30 March 2013

ඒ කාලෙත් මේ වාගේ මිතුරෝ ලෝකේ හිටියා ..




තම හිසට තම අතමය සෙවනැල්ල කියලා පැරණි කථාවක් තිබුනට මමනම් ඕක විස්වාස කළෙම නැහැ ලගක් වෙනකන් . කොහොම විස්වාස කොරන්ඩද  අයිබෝවන්ඩ  හදවත ගලවලා  කමිස සාක්කුවට දාල යවන තරමේ හිතවත් යාළුවො පිරිසක් ඉන්නැද්දි.  ඒත් ඒ උඩින් පෙන්නන තරම්  දෙයක් ඇත්තටම නැති බව තේරෙන්නේ ඒ වගේ  අවස්ථාවකට මුහුණ දෙන්න වුන වෙලාවකදීම තමයි . 

පල ඇති රුකක වවුල්ලු එල්ලිල්ලා ඉදලා පල නැතිදා ගහ හැරලා  වෙන ගහක එල්ලෙනවා වගේ  පල ප්‍රයෝජනෙට  විතරක් ලංවෙලා  ඉන්න ඈයෝ පලක් නැති දාට  ඉගිල්ලිලා යනවා ඒක තමයි ලෝක ස්වභාවේ එක මේ යාළු මිත්‍ර කමටත් පොදුයි මම හිතන්නේ  ආන්න ඒ වගේ අවස්ථාවකදී තේරුම් ගන්ට පුලුවන් මේ වටේ ඉන්න පිරිසෙන් කියෙන් කි දෙනාද හැබෑ යාළුවො කියලා  බොහෝ විට තනි අතක ඇගිලි ගනනටත් අඩුයි .  එහෙම නැත්නම් තම හිසට තම අතමය කියන කියමන වගේම තමන්ට තමන් විතරක් ඉතිරි වෙන්නත් බැරි නැහැ , කවුරු නැතත් වදාපු මවයි පියයි ඉදි , විවාහකයන්ට සහකාරයයි  දරු මල්ලෝයි ඉදි ,  ඔය  අතලොස්ස තමයි අන්තිමට ඉතිරි වෙන්නේ ඕං...  ඕවා තේරෙන්ට ඉතින් පාඩමක් ඉගෙන ගන්ටම ඕනේ .  

ඉගෙන ගත්තු පාඩම ගැන  නොලියා එලියට පෙනෙන්ට තියෙන දේට වඩා ඇතුලතින් වෙනස් මිනිසුන් පිරිසක් ගැන පුංචි රස කථාවක් ලියන්නම්කො .

  ඕන්න එකෝමත් එක කාලෙක බොහොම ධාර්මික පියතුමෙක්  වාසය කළා .  මෙතුමා බොහොම ධාර්මිකයි ඒ වගේම හරිම ගුණවත් පියතුමෙක් . ප්‍රදේශයේ ජනතාවත් මෙතුමාට  දැක්වුයේ පුදුමාකාර ආදරයක්  සෙනෙහසක් කොටින්ම කිව්වොත් පියතුමන්  වෙනුවෙන් ප්‍රාණය පරිත්‍යාගය කරන්න උනත් කැමැත්තෙන් තමයි මිනිසුන් සිටියේ , එහෙම මිනිස්සු නැති වග දැන් අපි දන්නවා උනාට  ඒ පියතුමා  ඒ බව දැනගෙන උන්නේ නැහැ  ඒ කාලේ . ඉතින් එතුමත් මිනිසුන්ට උදව් උපකාර කරගෙන බොහොම දැහැමින් සෙමින් කාලය ගතකරගෙන සිටියා .

ඔහොම කාලයක් යනකොට පියතුමා ටිකෙන් ටික රෝගාතුර වුනා  . ෛවද්‍යවරු පරික්ෂා  කරලා කියනවා මෙතුමාට බොහොම දරුණු  වකුගඩු රෝගයක් වැලදී තිබෙන බව , රෝගය නිසා මෙතුමාගේ වකුගඩු දෙකම අක්‍රිය වෙමින් පවතින බව . තව බොහොම ටික කාලයකින් පියතුමාට   මියයෑමට වෙන බවත් මෙයන් ගැලවීමට නම් වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් සොයාගත යුතු බවත් ෛවද්‍යවරු කියා සිටිනවා .

තමන්ට වකුගඩුවක් පරිත්‍යාග කරන්න ඕනේ තරම් ජනතාව සිටින බව දන්නා පියතුමාත්  සතුටින්  පිටව යනවා , 

පස්සේ තමන්ගේ හිතෙෂි ජනතාවට පණිවිඩයක් යවනවා මට මෙහෙම රෝගයක් වැලදී තිබෙනවා එබැවින් මරණයෙන් බේරෙන්ට වකුගඩුවක් පරිත්‍යගය කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් දෙව් මැදුර ඉදිරියට පැමිණෙන්නය  කියලා ,

පණිවිඩය යවලා  ටික වෙලාවකින් එතුමා දෙව්මැදුරේ උඩුමහලේ ජනේලය අසලට ඇවිත් පහත බලනවා ... එතුමා මොකක්ද දකින්නේ පින්වතුනේ ? බලුබල්ලෙක්වත් නැති දේවස්ථාන භූමියක්ද ? එහෙමයි නේද හිතෙන්නේ ,  නැහැ මුළු දේවස්ථාන භූමියම පිරිලා ඉතිරිලා යන තරමේ සෙනගක් , පොදිකන ජන ගංගාවක් ,  මේ තරම් තමන්ට ආදරේ කරන ජනතාවක් ඇස්පනාපිටම ඉන්නවා දකින පියතුමා ට ඇතිවෙන්නේ පුදුමාකාර සතුටක් .

පියතුමා උඩුමහලේ ජනේලයෙන් හිස පිටතට දාල ජනතාවගෙන් අහනවා “ මේ අය අතරින් මට වකුගඩුවක් පරිත්‍යග කරන්න කැමති අය අත ඔසවන්නය  කියලා ,  

කිසිකෙනෙක් අත ඔසවන්නේ නැහැ නෙමෙයි  හැමෝම අත ඔසවනවා . සමහරු අත් දෙකම උස්සනවා . හරියට වකුගඩු දෙකම ගලව ගන්ට කියනවා වගේ ..

දැන් පියතුමාට   තවත් සතුටුයි දස දහස් සංක්‍යාවක් මිනිසුන් තමන්ට වකුගඩු පරිත්‍යාග කරන්න සුදානමින්නේ ඉන්නේ .  එත් ස්වාමීන්වහන්සේ කල්පනා කරනවා මට මොකටද මේ තරම් වකුගඩු ගොඩක් මට ඕනේ එක වකුගඩුවයිනේ ඉතින් මම කොහොමද මෙතනින් එකක් තොර ගන්නේ .  එහෙම හිතපු පියතුමා ආයෙත් ජනේලයෙන් ඔලුව එලියට දාල පරිත්‍යාග කරන්න පොරකමින් සිටින හැමෝටම ස්තුති කරලා එහෙම මෙහෙම කියනවා .

“ මට ඕනේ එක වකුගඩුවයි  එක්කෙනෙක් තොර ගන්න ඕනේ නිසා මම දැන් මෙතන ඉදලා මේ කුරුළු පිහාටුව පහලට දානවා ඒක පාවෙලා ඇවිත් කාගේ හරි ඇගකට වැටෙයි  ඒ වැටෙන කෙනා මට වකුගඩුවක් දෙන්න “

එහෙම කියලා පියතුමා කුරුළු පිහාටුව පහතට දානවා .. බොහෝ වෙලාවක් සුළගේ පාවුන පිහාටුව අන්තිමේදී කාගේ හරි ඇගකට වැටෙනවද , නැහැ පිහාටුව උඩමයි තියෙන්නේ දිගටම පාවෙනවා ඇගකට වැටෙන්නේ නැහැ , ඇයි එහෙම වෙන්නේ , දේව හාස්කමක්ද එහෙමත් නැත්නම් අදුශ්‍යමාන බලවේගයක්ද ...????

අපට වගේම පියතුමා මේක ගැටලුවක් උන්වහන්සේත් උපැස් යුවල එහෙම පිහදාගෙන හොදින් පහත බලනවා මොකක්ද මෙතන සිද්ද වෙන්නේ කියලා ,

එතකොට තමයි  උන්වහන්සේත් දකින්නේ කුරුළු පිහාටුව නොවැටී පාවෙන්න හේතුව , පිහාටුව ඇගට වැටෙන්න එනකොට ඒ කෙනා ඒකට කටින් පිබිනවා එතකොට ආයෙමත් පිහාටුව උඩගිහින් වෙන කෙනෙක් ලගට යනවා  එතකොට එයත් පිබිනවා එහෙම එහෙම පිහාටුව කාගේවත් ඇගට නොවැටී උඩම තියෙනවා . මිනිසුන්ගේ ඇතුලාන්තය තේරුම් ගන්න පියතුමාට  ඇතිවෙන්නේ දැඩි කණගාටුවක්.

අන්තිමේදී  පාවෙවී තිබුනු කුරුළු පිහාටුව කාගෙවත් ඇගකට නොවැටී බිමට වැටෙනවා, එයිට ටික කාලෙකට පස්සේ අර පියතුමා වකුගඩු රෝගයෙන් මියයනවා ,
ඔන්න ඕකයි කතන්දරේ ,

දැන් බලමු අර මිනිස්සු ඇයි වකුගඩුවක් දෙන්න අකමැතිනම්  අර පණිවිඩය ලැබුණු හැටියේම දෙව්මැදුර  ඉදිරියේ රැස් වුනේ කියලා , ඒ වගේම  ඇයි අත් ඔසවමින් කැමැත්ත  ප්‍රකාශ කලේ කියලා .. එහෙම තමයි බහුතරයක් මිනිස්සු අනිත් මිනිස්සු ඉදිරියේ තමන්ගේ සැබෑ මුණ එලියට දාන්න කැමති නැහැ පුළුවන් තරම් කාලයක් සුන්දර වෙස් මුහුණෙන් පෙනී ඉදලා අවශ්‍යම  මොහොතේදී සැබෑ මුහුණ පෙන්වලා පලා යනවා .

කිස්තු ධර්මයේ හැටියට ජේසුස් වහන්ස්සේ  මෙවැනි මනුෂ්‍ය කොටසකට මෙහෙම කියනවා  “නුබලා සුදු හුණු ගෑ සොහොන් කොත් වලට සමානය කියලා ,  එකේ තේරුම පිටතින් සුදු හුණු ගා අලංකාර කර තිබුනත් සොහොන් කොත්වල ඇතුලේ ඇත්තේ මළකුණු බැවිනි . බොහෝ මිනිසුන් සමාජයට සුදු චරිතයක් පෙන්වාගෙන හිටියද  සමහර අවස්ථාවන්හිදී ඔවුන්ගේ වෙස්මුහුණු ගැලවී සබැ චරිතය දිස්වේ ...



ප .ලි :-පැරණි කථාවක් සමග මිශ්‍ර කල උගත් පාඩමක් ඇසුරිණි..

07 March 2013

අරුම පුදුම ව්‍යංජනය



සමරේ දැන් ඔය ඇති මෙහෙ වරෙන්

සුනිල් කෑ ගැසුවේ වේදිකාවේ එහා කොනේ  ශබ්ද විකාශන යන්ත් සවි කරමින් හුන් සමරේටයඔවුන් මේ  වෙහෙසෙන්නේ පසුවදා උදෑසන කර්මාන්ත ශාලාවේ පැවැත්වීමට නියමිතව ඇති උත්සවය වෙනුවෙනි . එහි සියලු සැලසුම් පැවරී තිබුනේ සුනිල් ඇතුලු නඩත්තු අංශයේ සිව්දෙනෙකු අතය ..

පොඩ්ඩක් හිටින් මේ ටික හරියට තිබුනේ නැත්නම් හෙට ලොක්කා මගේ ඔලුව කයි


දැන් ඔය කොලා මදෑ දොළහටත් කිට්ටුයි මම යනවා ටිකක් ඇල වෙන්න ..  මැදි වයසද පසුකර සිටි සුනිල්ට රෑ බෝවන තුරු වෙහෙස වීම අපහසුය බව දත් අනෙක් තිදෙනාද ඔහුට බාදා  කලේ නැත..



සුනිල් අය්යේ උබ නිදාගන්න  යන්නද හදන්නේ  


කොහේදෝ සිට පැමිනි අජිත් ඇසුවේය .

ඔව් ඇයි ...

මේ ,
කියමින් අජිත් අතේ රැදී  බෑගයෙන් එලියට ඇදගත් බෝතලය සියල්ලන්ටම පෙනෙන ලෙස  ඉහලට එසවූයේ තරගයකින් ජයග්‍රහණය  කල ක්‍රීඩකයෙකු  කුසලානය ඔසවා පෙන්නනවාක්  මෙනි..

වන විටද මදක් ඈතට වන්නට ගොස් සිටි සුනිල් නැවත හැරුනේ යාන්ත්‍රිකව   මෙනි .දෑස් පුංචිකර බලා බෝතලය හරි හැටි හදුනාගත් සුනිල්ගේ මුවේ ඇදුනේ සිහින් සිනහවකිමෙතෙක්වෙලා  ඔහු කෙරෙන් දිස්වූ තෙහෙට්ටු බව දැන් අතුරු දහන්ව ඇතමත්පැනට දැඩි ගිජුකමක් දක්වන සුනිල්ගේ මේ පෙරලිය අනෙක් උන්ට අරුමයක් වුයේ නැත

බොහෝ දිනවල කර්මාන්ත ශාලාවේ වැඩ අහවර කර යන අතරතුර  මගදී ඇගේ තෙහෙට්ටුවටයි කියමින් එයට අවෟෂධ ගැනීමට සුනිල් නතර වන්නේ හන්දියේ බාර් ඒක අසල වහ මේ තිදෙනාම දනී..

  “ කොහෙන්ද අජිත් මල්ලියේ   සුනිල් නැවත හැරුනේ එසේ අසාගෙනය .

ලොක්කා යනගමන් දීලා ගියා  වැඩේ ඉවර කරලා ගන්නය  කියලා ... “ අජිත් බෝතලය පරිස්සමින් සුනිල් අත තැබුවේය

ලොක්කා දෙයියෙක්නේ .   " . කියමින් බෝතලයේ දෙතුන් පාරක් පිරිමැදී   සුනිල්ගේ නෙත් ඊළගට සෙව්වේ ඔහුගේ අනෙක් සගයා වූ  සමරේවයඔහු තවමත් පෙර ස්ථානයේම කාර්යයක නිරතව සිටි .

" ඒයි  සමරේ මෙහෙ වරේන්  හනිකට මේක අහවරයක් කරලා දාල නින්දක් දාමු  හෙට උදේම ආයෙත් වැඩ පටන් ගන්ටත් එපැයි .. සුනිල් අඩගැසුවේ අත රැදී බෝතලය සමරේට  පෙන්වමිනි ..

කතිකා කරගත් තිදෙනා අසල ගසක් පාමුල ලක ලැස්ති කරගෙන මදුවිතෙන් සප්පායම් වෙන්න සැරසේන අතරේ අමතකවී ඇති යමක් සුනිල්ට මතක්විය .

කෝ අජිත් මල්ලියේ කටගැස්මට මුකුත් ගෙනාවේ  නැතැයි ?,

ෂික් මට ඒක මතකෙට ආවේ නැති හැටියක්යැයි කියමින් අජිත් පසුතැවිලිවුයේ ලොකු අත්වැරදීමක් වී ඇති බැවිනි.

දැන් ඉතින් කොරන්ට දෙයක් නැහැ .. අනේ සමරේ පොඩ්ඩක් බලලා වරෙන් අර කුස්සිය පැත්තෙවත් මොකොවත් ඉතුරුවෙලා තියේද කියලා

මෙම කර්මාන්ත ශාලාවේ සේවකන්ට දිවා ආහාරය සපයන්නේ මෙතැනින්ම බැවින් මෙහි මුළුතැන් ගෙයක් ඇතඑහෙත් මෙපමණ රාත්රී වෙනතුරු එහි කෝකියන් රැදෙන්නේ නැත බව දත් සමරේ අදිමදි කළේය .

දැන් ඔහේ ගියත් වැඩක් නැහැ උයන උන් වහලා දාලා යන්ටත් ඇති ...

... මට දැන්නේ මතක් උනේ අද ලොකු මහත්තයා ආව හින්දා වෙන්ටැ ලොකු මහත්තයට කෑම හදන කොල්ලා කුස්සිය පැත්තේ තවම ඉන්නවා දැක්ක  ඉස්සෙල්ලා මම එතැනින් යමින් ගමන් . ,, අජිත් කිවේය .

අජිත් ලොකු මහත්තයා යනුවෙන් හැදින්වුයේ මෙම කර්මාන්ත ශාලාව අයිති කොරියන් ජාතිකයාවය . මාසේකට දෙතුන් වරකට වඩා ඔහු මෙහි පැමිණෙන්නේ නැත . එහෙත් පැමිණෙන වාරයක් පාසා ඔහුගේ කෑම සකස් කිරීම වෙනුවෙන්ම වෙනමම පුද්ගලයෙකුව රැගෙන ඒයි.. එබැවින් කර්මාන්ත ශාලාවේ සේවකයන්ද එම කෝකියා සමස සුළු හිතවත්  කමක් ගොඩනගාගෙන ඇත.

හිටහල්ලකෝ එහෙනම් මම බලාගෙන එන්ට , කියමින් සමරේ නැගිට්ටේය .

මුළුතැන්ගේ දෙසට පියනගන සමරේගේ නැහැයට දුර සිටම ප්රනීත ආහාරයක සුවද දැනෙන්නට විය . එබැවින් ගාටමින් සිටි සමරේ පය ඉක්මන් කලේ සිතේ බලාපොරොත්තු රදවගෙනමය.

මද වේලාවක් ඇතුලත  ආහාරයක් සකසමින් සිටින ලොකු මහත්මයාගේ ආහාර සුදානම් කරන කොලුවාව සමරේගේ දර්ශන පථයට හසුකරගැනීමට හැකිවිය ..

 ලිප උඩ දුම් දමමින් පිසෙන මස් ව්යංජනය දෙස පෙරේත බැල්මක් හෙලමින්ම සමරේ කඩහඩ අවදි කළේය .

මල්ලි  අපිට බයිට් ඒකට මොකවත් තියේද බලන්ටයි ආවේ

සමරේ දෙස මද වෙලාවක් බලාගෙන සිටි ඔහුගේ පිළිතුර මෙය විය ඔයාලට හරියන මුකුත් නැහැ අය්යේ ..

බලාපොරොත්තුවූ දෑ දෑස මානයේ තියෙද්දීම ලැබුනු පිළිතුරෙන් කෝකියා කෙරෙහි සමරේගේ සිතේ හටගත් කෝපය මුවෙන් පිට නොකරම ඉවත්වීමට සිතූ සමරේ  නැවත හැරුනි.. එහෙත් මුළුතැන්ගේ දොරටුව පසුකරන විටම වාගේ නැවතත් කෝකියා හඩ නැගුවේය

ඔහොම ටිකක් ඉන්නකෝ අය්යේ ...

ලොකු මහත්තයට හදපු මස්වගයක ඉතිරි ටිකක් නම් තියෙනවා . මම ගෙදර ගෙනියන්න හිතාගෙන රත් කළා . කැමතිනම් දෙන්නම් ...

අනේ ලොකු දෙයක් මලයෝ මේ වෙලාවේ හැටියට .

මදවේලාවක් ඇතුලත පිසිමින් තිබු මස් ව්යංජනය භාජනයක දමා පාර්සල් කර ගෙනැවිත් කෝකියා සමරේ අත තැබිය .

එයද රැගෙන සමරේ මිතුරන් දෙදෙනා වෙතට පිය නැගුවේ රටක් රාජ්ජයක් ලැබුවෙකු පරිද්දෙනි .අවස්ථාවේ හැටියට මෙය ඔවුන්ට රාජබෝජනයක් මෙන් විය. එහෙත් කෝකිය මුලින්ම එය දීමට අදිමදි කිරීම ගැන සිතේ කුකුසක් ඉපදුනත් අමාශ ගතවීමට නොඉවසිලිමත්ව සිටින මත්පැන් බෝතලය සිතුවිල්ල යටපත්කිරීමට තරම් බලවත් විය.

ඒයි මෙන්න මම උබලට නියම බයිට් එකක් ගෙනාව  .. කියමින්  සමරේ එය සුනිල් අත තැබුවේය .

මොනවාද සමරේ ..

ජාතිය නම් දන්නේ නැහැ ලොකු මහත්තයට හදපු එකක් කියලා කුස්සියේ ඉන්න කොල්ල දුන්නේ .. කලාම බලපල්ලකො ..

කිසිදා නොකෑ මාංශයක් බව පෙනෙන්න තිබුනද ව්යංජනය කාගේත් සිත් ගත්තේය . විටෙන් විට  කැලේ සිටින ගෝනා , මුවා , ඉත්තෑවගේ ඉදලා මීමින්නට වෙනකන්සිටින  සතුන්ගේ නාමයන් මස් වර්ගයට ආදේශ කරමින් තිදෙනා බෝතලය ටිකෙන් ටික හිස් කරමින් සිටියේය . මෙය ඔවුන්ට ඉහටත් උඩින්ය ව්‍යංජනය  ලබාදුන් කෝකියාටත් මස් වර්ගය හිමි සත්වයාටත් පින් පමුණුවමින් තිදෙනා බෝතලයේ අවසන් බින්දුවටම තොල ගෑවේය.

පසුදිනට එළිවී උත්සවය යන අතරේ පවා තිදෙනාට පෙරදා රාත්‍රියේ  අනුභව කල අහාරයේ රස දිවගට දැනෙන්නාක්මෙන් විය තරමටම  ව්‍යංජනය  ඔවුන්ගේ සිත් ගෙන තිබුණි .

දිවා ආහාර වේලාව ලංවන විට සමරේ කාටත් හොරෙන් මුළුතැන් ගේ වෙත පියනැගුවේ පෙරදා රෑ අනුභව කල අරුම පුදුම ව්‍යංජනයේ කොටසක් හෝ තවම ඉතිරිව ඇත්නම් නැවත ඉල්ලා ගැනීමේ බලාපොරොත්තුවද  සිත රදවාගෙනය .

සුපුරුදු ලෙසම කෝකියා මුළුතැන්ගේයි  ඔහුට වෙන්කර ඇති කොටසේ  උයන පිහන කටයුතුවල නිරතව සිටිනු  සමරේට දැකගත හැකිවිය .

 හිමින් එතැනට කිට්ටු කල ඔහු කථා කලේය...

මල්ලි ඊයේ දුන්නු මස් එකනම් හරිම රහයිඇත්තටම මොනවද මස් ..

පෙරදින ඇසිය යුතුව තිබුන මුත්  නොඇසූ එහෙත් කෑමෙ රස දැනීමෙන් පසු  සත්වයා මොකාදැයි දැනගැනීමට නොඉවසිලිමත්වූ  පැනයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් සමරේ කෝකියා දෙස බැලුවේය ..

මුහුනේ ප්රශ්නාර්යක් රදවාගෙන සමරේ දෙස බැලුව මිස ඔහු පිළිතුරක් දුන්නේ නැත.

බැල්ම  සමරේගේ සිතේ ඇතිකලේ නොරිස්සුමකි ., එබැවින් ඔහු නැවතත් පළමු පැනයම නැගුවේය .
ඇයි මොනවද කියලා නොදැනද  අරගෙන ගියේ ...

ඒකනේ මල්ලි ඇහුවේ මොනවාද ?

"මම හිතුවේ දැනගෙන ඉල්ලුවා කියලනේ ... ආන්න අර ප්‍රිසරේ යට කෑල්ලේ තියෙනවා ඇරලම බලන්න ..

දෙපාරක් නොහිතාම ප්‍රිසරේ  ඇරපු සමරේ කඩි මුඩියේ එහි ඇති සිලී මලු ඇද්දේ මෙහි අගක් මුලක් හිතාගත නොහැකිවය . අතරේ එකවරම ඔහු ඇදී මල්ලක පැටලී එලියට විසිවී සත්ව හිසක් සහිත කොටසක් ඔහුගේ දෙපා මුල නතර විය ..

එය දුටු විටම  අමාශය කලතාගෙන ඉහලට ඇදී වමනය  එතැනම පිට වීමට ඉඩ නොදී ආයාසයෙන් අතින් කට තදකරගෙන එලියට දිවයන අතරේ සමරේට යන්තමින් ඇසුනේ. කෝකියා කියූ මේ වදන් කිහිපය  පමණි ,

" නොදැන ඉල්ලුව විත්තියක් මම දන්නේ නැහැනේ. කොරියන් මහත්තයාගේ කියල දැනගෙනත් ඉල්ලද්දී මම හිතුවා ඔහෙලත් බලුමස් කාලා පුරුදු අය කියලා ..."

___නිර්මාණාත්මකව වෙනස් කල සත්‍ය සිදුවීමකි ____

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...