22 January 2014

සර්කස් පැසිපියා නළුවෙක්වූ හැටි




මේ කතාව මෙයිට දශක කිහිපයකට ඉහතදී සිදුවූ සත්‍ය කතාවක්.  ඒ කියන්නේ ලංකාවේ සිංහල සිනමාව අතිශයෙන් ජනප්‍රිය වෙච්චි කාලයක් තිබුනනේ ආන්න ඒ කාලේ .  ඒ කාලේ තමයිලු ලංකාවේ සිනමාවේ නැගීමක් තිබුනේ හොද දක්ෂ කම් වලින් සපිරුණු නළු නිලියෝ කැලක් ඒ කාලේ අපිට හිටියා  ඒ කාලේ ඉපදෙන්න ඕනේ නැහැ අපේ කාලේ ඉපදුන කෙනෙක්ට උනත් පරණ චිත්‍රපටයක් බැලුවම ඒ වෙනස තේරුම් ගන්න පුළුවනි තාක්ෂනය අතින් දුර්වල තලයක තිබුණු යුගයක උනත් රගපෑම් තීර රචනා ගීත රචනා අතින් මේ කාලේට වඩා දියුණුවක් ඒ කාලේ දකින්න තිබුනා ..

උදාහරණයක් හැටියට “කොළඹ සන්නිය” චිත්‍ර පටය අරගෙන බලන්න ඒ තරම් හාස්‍යජනක සිංහල චිත්‍ර පටයක් මම නම් මේ කාලේවත් දැකලා නැහැ. එහෙම බලද්දී ලංකාවේ සිනමාව ගමන් කරලා තියෙන්නේ ඉදිරියට නෙමෙයි ආපස්සට ඒත් දැන් දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා ආයෙමත් ඉදිරියටම යන ලක්‍ෂණ පෙන්වන චිත්‍රපට කිහිපයක් බිහිවුණා මෑතකදී .

මෑත කාලේ වැඩක් නැහැ මේ කතාවට අදාළ සිද්දිය අයිති ඈත කාලේට නිසා අපි යමු ආයෙමත් ඈත කාලේටම .

මේ කාලේ විජය කුමාරතුංග, ජීවන් කුමාරතුංග , සනත් ගුණතිලක ,ශෂී විජේන්ද්‍ර ,ලාල් වීරසිංහ  කියන්නේ සිනමාවේ සුපිරි වීරයෝ  දැන්කාලේ චිත්‍රපට නළු නිළියන්ට නොතිබුන ජන ප්‍රසාදය ඒ කාලේ මේ උදවිය දිනාගෙන තිබුනා , සබීතා පෙරේරා , මාලනී පොන්සේකා ,ගීතා කුමාරසිංහ වගේ නිළියොත් එහෙම තමයි . 


කොතැනක ගියත් සමරු පොත් අරගෙන රසිකයෝ වටවුනා කැමරා උස්සගෙන රසිකයෝ වටවුනා තමන් ප්‍රිය කරන නළුවා හෝ නිළිය සමග එකට ඉදලා ෆොටෝ කෑල්ලක් ගහගන්න  එහෙම ගත්තු ෆොටෝ සමහර ගෙවල්වල රාමුකරලා කාටත් පෙනෙන තැනකින් තියලා තියෙනවා එහෙම මම දැකලා තියෙනවා  කිහිපතැනකදීම .



ඒ කාලේ තව දෙයක් තමයි නළු නිළියන්ට ලිපි ලියන එක අපරාදේ කියන්න බැහැ ඉතින් ලිපි විස්සක් විතර යැව්වම පිළිතුරු ලිපි එකක් දෙකකුත් ලැබෙනවා ඒ බව මම දන්නේ අපේ අසල්වැසියෝ කිහිප දෙනෙකුත් ඔය ලියුම් ලියන වැඩේ ජයටම කරපු නිසා ඒ සංදියේ මම හිච්චි කොලුවා ඒ හන්දා මට ඒ වගේ ලියුම් කරදහියක් ලියලා තැපැල් කොරගන්න තරමේ හපන් කමක් කරන්න හැකියාවක් තිබුනේ නැහැ නැත්නම් මාත් ලියනවා නිලියෙක්ට .

මේ කාලේ හිටිය බොහොමයක් තරුණ තරුණියන්ට චිත්‍රපට පිස්සුව තිබුනා සමහර උදවිය සිනමා ශාලාවට එන හැම චිත්‍රපටයක්ම නරබන තරමට චිත්‍රපට පිස්සුව තිබුන අතර චිත්‍රපට පිස්සුව උත්සන්නම වෙච්චි පිරිස ඔය චිත්‍රපට වලට සම්භන්ධ එක එක චරිත අධ්‍යක්ෂක වරු , කැමරා කාරයෝ ,ලයිට් අල්ලන අය, තේ හදන අය වගේ අය පස්සෙන් ගිහින් රගපාන්න සුළු චරිත ඉල්ලගන්න වෙහෙසුනා .

මෙන්න මේ කාලේ ලංකාවේ තිබුනා ජනප්‍රිය සර්කස් කණ්ඩායමක්. ඒ සර්කස් කණ්ඩායමේ හිටිය තරුණයෙකුටත් මේ චිත්‍රපට පිස්සුව තදින්ම වැළදිලා තිබුනා. සර්කස් කණ්ඩායමේ නම පැසිපියා වගේ මතකයක් තිබෙන නිසා මම මේ තරුණයාටත් පැසිපියා කියලම නම තියන්නම්  .



ඔන්න ඉතින් පැසිපියා තරුණයත් කාලේක ඉදලම  චිත්‍රපටයක රගපාන්න අවස්ථාවක් ලබාගන්න වෙහෙසුනා. ඒත් කවදාවත් ඒ වැඩේ හරියන පාටක් තිබුනේ නැහැ වැඩක් හරි යාගෙන එනකොට මොකක් හරි අලකලංචියක් වෙලා අවස්ථාව ගිලිහිලා  යනවා ඒ තරම් නරක කාලයක් ලබලා තිබුනත් අපේ පැසිපියා තරුණයා නෙමෙයි උත්සාහය අත හැරියේ. දිගටම උත්සහ  කළා..  

සර්කස් කණ්ඩායමේ පුහුණුවීම් අතපහුකරගෙන ,සංදර්ශන වලට සහභාගී නොවී චිත්‍රපට වලට නළුනිලියෝ තෝර ගන්නා සම්මුඛ පරීක්ෂණ වලට ගිහින් රැයක් දවාලක් නැතිව රස්තියාදු වෙන්න ගත්තා ඒත් ප්‍රතිඵලය අරකම තමයි “නෝ චාන්ස් “   පැසිපියා තරුණයාට ඒ කාලේ හිටි ප්‍රසිද්ධ නළුවෙකුට සමාන මුහුණුවරක් තිබුනට මොකද රගපෑමේ දක්ෂකම නැති නිසාමදෝ යන යන තැනින් අසමත් වෙනවා මිසක වෙන දෙයක් වුනේ නම් නැහැ ..

ඒත් මිනිස්සුන්ගේ අධිෂ්ඨානය කියන්නේ බොහොම බලගතු දෙයක්  කෙනෙක්ට යමක් ලබාගන්න ඕනෙමයි කියලා ඒ දෙය වෙනුවෙන්ම කැපවුනොත් කවදාහරි දවසක  ඒ තැනට ලංවෙන්න පුළුවන් ඒක තමයි ධනවාදී චින්තනය කියන්නේ , පැසිපියා ඔය කියන චින්තනේ දැනගෙන නොහිටියා වුනත් ඔය රගපෑම මත්තෙම නැහුන නිසා දවසක් ප්‍රසිද්ධ චිත්‍ර පටයක ජනප්‍රිය නළුනිලියෝ එක්ක රගපෑමේ වරම උදාකරගත්තා .

ඒක උනේ මෙන්න මෙහෙමයි ...

දවසක් පැසිපියා චිත්‍රපට ෂූටින් කරන තැනකට ගිහින් චරිත ඉල්ලලා  චාටර් වෙලා ආයෙත් හිස් අතින්ම ඇවිත් නයා මැරිච්ච නයි පනික්කියා වගේ මූනක් හදාගෙන වාඩි වෙලා උන්නා සර්කස් එක ඉස්සරහා ..  ඔහොම ඉන්නකොට පැසිපියාගේ පරණ යාළුවෙක් එනවා එතැනට..

“ඒයි පැසිපියා මොකද බං නිකන් දාහට අරන් සීයට දුන්නා වගේ මුණ එල්ලගෙන ඉන්නේ .. තාම බැරි උනාද පික්චෑර් එකකට මුණ ඔබා ගන්න ..”

“ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ බං, යන යන හැම තැනින්ම  මාව කැපිලා යනවා.. උන්ගේ දෙබස් වලට හරියන විදියට මගේ මුඩ් එන්නේ නැහැ කියනවා නෙවැ...”

“ඒවා ඕනේ නැහැ ..මම දන්න මහත්තැන් කෙනෙක් ඉන්නවා මම වැඩේ කරලා දෙන්නම්  හැබැයි පැසිපියෝ වැඩේ කෙරුනට පස්සේ මට සලකන්න වෙයි ඈ...”

“අනේ මේ මොනවා කතා කරනවද මචෝ පික්චැර් එකකට මුණ දාගන්න චෑන්ස් එකක් අරගෙන දුන්නොත් මම උබට සලකන්නේ දෙයියෙක්ට වගේ ...”

“එහෙනම් හෙට උදේම යමු ..”

පැසිපියත් උදේම නැගිටලා අලුත් ඇදුමක් එහෙම ඇදගෙන නළු බට්ටා වගේ යාළුවත් එක්ක පිටත්වුණා.. යාලුවා අදුනන චිත්‍රපට මහත්තයා හමුවෙන්න . මේ මහත්තයත් එසේ මෙසේ කෙනෙක් නෙමේ චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් ...

ඔන්න දැන් යාළුවා පැසිපියාගේ සියලුම විස්තරයි ආව කාරනෙයි කියලා අධ්‍යක්ෂක තුමාට පැසිපියාව හදුන්වලා දුන්නා.. අධ්‍යක්ෂක තුමත් පැසිපියා දිහා පරීක්ෂාවෙන් බලාගෙන ඉදලා කතාව පටන් ගත්තා ..

“හොදයි මම ගැලපෙන චරිතයක් දෙන්න බලන්නම් ..තමුන් සර්කස් එකක නේද වැඩ කරනවා කිවේ ..

“ඔව් මහත්තයා මම තමයි අහවල් සර්කස් එකේ ඉන්න හොදම වැඩකාරයා.. මම නැත්නම් සර්කස් එක හබක් ..”
පැසිපියත් දෙපාරක් නොහිතා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන තමන්ගේම ගුණ වයාගත්තා .

“ඒ කියන්නේ එහෙනම් ඔහේට හිටි පිනුම් , බඩ පිනුම් එහෙමත් ගහන්ඩ පුළුවන් ඇති ..”

“මහත්තයා මේ බඩපිනුමක් කතා කරනවා මට ඕනෑම තැනක ඔනෑම බල්ටියක් කරණමක් උඩු කරණමක් ගහන්න පුළුවන් ආයේ තිතට .”

“එහෙමද එහෙනම් ආන්න අර මිදුලට ගිහින් මට කරණම් ටිකක් ගහලා පෙන්නනවා ..”

පැසිපියත් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන මිදුලට බැහැල දන්න හැම සිල්පයක්ම දාලා පෙන්නනවා.. පැසිපියාගේ සර්කස් වැඩ කෑලි දකින අධ්‍යක්ෂකගේ ඇස් උඩ යනවා ..

“තමුසේ මාර වැඩ කාරයෙක්නේ.. මම තමුසේ වගේ කෙනෙක්ව තමයි හොය හොයා හිටියේ මම දිනයක් දෙන්නම් එදාට නොවරදවාම ඇවිත් මාව හමු වෙනවා ..”

“ඒ කියන්නේ මහත්තයා මාව තෝර ගන්නවද ..”

“තෝරගෙන ඉවරයි ඕයි.. නොවරදවාම මේ දිනේට එනවා ..”

දැන් ඉතින් පැසිපියාගේ ඉහේ මලක් පිපිලා වගේ ඒත් මේ චිත්‍ර පටයේ රගපාන අනෙක් අය කවුද කියලා දැන ගන්නත් පැසිපියා අමතක කරන්නේ නැහැ ..

“කවුද මහත්තයා මේකේ මම ඇරෙන්න ඉන්න අනිත් නළු නිලියෝ ..”

“මේකේ ප්‍රධාන චරිතෙට ඉන්නේ ජීවන් කුමාරතුංග ..”

ඒ නම ඇහෙද්දී පැසිපියාගේ සතුට දෝරේ ගලන්න පටන් ගන්නවා  ජීවන් කියන්නේ පැසිපියා ආසම නළුවා . ආසම නළුවත් එක්ක රගපාන්න  ලැබෙන එක කොයිතරම් වාසනාවක්ද ..  අධ්‍යක්ෂක වරයාට අනේක වාරයක් පිං දුන්නු පැසිපියා  දොරේ ගලපු සතුටත් ලේන්සුවෙන් පිහදාගෙනම නවාතැනට ගියා .. ඒ ගිහින් සර්කස් එකෙන් ලැබුණු පඩියම වියදම් කරලා යාළුවට සලකන්නත් අමතක කලේ නැහැ ..

අධ්‍යක්ෂක දුන්නු  දිනය වෙනතෙක් ඇගිලි ගනිමින් සිටි පැසිපියා  නියමිත දිනයේ උදේම අවදිවෙලා අලුත්ම ඇදුමකින් සැරසිලා බුදුන්ට මල් පහන් එහෙමත් පුදලා ගමන පිටත් වෙනවා..

ෂූටින් කරන තැනට ගිහින් කලින් දවසක ගිහින් මුනුගැහුණු අධ්‍යක්ෂක වරයාව හමුවූනා. අද්‍යක්ෂක වරයත් පැසිපියාව බොහොම උණුසුම්ව පිලිගත්තා.  එහෙම පිළිගෙන අධ්‍යක්ෂක වරයා පැසිපියාව බාර දුන්නා වෙන කෙනෙක්ට ඒ කෙනෙත් පැසිපියාව එක්ක ගිහින් පැසිපියාට ටි ෂර්ට් එකකුත් ඩෙනිම් කලිසමකුත් ලබා දෙනවා රූ ගත කිරීමේදී අදින්න ..

“දැන් මොන කොටසද මහත්තයෝ ෂුට් කරන්නේ ..” පැසිපියා අහනවා ..

“අඃ දැන් තියෙන්නේ සටන් ජවනිකාවක් ගන්න ..යමුකෝ මාත් එක්ක ....”

පැසිපියාව එක්ක ගිහින් තැනක් පෙන්නනවා ඒක පටු අනාරක්‍ෂිත අඩි තිහ හතළිහකකට වඩා දිගු පාළමක්..

“මෙතැන තමයි තැන .. ඔහේට තියෙන්නේ මම සිග්නල් එකක් දුන්නම පාළමේ මේ කෙලවරේ ඉදලා එහා කෙලවරට උපරිම වැඩ දාලා කරනම් ගහගෙන යන්න .. මට අධ්‍යක්ෂක තුමා කීවා තමුසේ වැඩකාරයෙක් කියලා . ඒත් මේ වැඩේ ටිකක් අවදානම් වැඩක්.. පුළුවන් වෙයිද කරන්න

වැඩේ අවදානම් කියලා තේරුනත් පැසිපියා වැඩේ සතුටින් භාර ගන්නවා. මොකද තමන්ගේ වැඩ කිඩ පෙන්නන්නත් හොද අවස්තාවක්නේ මේක..

කොහොමින් හරි කල් මරලා එහෙම පැසිපියාගේ කොටස පටන් ගන්නවා , කැමරාමන්ලා ලයිට් කාරයෝ මැද්දෙන් පැසිපියා කරනම් ගහගෙන බල්ටි ගහගෙන පාලම දිගේ කෙළවරටම යනවා . කෙළවරටම ගිහින් අවසන් කරනමත් ගහලා පාලමෙන් බිමට පනිනකොටම පැසිපියා දකිනවා ජීවන් කුමාරතුංග පැසිපියාගේ වගේම ඇදුමක් ඇදගෙන පාලම කෙලවරේ අත් දෙකත් ඉහලට උස්සගෙන හිටගෙන ඉන්නවා ..

මේ යකා මෙතැන අත් උස්සගෙන මොනවා කරනවද කියලා හිතුනත් පැසිපියා ඒ හිතුන දේ හිතේම තියාගෙන තමන්ගේ කොටස තිතටම කලාය කියන ප්‍රසංසාවත් අධ්‍යක්ෂක වරයාගෙන් ලබාගෙන සත පහක මුදලක්වත් නොගෙන සතුටින් පිට වෙනවා ..

මාස ගණනකට පස්සේ පැසිපියා පෙනීසිටි චිත්‍රපටය ප්‍රදර්ශන ශාලා වල ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්නවා.. පැසිපියාටත් ඉතින් හරි සතුටුයි . පැසිපියා චිත්‍රපටය බලන්න යන්නේ තනිවම නෙවෙයි යාළුවන්වයි නෑදෑයන්වයි ගමේ අසල්වැසියන්වයි ඔක්කොවම එකතු කරගෙන ලොරි බාගෙකුත් කථාකරගෙනයි තමන්ගේ වියදමෙන් චිත්‍රපටය පෙන්වන්න එක්ක යන්නේ.

චිත්‍රපටය පටන් අරගෙන මැදක් හරියක් යනවා ඒත් පැසිපියා ඉන්න කොටස නැහැ. පැසිපියට හරි අප්සැට් .ඇයි එක්කන් ආව උදවියත් අහනවනේ කෝ අනේ ඔයාගේ කෑල්ල  තාම නැහැනේ කියලා ..

කොහොමින් හරි චිත්‍ර පටයේ අවසාන ජවනිකාවේදී සටනකදී අර පාළම පෙනෙන්න තියෙනවා .. ඒක දකින පැසිපියා කෑ ගහනවා හැමෝටම ඇහෙන්න

“ඔන්න ඔතන තමයි මගේ එක ගත්තේ දෑන් මාව පෙන්නයි හොදට බලපල්ලා ..”

පාලම ගාවට එනවා ජීවන් කුමාරතුංග , ජීවන්ගේ කෙල්ලව දුෂ්ඨයා උස්සගෙන ගිහිල්ලා පාලමෙන් එහා පැත්තේ ගහක ගැටගහලා ජීවන් හතර අතේ ඉන්න උන්ට නෙලාගෙන එනවා පාළම ලගට ඇවිත් පාළම උඩට පනිනවා බල්ටියක් ගහලා .. පැනල එක දිගටම කරනම් ගහගෙන ගහගෙන යනවා පාලම දිගේ ...
එතකොට පැසිපියා කෑ ගහනවා ,

“අර බලපල්ලා අර කරනම් ගහගෙන පාලම දිගේ යන්නේ මම ..”

ඒත් පාළම දිගේ කරනම් ගහගෙන ගහගෙන ඇවිත් පාලමෙන් බිමට පනින්නෙත් ජීවන් කුමාරතුංගමයි.. පාලමෙන් බිමට පැනපු ජීවන් නායක දුෂ්ඨයාටත් හතරගාතේ දාලා වැටෙන්න ගහලා කෙල්ලව බේරගන්නවා ඒත් එක්කම චිත්‍රපටයත් අහවර වෙනවා...

ඒත් අර කරනම් ගහගෙන ආවේ පැසිපියයි කියලා පැසිපියා දහ අතේ දිව්රලා කීවත් එකෙක්වත් පිළිගන්නේ නැහැ ඒ උන්නේ පසිපියා කියලා . එදායින් පස්සේ පැසිපියාට රගපෑම් ගැන කලකිරෙනවා චිත්‍රපට පිස්සුව ටිකෙන් ටික හොද වෙනවා . එයින් පස්සේ කවදාවත් උන්දැ ආයෙමත් චිත්‍රපටවල රගපාන්න උත්සහ කලෙත් නැතිළු පුරුදු රස්සාවම කරගෙන පාඩුවේ  හිටියා මිසක .


ප .ලි .:-

පැසිපියාව යොදාගෙන ඇත්තේ එම චිත්‍රපටයේ  අසීරු අවදානම් කොටසක් රුගත කිරීම සදහා ආදේශක නළුවෙක් විදියට පමණි .




16 January 2014

මුරකරුගේ රාත්‍රිය..!!!

මුරකරුගේ රාත්‍රිය



හමා යන සීත සුළග
රැහැයියන්ගේ ගීත නාදය
ඇගේ හැපෙන සිත පිනි බිදු
කියා දේවි රැයක අරුමය

කොළ සෙවිලි කල පුංචි ගෙපැලේ
මැටි ඇතිරූ බිම පැදුරකට වි
නිදනු ඇත මගේ මහළු බිරිදත්
කිසි වෙකුත් නැති පාලු යාමයේ

පුරා තිස් වසරකුත් කාලය
ලය හොවා මා දැඩි කෙරූ පුතු
රජේකු වූ දා අපව මදිවී
හැර ගියා මෙහි අපව තනිකර

මහලු අම්මත් මමත් තනිකර
ගියත් පුතුනේ තරහා නෑ මම
පුරවා ලන්නට ඇයගේ කුසවත්
ගියෙමි රැකුමට මහල් නිවෙසක්

නිවෙස ඉදිරියේ ගේට්ටුව ලග
කාකි ඇදුමින් ඇග වසාගෙන
රැය පහන් වන තුරුම හිටගෙන
හිදිමි මම අපේ දිවි රකින්නට

විසල් නිවසක සියලු දේපල
රකින මම වෙමී මහලු මුරකරු
පලවා හැරුමට සොර සතුරු කැල
පමණි ඇත්තේ විදුලි පන්දම

සිත වැහි බිදු ගත තෙමන විට
වාරු නැති අත පය ගැහෙන විට
ඇසට නැගෙනා  කදුළු බිදුවක්
දකින්නෙත් සද එලිය පමනයි

දුකක් නැහැ මගේ සිතේ කොතැනක
එහෙත් එක් පැතුමක් පමණි ඇත
මා මැරුන පසු මගේ ගැහැණිය
රැකබලා ගන්නේ කවරහුද

සියලු නොපෙනෙන දේවතාවුනි
එක දෙයක් ඇත ඉල්ලුමට මට
මා මියෙන දින මාත් සමගින්
ඇයව කැදවන් යන්න අවසර .


ප.ලි .

දිනක් විශේෂිත පුද්ගලයෙක් හමුවීමට අපට යෑමට සිදුවිය.  රාත්‍රී කාලයේ ඔහුගේ නිවසේ ගේට්ටුව ලග ඔහු පැමිණෙන තුරු රැදී  සිටි සුළු කාලය තුල එතැන සිටි මහලු මුරකරු හා දොඩමළු වූ දෙබස් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.

“ මගේ පුතාට හොදට ඉගැන්නුවා මහත්තයෝ ඒයා දැන් ඉංජිනේරුවෙක් කසාදයක් කරගෙන ගාල්ල පැත්තේ ගෙයක් අරගෙන පදිංචි වුනා. දැන් අවුරුදු පහකින්වත් අපිව බලන්න ආවෙත් නැහැ එයා ඉන්න තැනක් අපි හරියට දන්නෙත් නැහැ කොහොම හරි කමක් නැහැ මහත්තයෝ පුතා සතුටින් ඉන්නවානම් අපිට ඒ ඇති “

“මගේ  හිතේ තියෙන්නේ එක දුකයි ...ඒ කවදාහරි මම මරුන දවසක මගේ ගෑනිට යන කලදවස ගැන.. ඒ වෙනුවෙන් මම මේ පඩියෙන් කීය.කීය.. හරි ඉතුරු කරනවා මම නැති කාලේක උන්දැට ජිවත් වෙන්න .. එත් මම කැමති කවදාහරි මම මැරෙන දවසෙම උන්දැත් මියදෙනවනම් .. එතකොට දුකක් නැහැ මහත්තයෝ ...!!!





You might also like:

Related Posts Plugin for WordPress, Blogger...