Showing posts with label අනංමනං. Show all posts
Showing posts with label අනංමනං. Show all posts

22 January 2014

සර්කස් පැසිපියා නළුවෙක්වූ හැටි




මේ කතාව මෙයිට දශක කිහිපයකට ඉහතදී සිදුවූ සත්‍ය කතාවක්.  ඒ කියන්නේ ලංකාවේ සිංහල සිනමාව අතිශයෙන් ජනප්‍රිය වෙච්චි කාලයක් තිබුනනේ ආන්න ඒ කාලේ .  ඒ කාලේ තමයිලු ලංකාවේ සිනමාවේ නැගීමක් තිබුනේ හොද දක්ෂ කම් වලින් සපිරුණු නළු නිලියෝ කැලක් ඒ කාලේ අපිට හිටියා  ඒ කාලේ ඉපදෙන්න ඕනේ නැහැ අපේ කාලේ ඉපදුන කෙනෙක්ට උනත් පරණ චිත්‍රපටයක් බැලුවම ඒ වෙනස තේරුම් ගන්න පුළුවනි තාක්ෂනය අතින් දුර්වල තලයක තිබුණු යුගයක උනත් රගපෑම් තීර රචනා ගීත රචනා අතින් මේ කාලේට වඩා දියුණුවක් ඒ කාලේ දකින්න තිබුනා ..

උදාහරණයක් හැටියට “කොළඹ සන්නිය” චිත්‍ර පටය අරගෙන බලන්න ඒ තරම් හාස්‍යජනක සිංහල චිත්‍ර පටයක් මම නම් මේ කාලේවත් දැකලා නැහැ. එහෙම බලද්දී ලංකාවේ සිනමාව ගමන් කරලා තියෙන්නේ ඉදිරියට නෙමෙයි ආපස්සට ඒත් දැන් දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා ආයෙමත් ඉදිරියටම යන ලක්‍ෂණ පෙන්වන චිත්‍රපට කිහිපයක් බිහිවුණා මෑතකදී .

මෑත කාලේ වැඩක් නැහැ මේ කතාවට අදාළ සිද්දිය අයිති ඈත කාලේට නිසා අපි යමු ආයෙමත් ඈත කාලේටම .

මේ කාලේ විජය කුමාරතුංග, ජීවන් කුමාරතුංග , සනත් ගුණතිලක ,ශෂී විජේන්ද්‍ර ,ලාල් වීරසිංහ  කියන්නේ සිනමාවේ සුපිරි වීරයෝ  දැන්කාලේ චිත්‍රපට නළු නිළියන්ට නොතිබුන ජන ප්‍රසාදය ඒ කාලේ මේ උදවිය දිනාගෙන තිබුනා , සබීතා පෙරේරා , මාලනී පොන්සේකා ,ගීතා කුමාරසිංහ වගේ නිළියොත් එහෙම තමයි . 


කොතැනක ගියත් සමරු පොත් අරගෙන රසිකයෝ වටවුනා කැමරා උස්සගෙන රසිකයෝ වටවුනා තමන් ප්‍රිය කරන නළුවා හෝ නිළිය සමග එකට ඉදලා ෆොටෝ කෑල්ලක් ගහගන්න  එහෙම ගත්තු ෆොටෝ සමහර ගෙවල්වල රාමුකරලා කාටත් පෙනෙන තැනකින් තියලා තියෙනවා එහෙම මම දැකලා තියෙනවා  කිහිපතැනකදීම .



ඒ කාලේ තව දෙයක් තමයි නළු නිළියන්ට ලිපි ලියන එක අපරාදේ කියන්න බැහැ ඉතින් ලිපි විස්සක් විතර යැව්වම පිළිතුරු ලිපි එකක් දෙකකුත් ලැබෙනවා ඒ බව මම දන්නේ අපේ අසල්වැසියෝ කිහිප දෙනෙකුත් ඔය ලියුම් ලියන වැඩේ ජයටම කරපු නිසා ඒ සංදියේ මම හිච්චි කොලුවා ඒ හන්දා මට ඒ වගේ ලියුම් කරදහියක් ලියලා තැපැල් කොරගන්න තරමේ හපන් කමක් කරන්න හැකියාවක් තිබුනේ නැහැ නැත්නම් මාත් ලියනවා නිලියෙක්ට .

මේ කාලේ හිටිය බොහොමයක් තරුණ තරුණියන්ට චිත්‍රපට පිස්සුව තිබුනා සමහර උදවිය සිනමා ශාලාවට එන හැම චිත්‍රපටයක්ම නරබන තරමට චිත්‍රපට පිස්සුව තිබුන අතර චිත්‍රපට පිස්සුව උත්සන්නම වෙච්චි පිරිස ඔය චිත්‍රපට වලට සම්භන්ධ එක එක චරිත අධ්‍යක්ෂක වරු , කැමරා කාරයෝ ,ලයිට් අල්ලන අය, තේ හදන අය වගේ අය පස්සෙන් ගිහින් රගපාන්න සුළු චරිත ඉල්ලගන්න වෙහෙසුනා .

මෙන්න මේ කාලේ ලංකාවේ තිබුනා ජනප්‍රිය සර්කස් කණ්ඩායමක්. ඒ සර්කස් කණ්ඩායමේ හිටිය තරුණයෙකුටත් මේ චිත්‍රපට පිස්සුව තදින්ම වැළදිලා තිබුනා. සර්කස් කණ්ඩායමේ නම පැසිපියා වගේ මතකයක් තිබෙන නිසා මම මේ තරුණයාටත් පැසිපියා කියලම නම තියන්නම්  .



ඔන්න ඉතින් පැසිපියා තරුණයත් කාලේක ඉදලම  චිත්‍රපටයක රගපාන්න අවස්ථාවක් ලබාගන්න වෙහෙසුනා. ඒත් කවදාවත් ඒ වැඩේ හරියන පාටක් තිබුනේ නැහැ වැඩක් හරි යාගෙන එනකොට මොකක් හරි අලකලංචියක් වෙලා අවස්ථාව ගිලිහිලා  යනවා ඒ තරම් නරක කාලයක් ලබලා තිබුනත් අපේ පැසිපියා තරුණයා නෙමෙයි උත්සාහය අත හැරියේ. දිගටම උත්සහ  කළා..  

සර්කස් කණ්ඩායමේ පුහුණුවීම් අතපහුකරගෙන ,සංදර්ශන වලට සහභාගී නොවී චිත්‍රපට වලට නළුනිලියෝ තෝර ගන්නා සම්මුඛ පරීක්ෂණ වලට ගිහින් රැයක් දවාලක් නැතිව රස්තියාදු වෙන්න ගත්තා ඒත් ප්‍රතිඵලය අරකම තමයි “නෝ චාන්ස් “   පැසිපියා තරුණයාට ඒ කාලේ හිටි ප්‍රසිද්ධ නළුවෙකුට සමාන මුහුණුවරක් තිබුනට මොකද රගපෑමේ දක්ෂකම නැති නිසාමදෝ යන යන තැනින් අසමත් වෙනවා මිසක වෙන දෙයක් වුනේ නම් නැහැ ..

ඒත් මිනිස්සුන්ගේ අධිෂ්ඨානය කියන්නේ බොහොම බලගතු දෙයක්  කෙනෙක්ට යමක් ලබාගන්න ඕනෙමයි කියලා ඒ දෙය වෙනුවෙන්ම කැපවුනොත් කවදාහරි දවසක  ඒ තැනට ලංවෙන්න පුළුවන් ඒක තමයි ධනවාදී චින්තනය කියන්නේ , පැසිපියා ඔය කියන චින්තනේ දැනගෙන නොහිටියා වුනත් ඔය රගපෑම මත්තෙම නැහුන නිසා දවසක් ප්‍රසිද්ධ චිත්‍ර පටයක ජනප්‍රිය නළුනිලියෝ එක්ක රගපෑමේ වරම උදාකරගත්තා .

ඒක උනේ මෙන්න මෙහෙමයි ...

දවසක් පැසිපියා චිත්‍රපට ෂූටින් කරන තැනකට ගිහින් චරිත ඉල්ලලා  චාටර් වෙලා ආයෙත් හිස් අතින්ම ඇවිත් නයා මැරිච්ච නයි පනික්කියා වගේ මූනක් හදාගෙන වාඩි වෙලා උන්නා සර්කස් එක ඉස්සරහා ..  ඔහොම ඉන්නකොට පැසිපියාගේ පරණ යාළුවෙක් එනවා එතැනට..

“ඒයි පැසිපියා මොකද බං නිකන් දාහට අරන් සීයට දුන්නා වගේ මුණ එල්ලගෙන ඉන්නේ .. තාම බැරි උනාද පික්චෑර් එකකට මුණ ඔබා ගන්න ..”

“ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ බං, යන යන හැම තැනින්ම  මාව කැපිලා යනවා.. උන්ගේ දෙබස් වලට හරියන විදියට මගේ මුඩ් එන්නේ නැහැ කියනවා නෙවැ...”

“ඒවා ඕනේ නැහැ ..මම දන්න මහත්තැන් කෙනෙක් ඉන්නවා මම වැඩේ කරලා දෙන්නම්  හැබැයි පැසිපියෝ වැඩේ කෙරුනට පස්සේ මට සලකන්න වෙයි ඈ...”

“අනේ මේ මොනවා කතා කරනවද මචෝ පික්චැර් එකකට මුණ දාගන්න චෑන්ස් එකක් අරගෙන දුන්නොත් මම උබට සලකන්නේ දෙයියෙක්ට වගේ ...”

“එහෙනම් හෙට උදේම යමු ..”

පැසිපියත් උදේම නැගිටලා අලුත් ඇදුමක් එහෙම ඇදගෙන නළු බට්ටා වගේ යාළුවත් එක්ක පිටත්වුණා.. යාලුවා අදුනන චිත්‍රපට මහත්තයා හමුවෙන්න . මේ මහත්තයත් එසේ මෙසේ කෙනෙක් නෙමේ චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් ...

ඔන්න දැන් යාළුවා පැසිපියාගේ සියලුම විස්තරයි ආව කාරනෙයි කියලා අධ්‍යක්ෂක තුමාට පැසිපියාව හදුන්වලා දුන්නා.. අධ්‍යක්ෂක තුමත් පැසිපියා දිහා පරීක්ෂාවෙන් බලාගෙන ඉදලා කතාව පටන් ගත්තා ..

“හොදයි මම ගැලපෙන චරිතයක් දෙන්න බලන්නම් ..තමුන් සර්කස් එකක නේද වැඩ කරනවා කිවේ ..

“ඔව් මහත්තයා මම තමයි අහවල් සර්කස් එකේ ඉන්න හොදම වැඩකාරයා.. මම නැත්නම් සර්කස් එක හබක් ..”
පැසිපියත් දෙපාරක් නොහිතා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන තමන්ගේම ගුණ වයාගත්තා .

“ඒ කියන්නේ එහෙනම් ඔහේට හිටි පිනුම් , බඩ පිනුම් එහෙමත් ගහන්ඩ පුළුවන් ඇති ..”

“මහත්තයා මේ බඩපිනුමක් කතා කරනවා මට ඕනෑම තැනක ඔනෑම බල්ටියක් කරණමක් උඩු කරණමක් ගහන්න පුළුවන් ආයේ තිතට .”

“එහෙමද එහෙනම් ආන්න අර මිදුලට ගිහින් මට කරණම් ටිකක් ගහලා පෙන්නනවා ..”

පැසිපියත් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන මිදුලට බැහැල දන්න හැම සිල්පයක්ම දාලා පෙන්නනවා.. පැසිපියාගේ සර්කස් වැඩ කෑලි දකින අධ්‍යක්ෂකගේ ඇස් උඩ යනවා ..

“තමුසේ මාර වැඩ කාරයෙක්නේ.. මම තමුසේ වගේ කෙනෙක්ව තමයි හොය හොයා හිටියේ මම දිනයක් දෙන්නම් එදාට නොවරදවාම ඇවිත් මාව හමු වෙනවා ..”

“ඒ කියන්නේ මහත්තයා මාව තෝර ගන්නවද ..”

“තෝරගෙන ඉවරයි ඕයි.. නොවරදවාම මේ දිනේට එනවා ..”

දැන් ඉතින් පැසිපියාගේ ඉහේ මලක් පිපිලා වගේ ඒත් මේ චිත්‍ර පටයේ රගපාන අනෙක් අය කවුද කියලා දැන ගන්නත් පැසිපියා අමතක කරන්නේ නැහැ ..

“කවුද මහත්තයා මේකේ මම ඇරෙන්න ඉන්න අනිත් නළු නිලියෝ ..”

“මේකේ ප්‍රධාන චරිතෙට ඉන්නේ ජීවන් කුමාරතුංග ..”

ඒ නම ඇහෙද්දී පැසිපියාගේ සතුට දෝරේ ගලන්න පටන් ගන්නවා  ජීවන් කියන්නේ පැසිපියා ආසම නළුවා . ආසම නළුවත් එක්ක රගපාන්න  ලැබෙන එක කොයිතරම් වාසනාවක්ද ..  අධ්‍යක්ෂක වරයාට අනේක වාරයක් පිං දුන්නු පැසිපියා  දොරේ ගලපු සතුටත් ලේන්සුවෙන් පිහදාගෙනම නවාතැනට ගියා .. ඒ ගිහින් සර්කස් එකෙන් ලැබුණු පඩියම වියදම් කරලා යාළුවට සලකන්නත් අමතක කලේ නැහැ ..

අධ්‍යක්ෂක දුන්නු  දිනය වෙනතෙක් ඇගිලි ගනිමින් සිටි පැසිපියා  නියමිත දිනයේ උදේම අවදිවෙලා අලුත්ම ඇදුමකින් සැරසිලා බුදුන්ට මල් පහන් එහෙමත් පුදලා ගමන පිටත් වෙනවා..

ෂූටින් කරන තැනට ගිහින් කලින් දවසක ගිහින් මුනුගැහුණු අධ්‍යක්ෂක වරයාව හමුවූනා. අද්‍යක්ෂක වරයත් පැසිපියාව බොහොම උණුසුම්ව පිලිගත්තා.  එහෙම පිළිගෙන අධ්‍යක්ෂක වරයා පැසිපියාව බාර දුන්නා වෙන කෙනෙක්ට ඒ කෙනෙත් පැසිපියාව එක්ක ගිහින් පැසිපියාට ටි ෂර්ට් එකකුත් ඩෙනිම් කලිසමකුත් ලබා දෙනවා රූ ගත කිරීමේදී අදින්න ..

“දැන් මොන කොටසද මහත්තයෝ ෂුට් කරන්නේ ..” පැසිපියා අහනවා ..

“අඃ දැන් තියෙන්නේ සටන් ජවනිකාවක් ගන්න ..යමුකෝ මාත් එක්ක ....”

පැසිපියාව එක්ක ගිහින් තැනක් පෙන්නනවා ඒක පටු අනාරක්‍ෂිත අඩි තිහ හතළිහකකට වඩා දිගු පාළමක්..

“මෙතැන තමයි තැන .. ඔහේට තියෙන්නේ මම සිග්නල් එකක් දුන්නම පාළමේ මේ කෙලවරේ ඉදලා එහා කෙලවරට උපරිම වැඩ දාලා කරනම් ගහගෙන යන්න .. මට අධ්‍යක්ෂක තුමා කීවා තමුසේ වැඩකාරයෙක් කියලා . ඒත් මේ වැඩේ ටිකක් අවදානම් වැඩක්.. පුළුවන් වෙයිද කරන්න

වැඩේ අවදානම් කියලා තේරුනත් පැසිපියා වැඩේ සතුටින් භාර ගන්නවා. මොකද තමන්ගේ වැඩ කිඩ පෙන්නන්නත් හොද අවස්තාවක්නේ මේක..

කොහොමින් හරි කල් මරලා එහෙම පැසිපියාගේ කොටස පටන් ගන්නවා , කැමරාමන්ලා ලයිට් කාරයෝ මැද්දෙන් පැසිපියා කරනම් ගහගෙන බල්ටි ගහගෙන පාලම දිගේ කෙළවරටම යනවා . කෙළවරටම ගිහින් අවසන් කරනමත් ගහලා පාලමෙන් බිමට පනිනකොටම පැසිපියා දකිනවා ජීවන් කුමාරතුංග පැසිපියාගේ වගේම ඇදුමක් ඇදගෙන පාලම කෙලවරේ අත් දෙකත් ඉහලට උස්සගෙන හිටගෙන ඉන්නවා ..

මේ යකා මෙතැන අත් උස්සගෙන මොනවා කරනවද කියලා හිතුනත් පැසිපියා ඒ හිතුන දේ හිතේම තියාගෙන තමන්ගේ කොටස තිතටම කලාය කියන ප්‍රසංසාවත් අධ්‍යක්ෂක වරයාගෙන් ලබාගෙන සත පහක මුදලක්වත් නොගෙන සතුටින් පිට වෙනවා ..

මාස ගණනකට පස්සේ පැසිපියා පෙනීසිටි චිත්‍රපටය ප්‍රදර්ශන ශාලා වල ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්නවා.. පැසිපියාටත් ඉතින් හරි සතුටුයි . පැසිපියා චිත්‍රපටය බලන්න යන්නේ තනිවම නෙවෙයි යාළුවන්වයි නෑදෑයන්වයි ගමේ අසල්වැසියන්වයි ඔක්කොවම එකතු කරගෙන ලොරි බාගෙකුත් කථාකරගෙනයි තමන්ගේ වියදමෙන් චිත්‍රපටය පෙන්වන්න එක්ක යන්නේ.

චිත්‍රපටය පටන් අරගෙන මැදක් හරියක් යනවා ඒත් පැසිපියා ඉන්න කොටස නැහැ. පැසිපියට හරි අප්සැට් .ඇයි එක්කන් ආව උදවියත් අහනවනේ කෝ අනේ ඔයාගේ කෑල්ල  තාම නැහැනේ කියලා ..

කොහොමින් හරි චිත්‍ර පටයේ අවසාන ජවනිකාවේදී සටනකදී අර පාළම පෙනෙන්න තියෙනවා .. ඒක දකින පැසිපියා කෑ ගහනවා හැමෝටම ඇහෙන්න

“ඔන්න ඔතන තමයි මගේ එක ගත්තේ දෑන් මාව පෙන්නයි හොදට බලපල්ලා ..”

පාලම ගාවට එනවා ජීවන් කුමාරතුංග , ජීවන්ගේ කෙල්ලව දුෂ්ඨයා උස්සගෙන ගිහිල්ලා පාලමෙන් එහා පැත්තේ ගහක ගැටගහලා ජීවන් හතර අතේ ඉන්න උන්ට නෙලාගෙන එනවා පාළම ලගට ඇවිත් පාළම උඩට පනිනවා බල්ටියක් ගහලා .. පැනල එක දිගටම කරනම් ගහගෙන ගහගෙන යනවා පාලම දිගේ ...
එතකොට පැසිපියා කෑ ගහනවා ,

“අර බලපල්ලා අර කරනම් ගහගෙන පාලම දිගේ යන්නේ මම ..”

ඒත් පාළම දිගේ කරනම් ගහගෙන ගහගෙන ඇවිත් පාලමෙන් බිමට පනින්නෙත් ජීවන් කුමාරතුංගමයි.. පාලමෙන් බිමට පැනපු ජීවන් නායක දුෂ්ඨයාටත් හතරගාතේ දාලා වැටෙන්න ගහලා කෙල්ලව බේරගන්නවා ඒත් එක්කම චිත්‍රපටයත් අහවර වෙනවා...

ඒත් අර කරනම් ගහගෙන ආවේ පැසිපියයි කියලා පැසිපියා දහ අතේ දිව්රලා කීවත් එකෙක්වත් පිළිගන්නේ නැහැ ඒ උන්නේ පසිපියා කියලා . එදායින් පස්සේ පැසිපියාට රගපෑම් ගැන කලකිරෙනවා චිත්‍රපට පිස්සුව ටිකෙන් ටික හොද වෙනවා . එයින් පස්සේ කවදාවත් උන්දැ ආයෙමත් චිත්‍රපටවල රගපාන්න උත්සහ කලෙත් නැතිළු පුරුදු රස්සාවම කරගෙන පාඩුවේ  හිටියා මිසක .


ප .ලි .:-

පැසිපියාව යොදාගෙන ඇත්තේ එම චිත්‍රපටයේ  අසීරු අවදානම් කොටසක් රුගත කිරීම සදහා ආදේශක නළුවෙක් විදියට පමණි .




25 July 2013

කෙල්ලන් අතර වීරයෙක් ....





මිනිස්සුන්ට හිටි ගමන් හරි පුදුම වැඩ වෙනවා  අපේ ජනකාන්ත අයියත් නොසිතු නොපැතූ වෙලාවක අහම්බයකින් කෙල්ලෝ ගොඩක් අතර වීරයෙක් වීමේ අවාසනාවන්ත කතාවයි මේ .

 ජනකාන්ත අයියා  ගැන මගේ  කතාන්දර කිහිපයක ලියවිලා තියෙන නිසා ආයෙත් උන්දැගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය  වෙන්නේ නැහැ  මම අර කතාවක කිවා වගේම උන්දැ  මහදැන මුත්තාගේ පුනර්භවයක්. . ඉතිං එහෙව් උත්තමයෙක් ගැන බ්ලොග් ලිපි ලියන එකත් මට ආඩම්බරයක්. තව ඉදිරියටත් මගේ බ්ලොගයේ උන්දැ ගැන පුංචි රසකතා රාශියක් ලියවෙන්න ගොඩ ගැහිලා තියෙනවා .. උන්දැ ඒ තරමටම පිංවත්.

මේ කාලේ වෙන කොට අපි   පුංචි කොලු කුරුට්ටෝ.  ඒත් වැඩි ඈත කාලේකමත් නෙවෙයි  උසස් පෙළ අහවර කරපු සංදියේම වගේ . මේ කාලේ වෙනකොට අපි පිහිටුවා ගත්ත තරුණ සමිතියක් තිබුනා. ජනකාන්ත අයියත් ඒකේ යාව ජීව සාමාජිකයෙක්  මතකේ හැටියට භාණ්ඩාගාරික වගේ තනතුරකුත්  දෑරුවා ..

දවසක් ප්‍රදේශයේ සියලුම සමිති සමාගම් වල තරුණ තරුණියන් ඒකරාශී කරගෙන විනෝද චාරිකාවක් යන්න සුදානම් කර තිබුනා  පියතුමාගේ මුලිකත්වයෙන් .

උදේ පාන්දරින්ම චාරිකාව ආරම්භ කරලා රටේ ප්‍රධාන ස්ථාන කිහිපයකම අපි  කරක් ගැහුවා ඒ අතර සිදුවූ සිදුවීම් එමටයි  එවා පස්සට .මේ චාරිකාවේ අපේ කතානායකයා නිහඩ චරිතයක් වුනා   ඒ කියන්නේ  අපි අදුනන්නේ නැති විශාල පිරිසක් ඉදිරියේ ඔහු කැපී පෙනෙන චරිතයක් වුනේ නැහැයි කියන ඒක .. මේ වගේ චාරිකාවක කැපී පෙනෙන චරිත වුනේ මහා හයියෙන් බෙරිහන් දීලා සිංදු කියන උන් සහ උවමනාවෙන් කැපී පෙනෙන්න විකාර වැඩ කරපු කිහිපදෙනෙකුයි විතරයි . ජනකාන්තා අයියා කලේ උන්දැ දන්නා අදුනන පුංචි කොලු කුරුට්ටෝ කිහිප දෙනෙක් ලංකරගෙන  ගජබින්නයක් ඇදබාපු ඒක විතරයි .

අවසානයේ අපි පැමිණුනා අම්පිටිය ප්‍රදේශයේ ඇති දෙව් සත්හලට , දෙව් සත්හලක් කියන්නේ කතෝලික ආගමික පූජකවරුන් බිහි කිරීමට ළමුන් සුදානම් කරන පුහුණු කරන ස්ථානයක් ..

මෙතැනට ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් අපි  දැක්කා වත්තේ කෙලවරේ තියෙන විශාල පිහිණුම් තටාකේ. වැඩි වෙලාවක් යන්න කලින් එකා දෙන්නා මෙතැනට එකතු වෙන්න ගත්තා .

හැබැයි මේ තටාකේ අවුරුද්ද කින්වත්  පාවිච්චි කරපු එකක්නම් නෙමේ.. තටාකේ වතුර පල් වෙලා හරියට නිකම් බේරේ වැව වගේ වතුර කොළ පාටයි කොළ පාට පාසි වලින් ටයිල් වැහිලා ඒ මදිවට ගෙම්බෝ පිරිලා ... අපිරිසිදු එකේ උපරිම කිව්වොත් හරි ..

ඔන්න ඉතින් පිහිණුම් තටාකේ ලග තැනිතලාවේ කට්ටිය කල්ලි ගැහුනා , මොකද එක බස් එකේ ආවට කණ්ඩායම් කිහිපයක් නිසා බැස්ස ගමන් කල්ලි ගැහෙන එක සාමාන්‍යයි, සමහරුන් සෙල්ලම් කරන්න ගත්තා ඔහොම කාලේ ගෙවීගෙන යද්දී ,  ඒක පොෂ් තරුණියක් බෙරිහන් දෙන්න ගත්තා , එයාගේ සපත්තුව නැතිවෙලාලු  ..


කෙල්ලත් හැඩට වැඩට ඉන්න නිසා කොල්ලෝ ඔක්කොම තමන්ගේ වැඩ නවත්තලා සෙරෙප්පු සෙවීමේ මහා මෙහෙයුමක් දියත් කළා .. සෙරෙප්පුව හොයලා දෙන එකාට ඉතින් පොෂ් නංගිගෙන් ලකුණු ටිකකුත් ලැබෙනවා  ඉතින් වැඩේ පාඩුත් නැහැ .

ගස් ගල් මුල් පීරලා හෙව්වත් එකෙක්ටවත් සෙරෙප්පුව හොයාගන්න ලැබුනේ නැහැ  මේ අතරේ  කවුදෝ කෙනෙක් දැකලා තිබුනා සෙරෙප්පුව තියෙනවා ,

පිහිණුම් තටාකේ ,

පිහිණුම තටාකේ කෙලෙවරක නෙමේ හරි මැද්ද හරියේ උඩ පාවෙවිත් නෙවේ අඩියක් විතර වතුර යටට ගිහින් පාවෙනවා .. හරියට නිකන් සෙරෙප්පුව හොයපු කොල්ලන්ට කොලොප්පන් කරනවා වගේ පුලුවන්නම් මාව උඩට ගනින් කියලා ..හෙක්..හෙක්..,

සෙරෙප්පුව ගන්න එකනම් ලේසි උනේ නැහැ ,  තටාකේ විශාලයි ඒ තරමට දිග ලියක් නැති කමෙන් සමහරු පුන්චි කෝටු කෑලි දික් කරමින් අසාර්ථක වෑයමක යෙදුනා.. සමහරුන් උඩ ඉදන් ගල් ගැහුවා ඒත් ඒ එකක්වත් සාර්ථක වුනේ නම්  නැහැ .. ඒ අතරේ අඩන්න ඔන්න මෙන්න ඉන්න සෙරෙප්පු අයිති කාර නංගියේ ස්වීට් මුණ සෙරෙප්පුව ගන්න වෙහෙසෙන අපේ කොල්ලන්ගේ මොරාල් අප් කළා , මේකත් පුංචි තරගයක් වගේ .. සෙරෙප්පුව ගන්න එකා දිනුම්.


මෙන්න මේ අවස්ථාවේදී තමයි කොහේදෝ හිටි අපේ කතා නායකයා මේ ස්ථානයට අවතීර්ණ වෙන්නේ.. උන්දැට එතැනට එන්න ලේසි වුනෙත් නැහැ සියයක් විතර පිරිසක් තටාකේ  වට කරගෙන ඉන්නකොට අස්සෙන් මුල්ලෙන් රිංගලා ජනකාන්ත අයියා පිහිණුම් තටාකේ ගැට්ට උඩටම ඇවිත් බෙල්ල දික් කර කර සෙරෙප්පුව දිහා බලනවා අපිත් දැක්කා ..

වෙලාවත් ගෙවීගෙන යද්දී සෙරෙප්පුව ගන්න මෙහෙයුමත් අසාර්ථක වෙන්න ගත්ත මොහොතේ සෙරෙප්පු මෙහෙයුමට සම්බන්ද තරුණයන්ගෙන් විවිධ යෝජනාත් ආවා .. අපි මෙයාට මේ වගේම සෙරෙප්පු දෙකක් අරගෙන දෙමු වගේ..ඒවා ,

මේ අතරේ කවුරුත් බලාපොරොත්තු නොවූ දෙයක් වුනා..
“ජබොක් “ ගාලා සබ්දෙකුත් එක්ක ජනකාන්ත අයියා ස්වීම් ෆුල් ඒක මැද්දේ,

නිකන්මත් නෙමේ  ඇදගෙන ආව ඇදුම් පිටින්ම .. ඒ මදිවට සේරෙප්පුත් පිටින්ම,


ජනකාන්ත අයියා වතුරට පනිද්දී විසිවෙච්ච වතුරෙන් නැවිච්ච උන් හතර අතේ දුවන්න ගත්තා වතුරේ ගද උහුලන්න බැරුව.. ඒ අතරේ අහක හිටි උන් තටාකේ වටේ තවත් රොක් වෙන්න ගත්තා මේ වෙන දේ අදහාගන්න බැරුව.. ඒත් ජනකාන්ත අයියගේ අරුම පුදුම වැඩ ගැන දන්නා කියන  අපි කිහිප දෙනෙක් විතරක් උපේක්ෂාවෙන් මේ සිදුවීම නැරබුවා ..

පැන්න ගමන් දෙපාරක් විතර වතුර යට ගිහින් උඩ ආව ජනකාන්ත අයියා අන්තිමේදී අත පය ගහලා වතුර උඩට පිනගෙන ඇවිත් කට පුරෝගෙන හිටි වතුර ටික පැත්තකට විදලා එහෙම පළපුරුදු පිහිණුම් ක්‍රීඩකයෙක් වගේ තටාකේ වටේ වටයක් පිනගෙන ගියා .. උන්දැට බය වෙච්ච වතුරේ හිටි ගෙම්බෝ රංචුව හතර අතේ පනින්න ගත්තා. 

අන්තිමේදී කිමිදිලා අර ගැහැණු දැරිවිගේ සෙරෙප්පුව අරගෙන අන්තිමේදී වැටුනු උන්දැගේ සෙරෙප්පු දෙකත් අරගෙන ගොඩට එනකොට.. කෙල්ලෝ ඔක්කොම  අත්පුඩි තැලුවා .. විසිල් ගහන්න පුළුවන් කොල්ලෝ විසිල් ගැහුවා ... එකෙක් දෙන්නෙක් “හු” ත් තිබ්බා ..


අන්තිමේදී ජරාව නාගත්තු ජනකාන්ත අයියා විසින් සෙරෙප්පුව අයිතිකාර නංගිට පිළිගන්වන මොහොත හරිම හැගීම්බර වුනා.. කෙල්ල නොසෑහෙන්න ජනකාන්ත අයියට ස්තූති කළා .. වටේ පිටේ තව උන් බලාගෙන නොහිටියානම් කෙල්ල ජරාව නාගෙන උන්නු ජනකාන්තට තොත්තුවක් උනත් දෙන්න ඉඩ තිබුනා ..ඒත් ජනකාන්ත අය්යාගේ කරුමෙට එතන  අපි හිටියා ..  ඒ නැතත් ඒ ගැහැනු ළමයා ගැන උනන්දුවෙන් හිටි කොල්ලන්ගේ ඉරිසියාකාර දෑස් ජනකාන්ත දිහාටම එල්ල වෙලා තිබුනා ..


අන්තිමේදී කට්ටිය එතැනින් පිටවෙද්දී කෙල්ලෝ අතර ජනකාන්ත අයියා වීරයෙක් වෙලා ඉවරයි... ඒත් පරහකට තිබුනේ  ජරා වතුරෙන් තෙත බරිත වෙලා තිබුණු වීරයාගේ  ඇදුම් වලින් එන දුගදයි .. එකටත් කෙල්ලෝ පිලියමක් හෙව්වා , උන් ලග තිබුණු සෙන්ට් කුප්පි ටික මල්ලක දාල ගෙනත් ජනකාන්තට දුන්නා..

පස්සේ දෙව්සත්හලේ  නාන කාමරයෙන් ජනකාන්තව නාවලා,  ඇදුම් ටිකත් හෝදලා දීලා එහෙම පස්සේ සෙන්ට් වලිනුත් නාවලා අපි උන්දැව එතැන  තියලා (ඇදුම් නැතිව එක්ක යන්න බැහැ ) වෙන වැඩකට ගිහින් ආයෙත් ඇවිත් බලනකොට ජනකාන්ත අයියා එතැන නැහැ ..


පස්සේ හොයද්දි දැක්ක දෙයින් පපුව හෝස් ගාලා ගියා .. කාගෙන්දෝ සරුන් කඩමල්ලක් ඉල්ලගෙන ඇදගෙන උන්නු ජනකාන්ත අයියා වත්තේ කෙළවරකට වෙලා අව්ව තියෙන තැන් වලට දම දමා තෙත ඇදුම් වේලනවා .. අපිත් එතනට කිට්ටු කළා ..

“අපරාදෙනේ ජනකාන්ත අය්යා උබ ඇදුම් පිටින්ම වතුරට පැන්නේ..  අඩු තරමේ ෂර්ට් එකවත් ගලවන්න තිබුනනේ...

“ඔව් ගලවන්න තිබුනා “

“එහෙනම් ඇයි එහෙම නොකලේ...”

අපි දිහා ටිකක් බලාගෙන උන්නු ජනකාන්ත අයියා

“ඒවායින් වැඩක් නැහැ මට යන්න ඉස්සෙල්ලා තව වැඩක් තියෙනවා කරන්න “

ඒ කියපු විදියත් මිනිහගේ ස්වරුපෙත් අපිට එච්චර ඇල්ලුවේ නැහැ ..

“ඒ මොකක්ද  “

“මම ස්වීම් ෆුල් ඒක දිහා බලාගෙන ඉන්නකොට පිටි පස්සේ ඉදන් මාව තල්ලු කරපු එකාව හොයාගෙන උගේ අ#@(*7^%$  වන්න ...


------------------------------------------------------------------
***
*#@(*7^%$ = අසභ්‍ය වචන බැවින් පලකල නොහැක :D











18 June 2013

මම අපාගත උනෙමි..!!!



"දඩස්"

ඇදෙන් විසිවෙලා බිමට වැටුනා .. හරියට නිකන් උස්සලා පොලවේ ගැහුවා වගේ.. හනිකට දනී පනී ගාලා නැගිටලා කළුවරේම කැඩිලා විලුබ ආසන්නයේ  රවුම් ගැසී තිබු සරම් කොටෙත් උස්සගෙන ආයෙත් ඇදට නගින්න හැදුවට කෝ ඇද ???? ඇද නෑ,...!!!  ඒ තියා ඇද උඩ දපනේ දාලා උන්නු ගෑනිත් නෑ... ගෑනි නැතත් ඇද හරි තිබුනානම් . හැබැටම මොකක්ද මේ වෙලා තියෙන්නේ ..????

අදුරට ඇස් හුරු වේගෙන එනකොට වට පිටාව සිසාරා බැල්මක් දැමු මම දුටු දෙයින් ගල් ගැසී වෙව්ලා ගියා , බෝර්ඩ් එකක් ,

 එක පැත්තකට අපාය අනෙත් පැත්තට දිව්‍ය ලෝකය මම මැද්දේ .. ඒ කියන්නේ මම මැරිලද ,

ආයෙත් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ මම මැරිලා තමයි.. පපුවේ අමාරුව තියෙද්දීම ඊයෙත් කාලක් ක්‍රියා කිරීමේ වරදින් ඊයේ රාත්‍රියේම මට ස්වීප් එක ඇදී ඇත.. දැන් ඉතින් දුක් වෙලා පලක් නැත යන්න මාර්ග දෙකකුත් ඇති එකේ මම හැරුනා දිව්‍යලෝක මර්ගෙට ..

වැඩි දුරක් යන්න හම්බ උනෙත් නැහැ මෙන්න තියෙනවා පත ගේට්ටුවක්.. ඒ මදිවට ඒකට තඩි ඉබ්බෙකුත් දාල..

ගේට්ටුව ඇරගන්න ෆුල් ට්‍රයි කලත් වැඩේ හරි නොගිය තැන මම ගියා අවසානම විකල්පයට .. බඩගෑවා ගේට්ටුවේ මුදුනටම  මොකෑ මට මේවා නුපුරුදු වැඩ යෑ...  ගේට්ටුවෙන් පනින්න ඔන්න මෙන්න තියෙද්දී .. එක පාරම ඉගිල්ලිගෙන ආවේ නැද්ද තඩි කුරුල්ලෙක් . කුරුල්ලා මගේ ඔලුව වටෙත් රවුම් දෙකක් ගහලා වැහුවා ගේට්ටුව මුදුනේ ...

ඔහ්..! සමාවන්න ඒ කුරුල්ලෙක් නොව දේව දුතයෙක්..

“මොකද මේ ගේට්ටුව මුදුනට නැගගෙන? කියනවා බලන්න නම වාසගමත් එක්ක...

ඊට පස්සේ කුරුල්ලා  දේවදුතයා ඇදලා ගත්තා සාක්කුවෙන් පොඩි පොතක්...

“ඔහේගේ නම මේ පොතේ නැහැ ..යනවා අපායට එහෙ පොතේ ඇති ..”

“අනේ මට අපායට යන්න බැහැ මම මෙහෙ ඉන්නම් ..”

“වද  නොදී යනවා ඕයි යන්න ...

“පටාස් “  

කන හරහා වැදුන පාරෙන් ගේට්ටුවෙන් බිමට හතර ගාතේ දාලා ඇද වැටුන මම නැගිටලා අපාය පැත්තට ඇවිදගෙන ගියා ... නෙද්දකින් මේ දිව්‍යලෝකේ උන්ගේ හැසිරීම අන්තිමයි  නෙවැ..

අපායෙත් ගේට්ටුවක්..!!! ඒත් අපරාදේ කියන්න බැහැ මම ලගට යනකොටම ගේට්ටුව ඉබේම ඇරුනා.. හරියට මම එනවා කියලා දැනගෙන උන්නා වගේ...

ඒත් එක්කම ආවේ නැද්ද පැද්දී පැද්දී යමපල්ලියෝ දෙන්නෙක්..ඔලුව උඩ පොඩි අන් දෙකකුයි වලිගෙකුයි නොතිබුනානම් හොලිවුඩ් නිලියෝ පරාදයි..

එහෙම ආව උන් දෙන්නා එහෙට මෙහෙට ඇබරිලා දත් විලිස්සලා මුකුළු පාලා එහෙම

“ආයුබෝවන් “ කියලා කිවේ නැතෑ මට .අත් දෙකත් වැදලම.

“ආ ආ ..ආයුබෝවන් “ හැබෑටම මෙහෙ පිළිගන්නෙත් ලංකාවේ විදියටමනේ ..

“එන්නකෝ  ඇතුලට තාම එලියෙනේ ඇතුලෙදි දැනගන්න පුළුවන් ඒ ගැන වැඩි දුරට “

අපායේ ආගන්තුක සත්කාර හරි ඉහල බව මට වැටහුනා .. අපායත් එක්ක බලද්දී දිව්‍යලෝකේ කැලේ ...තුක් නොදකින් ...!

තවමත් මගේ අත්දෙක අත නොහැර දෙපසින් අල්ලාගෙන ආව යමපල්ලියෝ දෙන්නා දිග පෝලිමක් කෙළවරටම මාව එක්ක ගිහින් නතර උනා .. ආණ්ඩුවේ කන්තෝරුවකවත් මම දැකලා නැහැ එහෙව් දිග පෝලිමක්.. මම ඔලුව දාලා බැලුවා පෝලිමේ ඉස්සරහා මොකද වෙන්නේ කියලා .. පෝලිමේ එහා අන්තයේ ලස්සන යමපල්ලියෝ දෙන්නෙක් පෝලිමේ එන උන්ගේ විස්තර පොතේ ලියාගෙන පොඩි තුන්ඩු කෑල්ලක් දීලා යමපල්ලන්ට බාර දෙනවා ඒ යමපල්ලෝ නම්  ටිකක් භයානක පාටයි වගේ ... යමපල්ලියෝ නම් ස්වීට් ..

“ මේ පෝලිමේ ගිහින් අන්න අර මිස්ලා ගාව රෙජිස්ටර් වෙලා... එතැනින් දඩුවම් කොලේ අරගෙන ඇතුලට යන්න.

එහෙම කිව්ව යමපල්ලියෝ දෙන්නා ආයෙත් ගියා ගේට්ටුව පැත්තට. මම හිතන්නේ මම වගේ අලුතින් එන අයව ආයුබෝවන් කියලා පිළිගන්න වෙන්න ඇති...

ඇයි මුන් අයුබෝවන්ම කියන්නේ .. එහෙම හිත හිතාම මම ගියා පෝලිමේ මුල්ම හරියට.. ජිවත්ව ඉන්න කාලේදී උනත් මට පෝලිම්වල ඉදලා පුරුද්දක් නැහැ පෝලිම් පනිනවා මිසක.. පෝලිමේ මුල හරියේ හිටියේ ඔක්කොම සුද්දෝ.. උන්ට බයාදු හිනාවක් එහෙම  දාලා මම පැන්නා පෝලිමේ මුල් හරියටම.

“ෂූ ..ෂු ..”

“මල කෙලියයි රෙජිස්ටර් කරන යමපල්ලියක්  සු ..සු .. ගගා මට අතින් කතා කරනවා ..මම පෝලිමෙන් පනිනවා දැකලා වත්ද ..ශික් ලැජ්ජාවේ බැහැ ..

“ඔහේ ලංකාවෙන් නේද “ ඈ අසයි ,

“ඔව් කොහොමද දන්නේ “

“පෝලිම පැන්න හැටියෙන් දැනගත්තා ...”

“අනේ සමාවෙන්න ..”
“නෑ ...නෑ .. ලංකාවේ හින්දා කමක් නෑ.. ලංකාවේ අයට අපි විශේෂත්වයක් දක්වනවනේ .. ලංකාවේ අයට විශේෂ පැකේජ් එකක් තියෙන්නේ . ඔහොම ඉන්නකෝ ටිකක් .

එහෙම කියූ ඈ දුරකථනයෙන් කාටදෝ කථා කලා .. ඒ සමගම ආවේ බොහොම දැකුම්කළු ෆන්කි පෙනුමක් ඇති යමපල්ලෙක් ...

“මෙන්න මෙයාව අපාය වටේ රවුමක් එක්ක ගිහින්  එයා කැමති විදියේ දඩුවමක් තෝරලා දෙන්න ..” යමපල්ලි කිව්වා .

“යමු “

යමපල්ලා මගේ අතකින් අල්ල ගත්තා ...

“අනේ කොහෙද මාව එක්ක යන්නේ , මට දඩුවම් කරන්නද හදන්නේ ..

“හක් ..හක් , ඉස්සෙල්ලම එනවකො යන්න රවුමක් . පස්සේ බැරියැ දඩුවම් ගැන කතා කරගන්න .. අනික අපි ලංකාවේ අයට දඩුවම් නියම කරන්නේ නැහැ තමුන්ට කැමති දඩුවමක් බාර ගත්තැකි..”

“ඇඃ  ඒ මොකද ?

“ඇයි ඕයි..ලංකාවේ ජීවත්වෙනවා කියන්නෙත් මේකාලේ අපා දුක් විදිනවා වගේ නෙමේද ... තමුසෙලා එහෙත් දුක් විදලා , දුක් විදලා මැරිලා මෙහෙට ආවම මෙහෙත් දැඩි දඩුවම් දෙන එක  සදාචාර සම්පන්න නැහැනේ ඒ හින්දා අපේ යමරජතුමා කියලා තියෙන්නේ ලංකාවෙන් එන අයට එයාලා කැමති දඩුවමක් තෝරාගන්න ඉඩ දෙන්න කියලා ..

“ඒකත් ඇත්ත තමයි , අහස උසට බඩුගණන් යනකොට , විදුලි බිල ,වතුර බිල , හාල් පොල් සීනි තේකොළ විතරක්නම් මදෑ ජිවන බර ඇදලා හෙම්බත්වෙලා ගෙදර ඇවිත් කාලක් ගහන්න හදනකොට ඒකෙත් ගනන් හැමදාමත් වැඩි වෙනවා නෙවැ.. ඔව් ඇත්ත තමයි අපි ජිවිතේ ගැට ගහ ගන්න අපාදුක් වින්දා ..”

“ඒකනේ අයිෂේ කියන්නේ.. එහෙම දුක් විදලා මැරිලා එන තමුෂේලාට අපි මෙහෙදී සහනයක් දෙනවා .. අපි දන්නවා ඒහෙ වෙන හැමදේම ..

“ඒ කොහොමද ?’

“හැක් ..හැක්.. දැන් මෙහෙ යමරජ පොස්ට් එකේ ඉන්නේ තමුෂේලාගේ රටේ හිටිය ප්‍රසිද්ධ කෙනෙක් තමයි.. ඒක නිසා අපෙයි ලංකාවෙයි සම්භන්ධතා වැඩියි දැන්.. ලංකාවත් නිකන් ආපයේම කොටසක් වගේ .ඕයි..

“යමරජ ලංකාවේ කෙනෙක් ..අනේ මට එතුමාව බලන්න ඕනේ ..මට පෙන්නනවකෝ ..”

“එහෙම එතුමාව මුණගැහෙන්න බැහැ ඕයි... තමුෂේට බලන්න ඕනෙම නම් ඔන්න ඔය දොර අස්සෙන් බලනවා ...”

දෙය්යන්ටම ඔප්පු වෙච්චාවේ මේ අපේ ලංකාවේ හිටි පාලකයෙක් නෙවැ... උන්දැ ජිවත්ව හිටි කාලේ වගේමයි  කිසි වෙනසක් නැහැ තවමත්. කොන්ඩේ කෙස් ගහක්වත් එහා මෙහා නොවෙන්න හාකබෝන්ඩ්  ගාලා පිටිපස්සට ඇදලා පීරලාවගේම තියෙනවා, එදා වගේම අදත් හිනාවෙනකොට කට කන්දෙක ලගටම යනවා.. වෙනසකට තියෙන්නේ ඒ කාලේ ඇදපු ජාතික ඇදුම ගලවලා අපායේ ජාතික ඇදුම ඇදගෙන ඉන්න එක විතරමයි..

මම දොර අස්සෙන් බලාගෙන ඉන්නකොටම යමරජතුමා සරම ගලවලා පැත්තකින් තියලා අමුඩ කෙටිය පිටින් බැස්සා ලොකු බේසමකට ... ඒත් එක්කම කොහේදෝ හිටිය සුරූපී යමපල්ලියෝ රංචුවක් ආව එතැනට කල ගෙඩි ටිකකුත් උකුලේ ගහගෙන...

“ අර මොකටයි  කලගෙඩි .. කලගෙඩි නැටුමක්වත්ද ...

“නෑ..නෑ.. යමරජ තුමා දැන් ස්නානය කරන්නයි සැරසෙන්නේ... ඔය කලගෙඩි අතේ තියාගෙන ඉන්නේ කන්‍යාවෝ.. කල වල තියෙන්නේ කිරී... එතුමා හැමදාම කන්‍යාවන්ට කියලා කිරි වලින් නාව ගන්නවා ඕයි..”

හැබෑම තමයි ! එතුමා එහෙ ඉන්න කාලෙත් කන්‍යාවන්ව ගෙන්නගෙන කිරි වලින් නාගත්තා.. දැන් අපායේ ඇවිත් කිරි නාන්නෙත් ඒ පුරුද්දටම තමයි . හොද වෙලාවට අපායේ තාමත් කන්‍යාවෝ ඉන්නවා . මෙතුමා තාමත් ලංකාවේ හිටිය නම් කිරි නාවගන්න කන්‍යාවෝ කොහෙන් කියලා හොයන්නද. .නොනා .තමයි ඉන්ට වෙන්නේ..

“දැන් මදෑ නාන දිහා බලාගෙන  හිටියා එනවා යන්න ...”

යමපල්ලා මගේ අතින් ඇදගෙන යනකොට කිරි නාන යමරජුගේ කන්‍යාවන්ගේ නාභිය  වෙත රදවා තබාගෙන සිටි මගේ දෑස කෙමෙන් ඈත්වුනා.

ඊගාවට මගේ ඇස් නතර උනේ බෝල්පොයින්ට් පෑන් ගොඩක් මැද්දට වෙලා ඉන්න ටිකක් දැකලා හුරු පුරුදු පෙනුමක් සහිත කෙනෙක් ගාව ..

“කවුද ඒ පෑන් ගොඩක් තියාගෙන ඉන්නේ.. අපායේ ලියන මහත්තයද ?

“හක් ..හක්.!! නෑ.නෑ ඒකත් දඩුවම් ක්‍රමයක් තමයි.. එයත් ලංකාවේ ඉන්ස්පැක්ටර් කෙනෙක්.

එවිටම යමපල්ලෝ දෙන්නෙක් නරයෙක්ව ඇදගෙන ආව පෑන් මහත්තයා ලගට . පෑන් මහත්තයා බෝල්පොයින්ට් පෑන් දෙකක් අරගෙන බැස්සුවා නරයාගේ කන්දෙකට.. නරයා මර ලතෝනි දුන්නා .. පෑන් මහත්තයා මහා හය්යෙන් හිනා උනා .. (මම බයෙන් වෙව්ලුවා )

“මොකෝ කියන්නේ පෑනක් ගහගෙනම යමුද , “ බයේ වෙව්ල වෙව්ල හිටිය මගේ දිහා බලලා යමපල්ලා නිකන් කෝචෝක් එකට වගේ ඇහුවා ..

“නෑ..නෑ.. ඕනේ නැහැ , ඒ පෑන් මහත්තයා ලංකාවේ ඉන්ස්පැක්ටර් වෙලා හිටිය කාලෙත් ඔහොම්මයි .. ගොඩක් මිනිස්සුන්ගේ කන් වලට බෝල්පොයින්ට් පෑන් බැස්සුවා “ මම යමපල්ලව දැනුවත් කලා.

ඊට පස්සේ අපි ගියේ ලොකු ටයර් කදු දෙකක් මැද්දෙන්.. ඒ ටයර්නම් ලංකාවෙන්ම ගෙන්නපුවා කැළණි ටයර් .
“මෙච්චර ටයර් මොකටද ? වාහන වලටද ?

“පිස්සුද ඕයි.. අපි වාහන පාවිච්චි කරන්නේ නැහැ තෙල් ගණන් , ඔය ටයර් නරයන්ට දඩුවම් දෙන්න.ගෙනාපුවා . නරයන්ගේ කරට ටයර් දාලා ගිනිතියනවා.. ඕකත්  අපේ යමරජතුමා හදුන්වා දුන්න දඩුවම් ක්‍රමයක්.

“ඇත්තද ,!.. ඒ කාලේ ලංකාවටත් ඒක හදුන්වා දුන්නේ මේතුමාම තමයි..


යමපල්ලත් එක්ක කතාව දාගෙන ඔහොම එකින් එක තියෙන දඩුවම් ක්‍රම දිහා බල බල යනකොට.. මගේ ඇස් ඊගාවට නතර උනේ ලොකු ස්වීම්ෆුල් එකක් වගේ එකක බැහැලා පින පිනා ෆන් ගන්න යමපල්ලෝ සෙට් එකක් ලගට..

“අර මොකද කරන්නේ ...

“ආග්.. ඒ තමයි ඉස්සර ලෝදිය ගංගාව.. දැන් එකේ තියෙන ලෝදිය ගිනියම් කරන  හීටර් ටික ගලවලා තියෙන්නේ.. යමරජතුමාගේ නියෝගයක් අනුව අපායට ඕනේ කරන හැම දෙයක්ම අපි ගෙන්නන්නේ ලංකාවෙන්නේ ඉතින් කරන්ට් බිල වැඩි කලාට පස්සේ හීටර් ටික ගලවලා දැම්මා.. දැන් මේක අපේ කොල්ලෝ ස්වීම්ෆුල් එකක් විදියට පාවිච්චි කරනවා ...

“එහෙමද ,

“ඔව් ලෝදිය ගංගාව වෙනුවට දැන් අපි අඩු වියදම් දඩුවම් ක්‍රමයක් පාවිච්චි කරනවා , යමුද බලන්න “

“යමු “

මගෙත් එක්ක ආව යමපල්ලා ස්විමින් කරන යමපල්ලන්ට  සැලියුට් එකක් එහෙම දාලා මාවත් ඇදගෙන ගියා අලුත් දඩුවම් ක්‍රමය පෙන්නන්න ..

ටිකක් දුර යනකොට දරාගන්න බැරි දුගදක් ආව බැවින් මම එක අතකින් වහගත්තා නහය.. අනිත් අතෙන් වහ ගත්තා කට වමනේ යයි කියලා ..

“හක්..හක්.. ඇයි ගදද..!! ටිකක් ගද උනාට මේක තමයි අමාරු අඩුම දඩුවම් ක්‍රමේ. එනවකො පෙන්නන්න..

ලොකු අසුචි වලකට බැහැ ගත්ත නරයන්  දෙන්නෙක් පොඩි කතාවකුත් දාගෙන සිගරැට් එකක් බොනවා..

“මොකද කියන්නේ බහිනවද වලට..”

යමපල්ලාගේ ට්‍රයි එක දැන් මාව අසුචි වලට බස්සන්න , ඒත් මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඔය අසුචි වලේ කථව අහලා තියෙනවා.. ඒ කතාවේ හැටියටනම් වලේ ඉන්න ඕනේ ඔලුවෙන් හිටගෙන ඉන්ටර්වල් එකට විතරයි කෙලින් හිටගෙන සිගරට් එකක් ගහන්න චෑන්ස් එකක් හම්බ වෙන්නේ ..

මම අහල බැලුවා යමපල්ලගෙන් .

“මේකෙත් ඉන්න ඕනේ ඔලුවෙන් හිටගෙනද ?

“හක් ..හක්.. තමුසෙත් මෝඩයා වගේ උන්නට යමක් කමක් දන්නවා නේද ? ඔව්..ඔව්.. ඔලුවෙන් හිටගෙන තමයි ඉන්න ඕනේ ඒත් වැඩි අමාරුවක් නැහැ. වැඩිම උනොත් අසුචි නහය කටේ හිරවෙලා හුස්ම ගන්න බැරිවෙලා මැරෙයි .. ඒත් බයවෙන්ට දෙයක් නැහැනේ මැරුනත් තප්පර ගානකින් ආයෙත් අසුචි වලේම උපදිනවා ...

“මොකද කියන්නේ බහිමුද වලට ..?

බලපු අනිත් දඩුවම් එක්ක බලනකොට අසුචි නහය කටේ ගියත් මේක තමයි තියෙන ලේසිම දඩුවම.. මම තීරණයක් ගත්තා. සිගරට් එකකුත් පත්තු කරගෙන සරම ගලවලා පැත්තකට විසි කරලා නිර්වස්තරෙන්ම බැස්සා අසුචි වලට ..

බැහැලා සිගරට් එකෙන් දුම්ගුලි දෙකක් අදින්න ලැබුනේ නැහැ .. වැදුනා බෙල් එක ..

“ට්‍රිර්න්....ට්‍රින්....///

සිගරට් බිබී හිටිය උන් දෙන්න  එක පාරටම පැනලා හිටගත්තා ඔලුවෙන්, මමත් උන් කරපු විදියටම සිගරට් එක පැත්තකට විසි කරලා හිටගත්තා ඔලුවෙන්..

මාව අසුචි වලේ පතුලටම ගියා .. ටිකෙන් ටික අසූචියෙන් නහය කට පිරුනා.. ටිකෙන් ටික හුස්ම හිරවෙගෙන එනවා තේරුනා . දරාගන්න බැරි වේදනාවෙන් මම යටි ගිරියෙන් කෑ ගැහුවා .

“මට ඔලුවෙන් හිටන් ඉන්න බැරියෝ ... බේරගන්න කවුරුත් නැද්දෝ .../////

“ ..චටාස් ....පටාස්"..

“රැ තිස්සේ බීගෙන එනවා මදිවට මෙතන තව බෙරිහන් දෙන්නත් පටන් ගත්තද..!! , ඒ මදිවට සරමත් ගලෝගෙන ඇදඋඩ ඔලුවෙනුත්  හිටගෙන ... අපිට රෑටවත් නිදහසේ නිදාගන්න දෙන්නේ නැද්ද මනුස්සයෝ ...”

“චටාස් ....















You might also like:

Related Posts Plugin for WordPress, Blogger...