුතින් ගෙනාව පේෂන්ට් ආයෙමත් කලබල කරනවා “

ප්‍රධාන සාත්තු සේවිකාවගේ හඩින් කරමින් සිටි කාර්යය නැවතූ මා  ලහි ලහියේ සුදානම් උනේ කලබල කාරී ලෙස හැසිරෙන රෝගියා පරික්ෂා කිරීමට යාමටය ...

මානසික රෝහලේ වසරකට වැඩි කාලයක සිට සේවය කරන මානසික ෛවයිද්‍යාවරියක වූ  මාහට  මෙවැනි දෑ සාමාන්‍යයි... එහෙත් කලහා කාරී ලෙස හැසිරෙන තරුණයා මෙල්ල කිරීමට රෝහල් සේවකයන් තුන් හතර දෙනා දරන උත්සාහය සාර්ථක නොවන තැන මට හැගුනේ  ඔහුව නිර්වින්දනය කලයුතු බවයි .. බෙහෙත් සිලින්ජරය ඇසුරුමෙන් ඉවත් කර  සේවකයන් විසින් අල්ලා සිටින තරුණයාගේ බාහුව වෙත සිලින්ජරයේ තුඩ ලන්කරන විටම අනපේක්‍ෂිත ලෙස හැරුණු තරුණයාගේ නෙත් වලට මා හසුවිය ..

අංජලි ... මගේ අංජලි.. ඇයි මාව දාලා ගියේ අංජලි .. ඔහු මහා හඩින් මොරගාන්නට විය

මුහුණ පුරා වැඩුණු රැවුලක් සහ දිග කෙස් කලබක් සහිත තරුණයා .. තොර තෝංචියක් නැතිව අංජලි යන නමින් ආමන්ත්‍රණය කරමින් සිටියේ මටමය ...

නර්ස් මේ පේෂන්ට් ගේ නම මොකක්ද ?

“මෙයාගේ නම සචින්ත තේනුවර  ඩොක්ටර් “

“මෙයාව නිර්වින්දනය කරන්න ඕනේ වෙන එකක් නැහැ දැන් .. මම මෙයත් එක්ක ටිකක් කතා කරන්නම් ..

තවමත් එක එල්ලේම මා  දෙස බලාගෙන .. දොඩවන තරුණයා වෙතට මම  කිට්ටු උනෙමි .

“ඔයාට දැන් කොහොමද සචින්ත ?

“අංජලි .. ඇයි අංජලි ඔයා මාව දාලා ගියේ .. ආයේ යන්න එපා අංජලි .. හැමෝම කියනවා ඔයා මැරුනලු .. ඔයාට මැරෙන්න බැහැ .. ආයේ මාව දාලා යන්න එපා .

“නැහැ සචින් මම ඉන්නවා ... ඔයා හොද ළමයා වගේ කලබල නොකර නිදාගන්න මම උදෙන්ම එන්නම් .. මෙවැනි අවස්ථාවකදී මානසික රෝගියෙක් හා හැසිරිය යුතු ආකාරය අත්දැකීමෙන්ම දන්නා මා  උත්සහ කලේ ඔහු සිතන ආකාරයට බාදා නොකර ඔහුව සන්සුන් කිරීමටයි ..

එහෙත් බොහෝ රෑ වෙනතුරු මාගේ සුරත අල්ලා ගෙන පෙම්වතියගේ නමින් ආමන්ත්‍රනය  කරමින් පෙම් බස් තෙපලු තරුණයාට නින්ද යන තුරුම එතැන රැදී සිටීමට මට සිදුවිය  ...

පව් අහිංසක කොල්ලා හිතාගෙන ඉන්නේ මම එයාගේ ගර්ල් කියලා..  ඇත්තට එයාගේ ගිර්ල් ට මොකද වෙලා තියෙන්නේ ... ඒ ගැනත් හරියටම දැනගත්තොත් මට එයාට ප්‍රතිකාර කරන්න ලේසි වෙයි .. රාත්‍රී වැඩ මුරය අවසානයේ  මා නිවස කරා ගියේ එසේ සිතමිනි..

පසුවදා දහවල් වරුවේ රෝහලට ගිය මා පළමුවෙන්ම ගියේ පෙරදා මා ඇගේ පෙම්වතිය බව පවසමින් සිටි රෝගියා වෙතයි .

මා යන විට රෝහලේ සිවිලිම දෙස බලාගෙන තනිවම මුමුනමින් සිටින ඔහුගේ දෑත් සහ දෙපා ඇදටම තබා ගැටගසා තිබුණි .. සමහර විට මා නැති අතරේද ඔහු කලබල කරන්නට ඇත..

මා දුටු විගස රෝගී තරුණයාගේ මුවේ ඇදුනේ පියකරු සිනහවකි .. අපිළිවෙලට වැවුණු හිසකෙස් හා රැවුල නැතිනම් ඔහු ඉතාමත් සුන්දර තරුණයෙකි .

 මා දුටු විගස කලබලයෙන් ඇදෙන් නැගිටීමට උත්සහ කලද ඇදටම තබා ගැට ගසා තිබු රැහැන් පටි ඔහුට බාදාවක් විය

“අනේ අංජලි බලන්න මාව ගැට ගහලා ... බලන්න අංජලි මගේ අත් තුවාල වෙලා
ඔහුගේ ගැට ගසා තිබු දෑත් වෙත  නෙත් යොමු කරමින් අසරණ තරුණයා අහිංසකව කියා සිටියා ..

“ ඔයා  කලබල කරන නිසානේ සචින් එහෙම කරන්නේ ඔයා කලබල නොකර ඉන්නකෝ ..”
එදිනද මා අත් අල්ලාගෙන ඔහු බොහෝදේ තෙපලුවේය .. කිසිදිනෙක පෙම්වතෙක් නොසිටි මා එදින සිතින් ඔහුගේ පෙම්වතිය උනෙමි .. එතැන්  පටන් ඔහු ඇසුරේ කාලය ගත කිරීම මට ප්‍රිය විය අතොරක් නැතිව කියවන ඔහුගේ විකාර වදන් අතරේ මා බොලද පෙම්වතියක් උනෙමි ..  එයින් සිදුවුයේ මා බලාපොරොත්තු වූ අයුරින්ම ඔහුගේ රෝගය සාමාන්‍ය අතට පත්වෙමින් පැවතීමයි... එහෙත් ඒ වන විට මා කිසිසේත්  නොසිතු අයුරින් ඔහු හා මා අතර දැඩි බැදීමක් ඇති වෙන්න පටන් ගනිමින්  තිබුණි
මම සචින්තව කොහොම හරි හොදකරනවා .. මම තීරණය කලෙමි..

“ඩොක්ටර් නිරාශා සචින්තගේ අක්කා ඇවිත් ඉන්නවා ඩොක්ටර් ව හම්බවෙන්න ..මා පියෙවි ලොවට පැමිණුනේ සාත්තු සේවිකාවගේ හඩිනි

ඈ සමග සිටි උස තරුණිය මා හා සිනාසුනාය .. ඈගේ මුහුණු වරද සචින්තගේ මුහුණු වරට සමානය
“සචින්තට දැන් ගොඩක් දුරට සුව වීගෙන එන්නේ .. කවුද අංජලි කියන්නේ ..”

අන්ජලී කියන්නේ මල්ලි විවාහ වෙන්න හිටිය කෙනා ඩොක්ටර් .. එයාලගේ ආදරේට අවුරුදු අටක් වෙනවා ඉස්කෝලේ යන කාලේ ඉදලම තමයි එයාලා ආදරේ කලේ ...

“ඉතිං කෝ දැන් අන්ජලී එයාට මොකද උනේ ..

රෝහල් කාමරයේ ජනේලයෙන් එපිට බලා දිගු සුසුමක් හෙලු ඇය නැවත හඩ අවදි කළේය .. එයා නැති උනා ඩොක්ටර් ..

“ඒ කොහොමද ?

“එයාලා විවාහ වෙන්න තව  මාසයයි තිබුනේ.. සචින් ගෙ අම්මයි තාත්තයි දෙන්නම මෙයිට වසර හතරකට  ඉස්සෙල්ලා අනතුරකින් මියගියා .. එයාලාගේ සොහොන් තියෙන්නේ නුවර එළියේ මහා ගෙදර ලග ..ඒ මරණයෙන් පස්සේ අපි දිගටම කොලබ ඉන්න තීරණය කළා..එත් මල්ලි අවුරුද්දට කිහිප වරක් නුවර එළියේ  සොහොන් ලගට ගිහින් එන එක පුරුද්දක් කරගෙන හිටියා .. මේ පාර එයා ගියේ අංජලිත්  එක්ක .. එන ගමන් රාත්‍රියේ කාර් එක හෙලකට පෙරලිලා අන්ජලිව එතැනම මියගියා .. සචින්ව කාර් එකෙන් විසිවෙලා තුවාල වෙලා බේරුනා ...
“අන්ජලිගේ අවසන් කටයුතු වලින් පස්සේ සචින් ගෙ මානසික තත්වය ටිකින් ටික නරක අතට හැරුනා ඩොක්ටර් “

“මට තේරෙනවා එයාට තද බල මානසික කම්පනයක් ඇතිවෙලා තියෙන්නේ .. දැන් ට්කෙන් ටික සුව අතට හැරෙනවා .. එත් එක වෙලාවකට එයාට තද හිසරදයක් එනවා ඒ වෙලාවට ගොඩක් කලබල කරනවා බලමු අපි මෙහෙ බැරි උනොත් ඉන්දියාවට ගිනිහින් හරි සචින්ව හොදකරගමු ...”

ඔහුගේ සහෝදරියගේ කතාවෙන් පසු සචින් කෙරෙහි මගේ සිතේ ඇතිවී තිබු හැගීම තවත් වැඩිවිය . එහෙත් තවමත් ඔහු මානසික රෝගියෙකි  මා මානසික වයිද්යවරියකී  එහෙත් කෙසේහෝ මා ඔහුව සුවපත් කරගත යුතුය .

දිනෙන් දින ඔහු කෙරෙහි මා සිත් තුල හටගත් ආදරය දළුලා වැඩුනි.. ඔහුගේ තේරුමක් නැති විකාර වදන් ඇසීමට මා අතිශයෙන් ප්‍රිය විය .. නිවෙසට ගිය පසුද මතකයේ රැදුනේ ඔහුගේම වදන් පමණි... මා දුටු බොහෝ සිහිනවල සුවපත්වූ සචින් මාගේ පෙම්වතාවී සිටියේය ...

එදා සෙනසුරාදා දිනයකි මා එදා රෝහලට පැමිණුනේ සුපුරුදු සාරිය වෙනුවට දිගු ගවුමකින් සැරසිය... මා දුටු විගස සචින් මා වෙත දිව ආවේ කුඩා ළමයෙකු පරිද්දෙනි .. දැන් ඔහුට නිදහසේ හැසිරීමට තරම් රෝහල් සේවකයන් ඉඩදී තිබුණි ඒ ඔහුගේ රෝගය සැලකිය යුතු මට්ටමකට සුවවී තිබු නිසාය...

“අන්ජලී ඔයා අද ගොඩාක් ලස්සනයි .. ඉස්කෝලේ යන කාලේ වගේමයි .. ඔය වගේම ගවුමක් ඇදගෙන මැයි මල් වැටුනු දෙවැට පාර දිගේ ඇවිදගෙන අපි පන්සල් ගියහැටි ඔයාට මතකයි නේද .... කියන්නකෝ මතකද ?

එදිනද ඔහු වෙනදා මෙන්ම තොර තෝංචියක් නැතිව කියවන්නට පටන්ගත්තේය .. අතරින් පතර ඔහු අසන ප්‍රශ්න වලට  මාද සිතින් අංජලි වෙමින් පිළිතුරු දුන්නෙමි.. එදින ඔහුගේ කතාවේ ඉවරයක් නැත එබැවින් බොහෝ රැ වෙන තුරු ඔහුගෙන් මිදී යාමට මටද සිත් දුන්නේ නැත .. එදින වෙනදාටත් වඩා ඔහු අතීත මතකයක සිරවී අතරමංවී සිටින බවක් පෙනෙන්නට තිබුණි..
එදින ඔහුගෙන් මිදීමට මට බොහෝ අසීරු විය ..

“අනේ අන්ජලී ඔයා ආයෙමත් මාව දාලා යන්න එපා .. මගේ ලගින්ම ඉන්න ...

. “ඉන්නවා සචින් මම හැමදාම ඔයා ලගින්ම ඉන්නවා ... මම ගිහින් ඉක්මනින් ආයෙමත් එන්නම්.
මම පිට උනේ මාගේ කරේ තිබු පුංචි මාලයද ඔහුගේ කරට දමමිනි..

ඔහුගෙන් සමුගත් මා නිවෙස බලා පිටත් උනි .. මහා රාත්‍රියේ පාරේ කිසිම වාහනයක් නැත කාරය වේගයෙන් ධාවනය කරන අතර සචින් තෙපලු වදන් මා මනසේ රැව් දෙන්නට විය ..
“අනේ අන්ජලී ඔයා ආයෙමත් මාව දාලා යන්න එපා “
එසේ කල්පනාවට වැටී වැඩි දුරක්  මට යාමට ලැබුනේ නැත .. දුරකථනය එක දිගටම නාද වෙන්නට විය ...

හෙලෝ ...

හෙලෝ ඩොක්ටර් නිරාශා .. එහා කොනෙන් අසුනේ ප්‍රධාන සාත්තු සේවිකාවගේ කට හඩය..

“ඔව් කියන්න නිර්මලා ..

“ඩොක්ටර් සචින් ආයෙමත් කලබල කරනවා එයාගේ හිසරදය ආයෙමත් වැඩිවෙලා වගේ කාටවත් එයාව මෙල්ල කරන්න බැහැ ඩොක්ටර් ...  අනිත් ඩොක්ටර් කෙනෙක්ටවත් ලගට කිට්ටු වෙන්න අමාරුයි ..

“හරි නිර්මලා  මම ඉක්මනින්ම එනවා .. ආයෙමත් වාහනය හැරවූ මා වේගයෙන් රෝහල වෙත ධාවනය කළේය ..

කාරයේ කැබින් එක තුල හදිසි අවස්ථාවකදී ගතහැකි ලෙස මා බෙහෙත් වර්ග තබාගෙන ඇත එහි නිර්වින්දන එන්නත් ඇතුලු එන්නත් වර්ග කිහිපයක්ද ඇත .. එයින් නිර්වින්දන එන්නතක්ද රැගෙන වේගයෙන් මා ඔහුගේ රෝහල් කාමරය වෙතට දියගියහ ..
ඒ යන විටද බොහෝ කලහයක් සිදුවී ඇති බවට සලකුණු පෙනෙන්නට තිබුණි .. මා දුටු විට සචින් යම් තරමකට තැම්පත් විය ඒ අවසරයෙන් රෝහල් සේවකයක් ඔහුව ඇදට දෑමීමට සමත්විය ..

මෙවැනි අවස්ථාවකදී කිරීමට අවශ්‍යමදේ ඔහුව නිර්වින්දනය කිරීමයි ..ඒ බැවින් මා ඔහුට නිර්වින්දන එන්නත ලබදුන්නේයා .. එන්නත දෙනවිට දැඩිව මා අත අල්ලා ගත් ඔහු ටිකෙන් ටික නෙත් පියවෙන විට මගේ අත ලිහිල් කළේය ..
“මම උදේම එන්නම් සචින් නින්දේ සිටි ඔහුට ලංවී මිමිණු මා රෝහල් සේවිකාව සමහ කෙටි කතාවකින් පසුව නැවත නිවෙස වෙත යාමට පිටත් උනෙමි ..

කරය වෙත ගොඩවූ මා දුටු දේයින් මා අතිශයෙන්ම බියට පත්වුනෙමි .. තවමත් ඇරී ඇති කැබින් එක තුල නිර්වින්දන බෙහෙත් සිලින්ජරය එසේම ඇත .. එවිට මා ඔහුට ලබාදී ඇත්තේ කුමක්ද ? මට කලබලයට වැරදි ඇත...

මම නැවතත් සචින් වෙත් දිව ගියෙමි... ඒවිටත්  ඔහු මියගොස් අවසන්ය .. වැරදි බෙහෙත විෂ වීමෙන් ඔහු මියගොස් ඇත..

ජීවිතය මහා පුදුමාකාර දෙයකි අංජලිගෙ  වියෝවෙන්  රෝගියෙකුවූ ඔහුට අංජලි කෙනෙක්වූ මගේ  අතින්ම ඔහුට මිය යෑමට  සිදුවිය .. සියලුම වරද මගේය .. මා ඔහුට ආදරය කල තරම්ම දුක් උනෙමි .

නීතියෙන් සචින්ගේ මරණයට වගකිව යුත්තා මා විය .. මා නීතියෙන් වරද කරුවෙකු උනෙමි.. සචින්ගේ දේහයට අවසන් ගෞරවය පුදකිරිමටවත් මට අවස්ථාවක් නොලැබුණි... සියලු දෙයින් පසු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය මා හට සචින්ගේ මතකය එහිදීත් වද දෙන්නට විය ඔහුගේ සොදුරු වදන් එහිදීත් ඇසෙන්නට විය.. වසරකින් ලංකාවට පැමිණුන මා ප්‍රථමයෙන් පැමිණුනේ මගේ වරදින් මිය ගිය සචින්ගේ සොහොන් කොත ලගටය ..

මේ ලිලි මල් පොකුර ඔයාගේ සොහොන මත තියලා  දන ගහලා  පතන්නම් සචින්ත මතු උපදින කිසිම අත් බවයක ඔයාට මෙහෙම ඉරණමක් අත්වෙන්න එපා .. ඔයාට මරණය ලංකරපු මට හොදක් වෙන්නත් එපා...



ප.ලි :_ගිතයත් විඩියෝ එකත් බලන විට සිතේ ඇතිවු අදහසක් මත නිර්මාණ්ය කල කෙටි කතාවකි .

06 December 2012

සමහර ක්‍රිස්තියානුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි ...



මේ උත්සව සමයේ නත්තල ගැන දන්නා කරුණු වගේම නොදන්නා කරුණු කිහිපයක් හුදී ජනයාගේ දැනගැනීම පිණිස මෙලෙස ලියා තබන වගයි ...

හැම අවුරුද්දකම දෙසැම්බර් 25 ලෝක ජනගහනයෙන් කෝටි 200 ක් විතර නත්තල් උත්සවය පවත්වනවා . තව කොටි 20ක් විතර ජේසු උපත ජනවාරි 7 සමරනවා .

එත් නත්තල කොහොමත්ම සමරන්නේ නැති තවත් ලක්ෂ ගණනකුත් ඉන්නවා . ඒ වෙනත් ආගමිකයන්  සහ ජේසුගේ උපත ප්‍රබන්ධ කතාවක් කියලා හිතන අය..

කොහොම උනත් ජේසුව විස්වාස කලත් නත්තල සමරන්නේ නැති ක්‍රිස්තියානි ආගමිකයන් විශාල පිරිසකුත් ඉන්නවා .. ඒ අය නත්තල සමරන්නේ නැත්තේ ඇයි කියන එකට තියෙන ප්‍රධාන හේතු කිහිපය දැන් බලමු ....

 ජේසුස් දෙසැම්බර් හෝ ජනවාරි මාසයේ ඉපදුනු බව ඔවුන් විස්වාස නොකිරීම ..එයට හේතුව ජේසු උපත සිදුවූ මාසයක් හෝ දිනයක් බයිබලයේ සදහන් නොවීම..  ඒ සම්භන්ධයෙන් බයිබලයේ සදහන් වන්නේ මෙලෙසයි

“එඩේරු රාත්‍රියේ එළිමහනේ මාරුවෙන් මාරුවට තම බැටළු රැලවල් රැකබලා ගනිමින් සිටියහ එවිට දුතයෙක් පැමිණ ඔවුන්ට මෙසේ කිවේය .. අද  ඔබට ගැලවුම් කරුවෙක් ඉපදී සිටිනවා ස්වාමින් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි ( ලුක් 2:8 -11 )

ඒ විස්තරේ හැටියට ජේසුස් දෙසැම්බරයේ හෝ ජනවාරියේ ඉපදුනු බව සිතන්නට අපහසුයි . මොකද ඒ මාස වල බෙත්ලෙහෙම හා ඒ අවට ප්‍රදේශ වල තියෙන්නේ හරිම සීතල දේශගුණයක් . ඒ කාල වලදී එඩේරුන් බැටළුවන් තියාගෙන රාත්‍රියේදී එළිමහනේ ඉන්නේ නැහැ . සාක්‍ෂි අනුව ඔක්තෝම්බර් මාසයේ නම් එඩේරු බැටළුවන් සමග රාත්‍රියේ එළිමහනේ ඉන්නවා .. ඒ කාලයේ සිටම මේ දක්වාත් ඒම ප්‍රදේශයේ දේශගුණයේ ඒ හැටි වෙනසක් සිදුවී නැතිලු .

ජේසුගේ මුල් අනුගාමිකයන් නත්තල සැමරු බවට කිසිම ඉතිහාස වාර්තාවක සදහන් වී නැහැ ඔවුන් ජේසුගේ මරණය පමණක් සිහිකළා  (1 කොරින්ති 11:23-26 )

දෙසැම්බර් 25 නත්තල සැමරීමට පටන්ගෙන ඇත්තේ ජේසු ඉපදිලා අවුරුදු 300 කට විතර පසුවයි . එක පොතක නත්තල ගැන මෙවැනි දෙයක් සදහන් වී තියෙනවා “ ජේසුස් දෙසැම්බර් 25 ඉපදුනා කියලා ඔප්පු කරන්න බයිබලයෙන්වත්  ඉතිහාසයේ න්වත් කිසිම සාක්‍ෂියක් හොයාගන්න නැහැ . නත්තල කියන්නේ ක්‍රිස්තියානි මුහුණුවරක් ගත්තු  අන්‍යාගමික උත්සවයක් ඒම පොත THE BATTLE FOR CHRISTMAS..

ජේසු උපන් ස්ථානය වර්තමානයේ  තිබෙන ආකාරය 
(අතිතයේ ගව මඩුව තිබු  ස්ථානය -බෙත්ලෙහෙම )

එවැනි හේතු නිසා 17 වැනි සියවසේ මැද භාගයේදී එංගලන්තයේ පාර්ලිමේන්තුව ඒ රටේ නත්තලසමරන එක  තහනම් කර තිබුනා .

නත්තල පිලිබදව ඇති අනිත් කතාව වන්නේ ..පුරාණයේ රෝමවරුන් හිරු දෙවියන් ලෙස සැලකු මිත්‍රා වෙනුවෙන් උත්සව පැවැත්වුවා . දෙසැම්බර් මාසයේ දිනයක. පසු කලෙක ඔවුන් ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමේන් පසු ඔවුන් උත්සව පැවැත්වූ දිනය කිතු උපත ලෙස සැමරීමට පටන්ගෙන තිබෙනවා ඒ දෙසැම්බර් 25 කියලා තමයි සැලකෙන්නේ  ...   මේ හේතුන් නිසා සමහර ක්‍රිස්තියානුවන් දෙසැම්බර් 25  නත්තල සැමරීම ප්‍රතික්ෂේප කරනවා..  (ලංකාවේනම් එහෙම පිරිස් අඩුයි එත් අතලොස්සක් ඉන්නවා ඒ කතෝලික නොවන වෙනත් ක්‍රිස්තියානි කණ්ඩායම් )                                                                                                    


දිනය කෙසේ උවත් මෙලොවට පහලවූ ඇති ශේෂ්ට උත්තමයානන්ගේ උපත ආගමානුකුලව සමරා එතුමන් කෙරෙහි අප හදවත් තුල ඇති  භක්ති ආදරය පුදකර සිටිමු ...

සුභ නත්තලක් !!!


ප.ලි :- තොරතුරු සොයාගත්තේ බයිබලය සහ මුරටැබ යන පොත් ඇසුරිනි 

02 December 2012

පුළුන් වගේ සුදු රැවුල දිගයි මේ එන්නේ නත්තල් සියායි..(නත්තල් සීයාගේ උපත )



නත්තල් මාසය පටන් ගන්නා විටම ආගම් බේදයක් නැතිව සියලු ජනයාගේ සිතේ මැවෙන සිත්ගත් චරිතයක්  ඇත ඒ කව්රුත් දාන්නා නත්තල් සියයා .. නත්තල් සීයා ගැන පුරාවෘත්ත රැසක් ඉතිහාසයට එක් වී තිබේ. නත්තල් සීයා ලොව වටා යන්නේ පිනිමුවන් නවයක් බැඳි හිම කරත්තයකිනි. ඔහුගේ පිනිමුවන්ට අහසෙන් ගමන් කිරීමටද හැකියි ඔහු පුංචි ළමුන් සොයා සොයා ඔවුන්ට තෑගී බෝග පිරි නමයි බොහෝ විට එහි ඇත්තේ සෙල්ලම් බඩු සහ රස කැවිලිය . අහසේ පියාඹන පිනිමුවන් විසින් අදින ලබන කරත්තයකින් පැමිණෙන නත්තල් සීයා එය වහළය මත නවතා චිමිනිය දිගේ පහළට බැස ළමයි තබා තිබෙන මේස් කකුල් තුළට තෑගි දමා යන බවත් , ඇතැම් අය නත්තල් ගස යට තෑගි තබා යන බවත් විශ්වාස කරති. 

 ඔබත් ක්‍රිස්තියානි දරුවෙක්නම් පුංචි කාලයේ නත්තල් සීයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින්නට ඇත.. කුඩා ළමුන්ගේ  ආදරය දිනා ගත් මේ සුවිශේෂි චරිතය නිර්මාණය වූ ආකාරය  පිළිබඳ විවිධ අදහස් පළ වෙයි.

එයින් වඩාත්ම පචලිත කරුණ වන්නේ .හතරවන ශතවර්ෂයේ පමණ තුර්කියේ විසු ග්‍රීක ජාතික නිකලස් පියතුමයි

දෙව් මැදුරක ඇති නිකලස් තුමාගේ පිළිරුවක් 

ඉතාමත්ම කරුණාවන්ත පුද්ගලයෙකු වූ එතුමා . එම අවදියේ ඒ ප්‍රදේශයේ සිටි දිළින්දන්ට බොහෝ සෙයින් උදව් උපකාර කල තැනැත්තෙක් . එයිනුත් වඩාත්ම  ප්‍රසිද්ද වූ කරුනනම් . එම  ප්‍රදේශයේ විසු තරුණ දියණියන් තිදෙනෙක් සිටින දිලිදු පියාගේ කතාවයි . එම තරුණ දූ වරුන් දීග දීමට ඔහුට විශාල දෑවැද්දක් සෙවිය යුතුව තිබුනා , එහෙත් ඉතාමත් දිළින්දන් වූ මෙම පවුලට මුදල් නොමැති කමින් දියණියන් දීග දීමට නොහැකිව බොහොම කනස්සල්ලෙන් ජිවත් උනා ..

මේ පිලිබදව දැනගත් නිකලස් පියතුමා කෙසේ හෝ මෙම පවුලට උදවු කලයුතු බව සිතාගත්තා .

පසුව මේ නිවස අසලින් යනෙන වාරයක් පාසා විවුර්තව ඇති කවුළු තුලින් නිවස තුලට රන්කාසි පිරවූ මල්ලක් බැගින් විසිකරගෙන යෑමට පටන් ගත්තා . (වර්තමානයේ පවා කුඩා ළමුන් නත්තල් කාලයේ රාත්‍රී වල නින්දට යද්දී  නත්තල් සියා ගෙන් තෑගී බලපොරොත්තුවෙන් නිවසේ ජනෙල් ඇර තමන්නේ මෙන්න මේ කරුන මුල් කරගෙන නිර්මාණයවූ කතාව නිසයි  )

දින කිහිපයක් තමන්ගේ නිවස තුලට ජනේලයකින් වැටෙන රන්කාසි මලු ගැන පුදුමයට පත්වී සිටින මේ දිලිදු මිනිසා මෙය ලැබෙන්නේ කෙසේදැයි පිලිබදව සෙවීමට පටන් ගත්තා . දින කිහිපයක් සැගවී බලා සිටිද්දී ඔහුට දැකගන්නට ලැබුනා මේ රන්කාසි මලු තබා යන්නේ අන් කවරෙකුවත් නොව නිකලස් පියතුමා බව . රහස එලිවූ පසු පියතුමා ඔහුගෙන් පොරොන්දුවක් ගන්නවා ඔහුට උදව් කලේ පියතුමා බව රහසක් හැටියටම ටියගන්නා ලෙස එහෙත් පසු කලකදී රහස එලි වෙනවා වගේම ඔහුගේ දීග දීමට නොහැකිව සිටි දියනියන්වද ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන් දීග දීමට හැකියාව ලැබෙනවා නිකලස් තුමාගේ උදව්වෙන් ..
                                    ශාන්ත නිකුලස් පියතුමා 

එතැන් පටන් ඔහුගේ පරිත්‍යාගශිලි බව දස අතර පැතිර යනවා ඉන්  පසුව  නිකුලස්තුමාගේ ත්‍යාගශීලිත්වය පිළිබඳ කතා නෙදර්ලන්ත ජාතිකයින් වෙතද පැතිරී යන්න පටන් ගන්නවා  ඔවුන්  එතුමාව  හැඳින්වූයේ සින්ටර් ක්ලාස් යනුවෙනි. ඕලන්ද ජාතිකයින් ඇමරිකාවට සංක‍්‍රමණය වූ පසු එරටට ද සින්ටර්ක්ලාස් චරිතය දැන ගැනීමට අවස්ථාව ලැබෙනවා පසුව  ඒ නම සැන්ටර් ක්ලෝස් වී ඉන්පසු එරටින් බි‍්‍රතාන්‍යයටද මේ සංකල්පය පැතිරී යන්න පටන් ගන්නවා


මෙම නම සැදීමට හේතුවූ අනෙක් කරුන වන්නේ නිකුලස් තුමාට ඉමහත් ආදරයක්‌ දැක්‌වූ ඕලන්ද ජාතිකයෝ නිකලස්‌ මුණිතුමාගේ නම ඉංග්‍රීසි බසින් SINT NIKOLAAS නමින් ලියූ අතර පසුකලකදී SINTERKLASS ලෙස විත් . අවසානයේ SANTA CLUSE සෙන්ටා ක්‌ලෝස්‌ ලෙස ඉංග්‍රීසි ව්‍යවහාරයට පරිවර්තනය වෙමින් අද දක්‌වාම පැමිණ ඇති බවයි

එහෙත් යුරෝපයේ බොහෝ රටවල නත්තල් සීයා ව  සැන්ටා ක්ලෝස්යන නමින් හැඳින්වූයේ නැත. යුරෝපීයයන් ඔහුව පොදුවේ හැඳින්වූයේ ෆාදර් කි‍්‍රස්මස්හෙවත් නත්තල් පප්පා ලෙසය

 ශාන්ත නිකොලාස් මුනිතුමන් ඇසුරින් නත්තල් සීයාගේ චරිතය ලොව දස දෙස පැතිර යන්නේ මෙන්න  මේ අයුරිනි.

ශාන්ත නිකුලස්තුමා ස්වර්ගස්ථ වූ දෙසැම්බර් 06 දිනය ළමයින්ට තෑගි ලබාදෙන විශේෂ දිනයක් බවට පත්වෙනවා වගේම එතුමා වෙනුවෙන් වෙන් කරන ලද දිනය බවටද පත් කර තිබෙනවා .

නිකුලස්‌තුමාගේ අෂ්ටධාතු ඉතාලියේ "බාරි" නගරයේ  ශුද්ධ ස්‌වාමීන්තුමාගේ දෙව්මැඳුරේ තැන්පත් කර තිබෙනවා.

ශාන්ත නිකුලස්තුමා අද අප දකින තරබාරු  ප්‍රීතිමත් සිනහ මුහුනක් තිබෙන නත්තල් සීයාගෙ පෙනුමට වඩා වෙනස් ස්වරුපක් ගන්නේ එහෙත් සුළු සමාන කමක් නැතුවමත්ම නෙමෙයි . අද අප දකින නත්තල් පප්පට මේ පෙනුම ලැබුණු ආකාරයත් හරි අපුරු කතාවක් .


 අප අද දකින මේ නත්තල් සියා ගෙ පෙනුම ආවේ  ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඒ 19 වැනි ශතවර්ෂයේදී පමණය  .

 නත්තල් සියාගේ මෙම රූපය ඔහුට ලබාදීමට මුල් වූයේ තෝමස් නෙස්ට් නමැති  විකට කාටූන් ශිල්පියා නිසායි  මෙම කාටූන් ශිල්පියා 1863 දී හාපර්ස් වික්ලිසඟරාවේ පළ වූ ඔහුගේ කාටූන්වලට ඇන්දේ අද අපි දකින ආකාරයේ නත්තල් සීයා කෙනෙකි. මේම පෙනුම ගන්නට ඔහු ජර්මානු මිථ්‍යාදෘෂ්ඨික දෙවියකු වූ තෝර්ගේ රූපය අනුකරණය කළා යැයි ද මතයක් පවතී . පසුව මෙම රූපය පොත්පත් සඟරා, රූපවාහිනියට හා චිත‍්‍රපටවලට ද යොදා ගත්තා .

ඒ අකාරයෙනුයි අද අප දකින විශාල උදරයක් සහිත දිගු රැවුලක් ඇති රතු සුදු ම්ශ්‍ර ඇදුමක් අදින යෂ්ටියක් සහිත ප්‍රීතිමත් නත්තල් සියා කෙනෙක් බිහිවෙන්නේ .
කෝලා දැන්වීමක සිටින
 නත්තල් සියෙක්
වර්තමානයේ නත්තල් සියා චරිතය ගැන සිතා බලන විට පෙනී යන්නේ වාණිජකරණයට නතුවූ ලෝකය තුල ශාන්ත නිකලස් තුමා එහෙමත් නැත්තන් නත්තල් සියා වෙළෙද භාණ්ඩයක් බවට පත්වී ඇති බවයි . මෙම කාලයේ බොහෝ කඩ සාප්පු වල නත්තල් ඇදුමින් සැරසුණු නත්තල් සීයලා වෙළද භාණ්ඩ විකිණීමේ කාර්යයේ නිරතවී සිටින අයුරු ඔබට දැක ගැනීමට හැකියාව ඇත . තමන්ගේ ධනය අසරණයන් වෙනුවෙන් පරිත්‍යාග කල නත්තල් සියා චරිතය අද වෙන විට වෙළද සමාගම් වල භාණ්ඩ විකුණා ගැනීමේ මෙවලමක් බවට පත්වී ඇති අයුරු නම් හරිම කණගාටු දායකය .

බියර් පානය කරන නත්තල් සියෙක් 

එතුමාගේ කරුණාව, ත්‍යාගශීලී බව අමතක කර  එතුමාගේනන් බිහිවූ නත්තල් සියා රුව යොදාගෙන කපටි කමත් බොරුවත් වංචාවත් සමග එතුමාවත් විකුණන වෙළදුන් ශාන්ත නිකලස් තුමා කියන්නේ කවුරුන්ද යන වගවත් නොදන්නවා විය හැකියි . වාණිජමය පරමාර්තයෙන්ම නැතිව එතුමාගේ රූපය එතුමාගේ කරුණාව, ත්‍යාගශීලීබව ඉස්මතු වෙන ආකාරයට යොදා ගත හැකි   දවසකට  නත්තලේ අසිරියද මෙයිට වඩා වැඩිවනු ඇත..

කෙසේ නමුත් උදුවප් මහේ සීතලත් සමගම ප්‍රීතිමත් නත්තල් පප්පෙකුගේ රූපයක් දකින විට නත්තල් අසිරිය සමග  සිතට දැනෙන හැගීම  නම් වචනයෙන් විස්තර කල නොහැක.. මෙම  නත්තල් මාසයේ නත්තල් සීයාත් එක්ක ප්‍රීති වීමට ඔබ සැමටද වාසනාව ලැබේවා !!! 

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...