14 October 2013

කෙල්ලන් රැවටු දියමන්ති ගුරුකම..



ට්‍රීoooo… ට්‍රීoooo…

මහා පාන්දරම කන  අයිනේ ඉදගෙන ස්ථාවර දුරකථනයක් නාද දෙනකොට කොහොමද දැනෙන සනිපේ.. එහෙව් වෙලාවක දුරකථනය කුඩු පට්ටම් වෙලා යන්න පොලවේ ගහන්න හිතෙන්නේ මට විතරක්මනම් ඒ මම පාන්දර සුව නින්දට අසිමීතව ඇලුම්කල නිසාම වෙන්න ඇති ... රෑ ජාමයක් ගෙවෙනකන් ඇහැ ඇරගෙන ඉදලා  පාන්දර කිට්ටුව ඇදට පැනලා ඇහැ පියාගන්න මට ඉන් පස්සේ  ඉහ උඩින් හොරණෑ ගහගෙන පෙරහැරක් ගියත් ඇහැ ඇරවනවා බොරු ..

ඒත් මේ දුරකථනය එයිට වඩා බලවත්...

ට්‍රීoooo… ට්‍රීoooo… ට්‍රීoooo… ට්‍රීoooo

එක දිගටම නොනවත්වා පාන්දර ජාමේ නාද වෙන දුරකථනය බොහෝ කාලයක් මගේ නින්දට අසීමිතව බාදා කලා  .ඒ වෙලාවට මම කොට්ටේ නවලා අරගෙන ඒකෙන් කන්දෙකම වහගෙන ආයෙමත් ඇහැ පියාගන්න උත්සහ ගන්නේ  දුරකතනයට විතරක් නෙමේ ඒක හොයාගත්තු ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් උන්නැහැහේ ගෙත් අම්මා මුත්තා මතක් කරගෙන... ෂික්!!! මේ බෙල් උන්නැහේ මොන එහෙකට මේකට බෙල් එකක සද්දයක් දැම්මද මන්දා ,.
 ඒත් කවදාවත් මට දුරකථන සබ්දයට පිටුපාල ආයෙත් නිදාගන්න ලැබෙන්නේ නැහැ..

හැමදාමත් වගේම අම්මා ..

“පුතා ටෙලිෆෝන් එක ගොඩක් වෙලා රින්ග් වෙනවා ටිකක් බලනවද ...”

මට වගේම උන්දැගේ නින්දත් කඩාකප්පල් කරලා දාපු දුරකථනය සොයාගෙන මම යන්නේ හිතේ උපන් කෝධය වචන වලට පරිවර්තනය කරගෙන මුමුණන ගමන්මයි (එම වචන පාලි සංස්කෘතික භාෂාවකට උරුම කම් කියන බැවින් බ්ලොගයේ පලකල නොහැක )

සි එල් අයි නොතිබුන යුගයේ වුවත් එහා අන්තයේ සිට මා අමතන මේ ග්‍රාහකයා කවුදැයි කියා ටක්කෙටම උපකල්පනය කිරීමේ හැකියාව මට තිබුනා .. ඒ වෙන යමක් නිසා නොවේ.. සති කිහිපයක සිට යක්කු ගස් නගින ජාමෙට පවා  මට ඇමතුම් දෙන්න හිටියේ එකෝම එකයි ඒ  ..අසේල ,

හෙලෝ ..

“හෙලෝ චමී මම අසේල.බං..”

“ඔව් මම දන්නවා..ඉතින් කියපන් ...”

“ම්ම්ම් ..ඒක නෙමේ උබ මොනවාද කර කර උන්නේ ..”

ඒ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරයක්  පාලි සංස්කෘතික භාෂාවකට උරුම කම් කියූ  මගේ උක්ත භාෂාවෙන්ම පවසා දුරකථනය විසන්දි කර දැමීමට සිතට ආ හැගීම යටපත් කර ගනිමින් මම පිළිතුරු දුනිමී.

“මුකුත් නැහැ .. මම නිදාගෙන උන්නේ ...”

“ආග්.. මේ වේලාවට උබලට පාන්දර කියලා මට අමතකවුනා.. මම මේ ලන්ච් ගන්න ආව ගමන් උබට කෝල් කලේ .. “

ලෝක බෝලය ඉර වටේ කැරකෙන සිද්දියෙන් කාටවත් අවාසියක් නොවෙනවා යැයි කීවට.. එහි අවාසිය තදින්ම මගේ නින්දට බලපෑම් කලේ ඔන්න ඔය ආකාරයටයි..  සතියට දවසක් දෙකක් අසේල ලන්ච් ටයිම් එකේදී මට  දුරකථන ඇමතුම් අරගෙන මර නින්දේ උන්නු මාව අවදි කරන එක දිගටම සිදුවුනා ... වරද අප දෙදෙනාගේම නොවේ  වරද ඇත්තේ  අප එකම රේකාවක දෙපැත්තේ ඇති රටවල් දෙකක ස්ථානගතවි සිටිමයි...

“හා දැන් ලන්ච් අරගෙන ඉවරනම් කතාකරපු හේතුව කියපන්කො ..”

“මේකයි චමි හෙට නර්මදාට ක්ලාස් දවසක්...

නර්මදා කියන්නේ අසේලගේ කෑල්ල සභ්‍ය  වචනෙන් පෙම්වතිය කියමුකෝ.. මේ ප්‍රේමෙට වසර කිහිපයකම ඉතිහාසයක් තිබුනත්  ඒ ගෙවී ගිය කාලයේ තරමට තද බැදීමක් මුන් අතර තිබුන බවක් පෙනෙන්න තිබුනේ නැහැ, මම නම් කොහොමටවත් දැක්කේ නැහැ..

“නර්මදාට ක්ලාස් ඉතින් මට මොකෝ ..”

“එහෙම කියන්න එපා බං උබ මට උදව්වක් කරපන්.. මේ ලව් එකට මුල ඉදලම උදව් කලෙත් උබනේ ..”

ඇත්තටම මේ ආදර කතාවේ මමත් ප්‍රධානතම චරිතයක්, සමහර විට මම නොහිටියානම් මේක නොවෙන්නත් තිබුනා.. ඒත් ඉතින් මිනිස්සුන්ගේ ෛදවය වෙනස් කරන්න බැහැ කියනවනේ එහෙම බැලුවම මම නැතත් වෙන්නත් තිබුනා ..
කොහොමින් හරි මේකත් මගේ අතින් සිදු කරපු සාර්ථක කපුකමක් විදියටම තමයි අදත් මම හිතන්නේ.  මේක සාර්ථක වෙන්න මගේ අතින් සියයට දශම ගානක හරි දායකත්වයක් නොතිබුනා කියන්නනම්  කාටවත් බැහැ..

නර්මදාව මම අදුන ගත්තේ කොයි කාලේ ඉදලද කියන්න හරි හමන් මතකයක් නැතිවුනත්.. කාලෙක ඉදන් මගෙයි ඇගෙයි දැන හැදුනුම් කමක් තිබුනා එහි ප්‍රථිපලයක් හැටියට තමයි දවසක් අසේලට නර්මදාව දකින්න ලැබුනේ..  දැක්ක මුල් දවසෙම නොවුනට කාලයක් එක දිගටම දුටු නිසාමදෝ අසේලගේ හිතේ නර්මදා ගැන අදහසක් ඇතිවෙලා තිබුනා... මමත් ඒක දැනගත්ත දවසෙම ආයේ දෙපාරක් හිතුවේ නැහැ ගිහින් ඇහුවා අසේල ගැන නර්මදාගෙන්... අපි එහෙමයි ඈ..

නර්මදාත් වැඩිය ඇබරුනේ නැහැ දෙතුන් පාරක් ඇබරිලා “හා “ කැමතියි  කීවා ... එහෙම පටන් ගත්තු මේ ආදර අන්දරය අවුරුදු දෙකක් පමණ මෙරටද අවුරුද්දක් පමන අසේල ඇමරිකාවේ පදිංචි කාරයෙක්වූ පසුවද පැවති නමුත් කාලයේ තරමට දිගු බැදීමක්නම් නොතිබුන ගානයි ..

“හරි දැන් මම මොකද කරන්න ඕනේ...”

“මේකයි බං දැන් නර්මදා මම කෝල් කලාට අන්සර් කරන්නේ නැහැ  උන්ගේ ගෙදරිනුත් මට කැමති නැහැ කියලා නර්මදා දැන් මාව තබේකට මායිම් කරන්නේ නැහැ  ..”

“එහෙමද ..ඉතින් දැන් මොකද මම කරන්න ඕනේ ..”

“මම හොයාගත්තා හැම ඉරිදාම උදේ පහට නර්මදා කොළබ බස් එකට නගිනවලු පංති යන්න. මම අහවල් ගෙදරට ලියුමක් එව්වා උබ ඒක අරගෙන ගිහින් හෙට උදේ පහට බස් හෝල්ට් එකේදී නර්මදාගේ අතටම දීපන්කො ..

“දැන් වේලාව තුනටත් ලගයි ... හරි තව පැය දෙකක් මෙහෙම්මම ඉදලා මම ගිහින් දෙන්නම් එහෙනම් ..”
----------------------------------------------------------------------------------------------------

උදේ පහ වෙනකන් ඇහැ පියවෙන්න නොදී  අමාරුවෙන් ඉදලා පහටත් කලින් ගෙදරින් පිට වෙලා අහවල් ගෙදර උන්දැලවත් අවදි කරවලා ලියමන ඉල්ලගෙන... සීතලේ ගැහි ගැහි... කිලෝමීටර් හතරක් විතර දුරක් ගෙවාගෙන ගිහින් බස් හෝල්ට් එකේ රැකගෙන හිටියා නර්මදා එනකන් ..

මම කවදාවත් මගේ ලව් එකකටවත් මෙහෙව් කටු කෑමක් කාලා නැති එකේ අසේලගේ වැඩේට මේ තරම් කැපවීමක් කරන්නේ ඌ කවදාවත් මගේ ලව් වලට උදව් කරලා තියෙන නිසා නොවේ ..ඔහු කලේ ඒ කාලේ හැටියට අපි අමාරුවෙන් උත්සහ කරලා එකක් සෙට් වේගෙන එනකොට අදාල තරුණියගේ ගෙදරට නිර්නාමික දුරකථන ඇමතුම් දීලා  ඒ සම්බන්දයන් කඩ ඉහිරවලා  අමුතුම සතුටක් ලබපු එක.. කොහොමින් හරි ඒවා අතේ මාට්ටු උනත් අපිත් ගනන් නොගෙන උන්නේ ඒ කාලේ හැටියට අපිටත් සීරියස් සම්බන්දයක් ගොඩ නගාගන්න තරම්  උවමනාවක් නොතිබුන නිසාම මිස වෙන එහෙකට නොවේ .. එහෙත් දැන් නර්මදා සම්බන්දයෙන් අසේල සීරියස් බව තේරුන වෙලාවේ ඉදලා මම තීරණය කළා කොහොම හරි මේක ගොඩ දානවා කියලා..

කොහොම උනත් ලව් වලට උදව් කරන්න පුළුවන් කමක් තිබුනොත් මම එහෙම නොකර  ඉදල නැහැ.. ආදර සම්බන්ද වලට උපකාර කරන එක දෙලොවටම කරගන්නා පිනක් විදියට තමයි මම අදටත් සලකන්නේ.. ඒ නිසාමයි බස් එකක තනියම ෂිට් එකක වාඩි වෙලා යද්දී වුනත් ජෝඩුවක් නැග්ගොත් උන් දෙන්නව  දේ තැනකට නොයවා  නැගිටලා ෂිට් එක පරිත්‍යාග කරන්නේ.. (ඔය පිං ලැබෙද්දී බෝනසුත් එක්ක ලැබෙයි මතු ආත්මෙක හික්..හික්..)


ඔග්..කතාවෙන් කතාවෙන් මෙන්න නර්මදාත් ඇවිල්ලා ...

මට කෙලින්ම ඉදිරියට ගිහින් නර්මදාට ලියමන දිගු කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ..  මම නර්මදාට කිට්ටු කලේ ගස් ගල් වල පිහිටෙන්.. ඒ කිව්වේ ගස් ගල් වලට මුවා  වෙමින් බඩගාමින් ගරිල්ලා මෙහෙයුමක් දියත් කරමින්.. ඒකට හේතුව නර්මදාව ඇරලවන්න උන්ගේ අයියා ඇවිත් උන්නා .. අසේල එක්කටත් වඩා උන්ගේ අයියා අමනාපෙන් උන්නේ මාත් එක්ක.. මගේ දිහා බැලුවේ හරියට උන්ගේ නංගිව බලෙන් අරගෙන ගිහින් අසේලට බන්දලා දෙන්න හදන ත්‍රස්තවාදියෙක් දිහා බලන ගානට .. ඒ බැල්ම නොවැටෙන්න මම හැකි තරම් ප්‍රවෙසම්වුනා ..

අවසානයේ අයියා ගිය ගමන් ලියමනත් එලියට අරගෙන නර්මදාගේ අතින් තියන්න අඩි දෙක තුනක් තියෙද්දීම මාව දැක දැකම මේ උන්දැ නැග්ගේ නැතෑ බස් එකට... මගේ උත්සාහය අපතේ ..!!

ඒත් මාව දැක දැකම බස් එකට නැග්ග එක ගැන මට අරුමයක් නොවුනේ ඒ කාලේ අසේල එක්ක යාළුවුන අලුතම වුනත් අසේලව දැක දැකම තබේකට මායිම් නොකර මේ උන්දැ බස් වලට ගොඩවෙනවා මම ඇති පදම් දැකලා තියෙන නිසාමයි ..

එදාට පස්සෙත් මට දවස් ගානක්ම හරියකට නින්දක් ලැබුනෙම නැහැ.. හැමදාම ලන්ච් ටයිම් එකට අසේල ඇමතුම් අරගෙන දුක් ගැනවිල්ල කියන්න ගත්තා..මම පාන්දර දෙකට ඇහැරගෙන ඒවා ඇහුව...,

කොහොමින් හරි මේ වැඩේ ඉවරයක් දකින්න ඕනේ කමටම මම දවස් ගානක් මහන්සි වෙලා කොමිනිකේෂන් එකක දැරිවියෙක් ලව්වා හත් අට වතාවක් ඇමතුම් අරගෙන දවසක් සම්බන්ද කරගත්තා දුරකතනයට නර්මදාව ..

“හෙලෝ නර්මදා මේ මම චමී..

“ආ චමී කියන්න ඇයි....”

“මම එදා ඔයාට අසේලගෙන් ලියුමකුත් අරගෙන ආවේ ..ඔයා මම එනකොටම බස් එකට නැග්ගා ..

“හ්ම්ම් ..මම දැක්කා ඔයා කොලයකුත් අරගෙන මගේ පැත්තට එනවා.. , ආයේ එහෙම එන්න එපා චමී මට ක්ලාස් යන්නත්  පරක්කු වෙනවා ඔය වැඩ හින්දා  ඔය ලියුම විසි කරලා දාන්න ...

“එහෙම හරි නැහැනේ අසේල පව්නේ.. මම ලබන ඉරිදට අරගෙන එන්නද ...”

“ඔයාට පිස්සුද මම එන්නේ අයියත් එක්ක ..”

“මම අයියා ගියාට පස්සේ දෙන්නම් ..”

“බස් එකක් ආවොත් මම නගිනවා එයිට කලින් දෙන්න පුළුවන් උනොත් බලමු.., අනික ඔය අසේලව අපේ ගෙදර අයට පෙන්න බැහැ.. රට ගියයි කිව්වට කවුද දන්නේ ඔය කොහෙහරි රටකත් රස්තියාදු වේවි ඇති ..”

තව දුරටත් නර්මදා ගැන බලාපොරොත්තු තියාගන්න එක තේරුමක් නැතිබව මට තේරුනත්  ඒක අසේල පිළිගන්න කැමතිවුනේ නැහැ .. බැලු බැල්මට වංගෙඩියයි මෝල් ගහයි වගේ පෙනෙන මුන් දෙන්නගේ අදහසුත් එයිට වෙනසක් නැතිව තියෙද්දී අසේල මේ තරම් නර්මදාට වහ වැටුන කරනවා ඒ කාලේ මටත් ගැටලුවක්වුනා.. සමහර විට කර්මය කියන්නේ එකට වෙන්න ඇති, ලබා උපන් හැටි බබා කෙටු හැටි කියන්නෙත් එකටම වෙන්ට ඇති මයේ හිතේ ..

මෙහෙම කාලේ ගෙවීගෙන යනකොට දවසක් හරි පුදුම අත්දැකීමක් ලබන්න මටත් හැකිවුණා දුර ගමනක් ගිහින් එන ගමන් හදිසියේ එල්ලුන බස් එකේ පස්සෙම ෂිට් එකේ මෙන්න නර්මදා  ඉන්නවා වෙන කොල්ලෙක්ට තුරුළුවෙලා.. දැක්ක දෙයින් ඇස් අදහගන්න බැරි වුනත් මම ඊලග නැවතුමෙන්ම බසයෙන් බැහැගත්තේ නර්මදා මාව දකින්න ඉස්සර ...

පස්සේ හොයා බලද්දී දැනගන්න ලැබුන විස්තර අනුව මේක බොහොම කාලේක ඉදලා තියෙන සම්බන්දයක්..දෙන්නම එකම පංතියේ ඉගෙන ගන්නේ.. ඒත් මේ විස්තර අසේලට කියලා අඩා වැලපෙමින් ඉන්න උගේ හිත තව තවත් දුර්වල කරන්න මට හිත නොදුන්න නිසා මමත් සද්ද නැතුවම උන්නා.. ඒකෙන් උනේ දිගින් දිගටම අසේලගේ රාත්‍රියේ ලැබෙන ඇමතුම් ගණන වැඩි වීමයි ..මගේ නින්ද අඩු වීමයි විතරයි...

මේ තවත් දවසක්..

“හෙලෝ චමි...”

“ඔව් අසේල කියපන් ..”

“තව දවස් දෙක තුනකින් කෙනෙක් උබලගේ ගෙදරට පාර්සලයක් ගෙනත් දෙයි ..ඒක නර්මදාට ගෙනිහින් දීපන් .”

“ඒ ගමන ලියුම් පාර්සලයක් එව්වද .. දැන් ඕක නවත්තපන් බං ඕක කෙරෙන වැඩක් නෙමේ ..”

“ප්ලීස් බං මේක ගිනිහින් දීපන් ..මේ ලියුම් නෙමේ ...”

“එහෙනම් මොනවද “

“දියමන්ති පෙට්ටියක්...”
_________________________________________________________________________________
තවත්  දින ගානක උත්සහයකින් පසුව නර්මදාව දුරකතනයෙන් සම්බන්ද කරගන්න මට අවස්ථාවක් ලැබුනා..

“හෙලෝ නර්මදා ...

“ආ චමි.. මම දැක්කා ඔයා දවසක් දෙකක් බස් හෝල්ට් එකේ ඉන්නවා.. අනුන්ගේ ලියුම් අරගෙන රස්තියාදු වෙන්නේ නැතුව වෙන වැඩක් කරගන්න චමි ..”

“ නෑ නර්මදා අසේල ඔයාට දෙන්න කියලා දෙයක් එව්වා මේ ඉරිදට මම අරගෙන  එන්නම් ටිකක් ඉන්න පුලුවන්ද

“අපෝ මේ ඉරිදටනම් ඔය මනුස්සයාගේ ලියුම් හෑලි උස්සගෙන එන්න එපා ..මට මේ ඉරිදා එක්සෑම් එකකුත් තියෙනවා.. මට බස් හෝල්ට් එකේ පරක්කු වෙන්න බැහැ..වෙන දවසක බලමු ..”

“නෑ..නෑ. නර්මදා මේක ලියුමක් නෙමේ ..ok  මම වෙන දවසක එන්නම් ..”

“ලියුමක් නෙමේනම් මොකක්ද ..”

“පෙට්ටියක්...”

“පෙට්ටියක් මොන පෙට්ටියක්ද ..”

“පුංචි දියමන්ති පෙට්ටියක් ...”

“දියමන්ති ...”

මද වෙලාවක් යනතුරු නර්මදාගෙන් සබ්දයක් ඇසුනේ නැත .. ඒ කාලය විනාඩියක් පමණ වේ ඒ බැවින් මනුෂ්‍ය සිතක පරිවර්තනය වීමට ගතවන කාලය විනාඩියකැයි මා සිතාගතිමි ..

“චමි එහෙනම් ඔයා මේ ඉරිදට එන්න ....”

“මේ ඉරිදට ඔයාට එක්සෑම් නේද මම වෙන දවසක එන්නම් එහෙනම් ..”

“නෑ කමක් නැහැ මේ ඉරිදට එන්න..”

“අයියා හිටියොත්..”

“ඒකට කමක් නැහැ මම අයියා යනකන් බස් එකට නගින්නේ නැතුව ඉන්නම්..”

“එතකොට ඔයාට එක්සෑම් එකට පරක්කු වෙයිනෙ...”

‘එක්සෑම් එකට ටිකක් පරක්කු උනාට කමක් නැහැ.. මම ඉන්නම් ඔයා එනකන් ..”

“හරි එහෙනම් මම ඉරිදට එන්නම් ..”

“හා චමි වරද්දන්න එපා මම බලාගෙන ඉන්නවා බස් හෝල්ට් එකේ ..”
______________________________________________________________________________

එදායින් පසු දිනෙක නර්මදා මට කතාකොට අසේලගේ විදේශ දුරකථන අංකයද ඉල්ලා ගත්තේය.. එයින් පසු 
අසේලගෙන් මට නිතර නිතර ලැබෙන ඇමතුම් අඩුවී ගිය අතර.. මෙතෙක් කාලයක් අසේලට දැඩි අකමැත්තක් දැක්වූ නර්මදාගේ මාපියන් දැන් ඔහුට දැඩි කැමැත්තක් දක්වන බවද දැනගන්නට ලැබුණි .. සමහර විට දියමන්ති වලින් ඔවුන් අසේලගේ වර්තමාන වත්කම් තීරණය කරන්නට ඇත..

මේ දියමන්ති තාග්‍යය ලැබී මසකට පමන පසු අසේල ලංකාවට පැමිණ දෙපාර්ශයේම අසිර්වාද මැද නර්මදාව විවාහ කරගත්තේය.. පසුව දෙදෙනාම විදෙස්ගතවිය.. අදද මේ දෙපල කොහේ හෝ රටක සතුටින් ජිවත් වනවා ඇත ..

මේ විවාහයෙන් මාස කිහිපයකට පසුව දිනක් සාදයකදී  මට අමුත්තෙක් හමුවිය දුටු විගසම මට ඔහු හැදින ගැනීමට අපහසුවුයේ නැත .. ඔහු නර්මදා සමග බසයේ තුරුළුව ආ තරුණයාය .. ඔහු හා කතාවට වැටුණු මා  ඉදිරියේ ඔහු සියල්ලම දිගහැරියේය ඔහු අහිංසකයෙකි...

නිවෙස් දෙකෙන්ම කැමැත්තෙන් සිට පසුව නර්මදා සහ ඔහුගේ පවුලේ උදවිය හේතුවක් නොමැතිව  එකවරම ඔහුට අකමැතිවූ අකාරය ඔහු මා ඉදිරියේ පැවසුවද එසේ වීමට හේතුව කුමක්දැයි ඔහු අදටත් නොදනී... එහෙත් ඒ සියල්ලටම හේතුව දියමන්ති තාග්‍යය බව මම ඔහුට පැවසුවේද නැත ..

එහෙත් මේ සිදුවීමෙන් පසු කිසිදා නොවිසදුන කලකිරීම මුසු පැනයක් මගේ සිතේ  පැලපදියම් විය.. එය නම්  ගැහැනුන්ගේ  ආදරය වැනි ප්‍රබල මානුෂික හැගීම් යටපත් කිරීමට තරම් මිල මුදල් මුතු මැණික් යන භෞතික වස්තුන් ප්‍රබල වුයේ කෙසේද යන්නය ..?????




11 September 2013

අපූරු ජන්ද අපේක්ෂකයා ..



ජන්දේ ගැන මට මුලින්ම අදහසක් ඇතිවුනේ ඉස්කෝලේ හයේ හතේ පංතිවල ඉන්න කාලේක.. දවසක් ඉස්කෝලේ අහවර වෙලා පාරට බහිද්දිම ඉස්සරහා තාප්පේ වැහෙන්නම ජන්ද පෝස්ටර් අලවල ඒවායේ එවුන්ගේ හිනාව එකෙකුට එකෙක් දෙවෙනි නැහැ, එහෙමත් එකෙක් තමයි  දත් දෙක තුනක් පෙන්නලා හිනා වෙලා උන්නේ අනිත් හැමෝම දත් තිස් දෙකට ආසන්න ගානක් හිනාවෙන් ප්‍රදර්ශනය කරලා තිබුනා .. කොහොම උනත් ඒ හිනා මුණු වලට ඒ කාලේ මම ප්‍රිය කළා.. පස්සේ තමයි දැන ගත්තේ උන්දැල ඒ හිනහා වෙන්නේ අපිටමයි  කියලා .මුලින්ම පෝස්ටර් වලින් හිනහව පෙන්නලා පස්සේ ජන්ද වරමින් පාර්ලිමේන්තුවට රින්ගුවට පස්සෙත් උන්දැල කලේ අපිව හිනස්සන එක විතරමයි...

පස්සෙන් පහු අපේ ගම් පළාතෙත් උන්දැල එක්කෙනා දෙන්නා පුංචි ජන්ද වලට ඉදිරිපත් වෙලා ප්‍රාදේශීය සභා වගේ එව්වට ගියා .. සල්ලිය බාගේ යහමින් තියෙන උන්දැල නම් ඉන් පස්සේ බලය හොයාගෙන දේශපාලනේට පය තිබ්බට මොකද එදා වේල හොයාගෙන කන සමහර උන්දැලත් ඇමතිලා මන්ත්‍රීලා පස්සේ දුවලා ජන්දේ ඉල්ලන්න ඉදිරි පත්වෙන එක ගැන  ඒ කාලේ හැටියට මගේ හිතේ ඇතිවෙලා තිබුනේ ලොකු ගැටලුවක් සමහරුන් තියෙන රස්සාව පවා නැති කරගෙන දේශපාලනේට ගිහින් ගමට වැඩ කරන්න වෙහෙසෙන්නේ ගමට තියෙන ආදරේටයි කියන වැරදි වැටහීම මට ඇතිවෙලා තිබුනට මොකද පස්සේ කාලෙක මම තේරුම් ගත්තා දේශපාලනය කියන්නෙත් හොද බිස්නස් එකක් තමයි කියන එක .. වැඩේ හරියට කලොත් තමන් විතරක් නෙමේ හත්මුතු පරම්පරාවම ගොඩ... ඒ ගමන් ඔය ඉදලා හිටලා පාරක් පාලමක් හැදුවම හොදටම ඇති ..

මෙන්න මේ කාලේ අපේ ගම් පළාතේ අපුරු ජන්ද අපේක්ෂකයෙක් හිටියා උන්දැ ගැන තමයි මේ කතාව ,

එදයි අදයි කියලා වැඩි වෙනසක් නැහැ මම මුන්දැ ගේ නම හරියට කිව්වොත් එහෙම ලංකාවේ ඇතුලත නොඅදුනන කෙනෙක් නැති තරම් . ඒ තරමටම මෙතුමා ජනප්‍රිය ධනවත් ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙක්. ආචාර්ය මහාචාර්ය වැනි නම්බු නාම පට්ටම් වලින් පිදුම් ලැබුවෙක්. ඒ කාලේ මම හිතාගෙන උන්නේ ආචාර්ය වරයෙක් මහාචාර්ය වරයෙක් වෙනවා කියන්නේ මොකක්හෝ විෂයකින් පරතෙරට පැමිණියෙක් කියලයි  ඒත් පස්සේ කාලේක මට තේරුණා ඒක මගේ වැරදි අදහසක් කියලා . මුදල් තියේනම්  ඔය පට්ටම් ඕනෑ තරම් අරගෙන නමට ඉහලින් එල්ල ගත්තෑකි හරිම සරලයි.. 

මෙතුමා එදාට වඩා අද ජනප්‍රියයි කිව්වොත් හරි.. ඒ හේතු කාරණා උඩ මට උවමනාවෙන්ම එක්තරා සීමාවක් සහිත රාමුවක සිට මේ ලිපිය ලියන්න සිදු වෙනවා.. මොකද නැත්නම් සුදු වෑන් රථයක අසුන්ගෙන  යන්න මගේ කිසිම කැමැත්තක් නැහැ නෙවැ.

මෙතුමාගේ අපූරු ක්‍රියා කලාපයක් තිබුනා.. සමහර විට මතු අනාගතයේ ජන්දේ ඉල්ලීමේ බලාපොරොත්තු ඇතිව එහෙම කළා වෙන්නත් පුළුවන් ඒ කොහොම වෙතත් ඒ කරපු දේවල් මෙතුමාටම පමණක් ආවේනික වෙච්ච දේවල් හැටියටම තමයි අදත් මම දකින්නේ... ආයේ ඉතින් මේවා වෙන කවුරුත් කරලත් නැහැ කරන්නෙත් නැහැ වන් ඇන්ඩ් ඔන්ලි අපේ කතා නායකයාගෙන්ම පමණයි .

වෙසක් කාලේට දෙන දන්සැල් වලින් බහුතරයක් උදවිය දැකලා ඇත්තේ කෑම, සිසිල්පැන්, තේ පැන් ඇතුළු බිම වර්ග හෝ මල් පහන් දන්සැල් විතරක් වෙන්ටැති... ඒත් අපිනම් සල්ලි දන් සැලුත් දැක්කා ඒ ඉතින් අපේ මෙතුමාට පින් සිද්ද වෙන්න .. අපරාදේ කියන්න බැහැ අහල ගම් හත අටක ගෑනු මිනිස්සු පෝලිම් ගැහිලා උන්නා දන්සැල වැද  පුදාගන්න  පෝලිම් ගැහිලා උන්නු මිනිසුන්ව අන්ඩු මට්ටු කරන්නත් වෙනමම ආරක්ෂකයෝ කිහිප දෙනෙක්ව යොදවන්න සිදුවුණා   .. නැත්නම් පොඩ්ඩ එහා මෙහා වෙද්දී ගුටි ඇනගෙන හරි පෝලිමේ ඉස්සරහට පැනලා මුල්‍යමය දානය ලබාගෙන පින් අනුමෝදන් කිරීමේ පරම පවිත්‍ර චෙතානාවෙන් හැමෝම මුසපත් වෙලයි උන්නේ ..  ඒ සංදියේ මම හිච්චි ගැටයා නැත්නම් ඔය පෝලිම් කෙළවරක මටත් ඉන්ට තිබුනා ..

 මාරු කාසි අහුරක් දෙකක් එහෙමත් නැත්නම් රුපියල් විස්සේ පනහේ කොල වලින් අතට අහුවෙන තරමේ අහුරක් මේ දන්සැලින් ලබා දුන්නා.. කාලේ හැටියට ඒ ලැබෙන මුදල හොදටම ප්‍රයෝජනවත් පැයක් දෙකක් පෝලිමේ ලැගල උන්නාය කියලා කාටවත් පාඩුවක් නැහැ මේකද මම මේ කියන කාලේ කියන්නේ පාන් රාත්තලක් රුපියල් තුනයි පනහට තුබුන කාලේ .. ඉතින් එහෙව් කාලේක මාරු කාසි අහුරු දෙක තුනක් නෝට්ටු අහුරක් ගන්න ආව මිනිස්සුන්ගෙන් දන්සැල් පෝලිම කිලෝමීටරයකටත් වඩා දික් වුනා කියන එක පුදුමයක් නෙමේ.. අද කාලේ මහා බත් දන්සැලකවත් මම එහෙව් පෝලිමක් දැකලා නැහැ.. කොහොම හරි ඔය වගේ දන්සැලක් අවසන් කරන්නේ මුන්දැගේ අතින් ලක්ෂ හය හතක් දන්දීලා අහවර කලාට පස්සෙයි. ඒකත් විශාල පිනක් නෙවැ.. බලමුකෝ ඒ පින් හේතු වල බල මහිම ඇතිවෙයිද කියලා ජන්දේ දිනන්න.. ඒක දැනගන්න වෙන්නේ අන්තිමට..

ඉතින් ඔය විදියට මහා දාන මාන පිංකම් වලට මෙතුමා ලෝබ නැතුව අත දිගහැරලා වියදම් කරන කාලේ අපේ පල්ලියේ සමිති සමාගමකින් කරන ව්‍යාපෘතියකට මුදල් අඩු පාඩුවක් වෙලා ඒක පියවා ගන්න අපි පිරිසක් සංවිධානය වෙලා  විදී නාට්‍යක් කලා.. මේ නාටකය රගදක්වන්නය කියලා අලුතින් නළු නිලියෝ හොයන්න ඕනේ වුනෙත් නැහැ සමිතියේ සාමාජිකයෝ වෙච්චි අපිම තමයි නළුවෝ උනෙත්...

විදී නාට්‍යක් යැයි කීවට අපි මේක කිසිම විදීයක නම් රගදෑක්වුයේ නැහැ.. ඒකට අපි තෝරාගෙන තිබුනා ධනවත් ව්‍යාපාරික නිවෙස් කිහිපයක්  ඒ නිවෙස් වලට ගොස් ඒ උදවියට විතරයි මේ නාට්‍යය පෙන්නුවේ.. ඉතින් අපිට ඒ ගෙවල් වලින් අත දිග ඇරලා ආධාර කළා.. ඒ අපේ නාට්‍ය ලස්සන නිසාම නොවේ  පල්ලියේ පියතුමා ඒ නිවෙස් කිහිපය දැනුවත් කරලා තිබුන නිසා හැකි පමණින් අපට  ආධාර කරන්නය  කියලා..

අපි මෙහෙම තෝරාගෙන හිටිය නිවෙස් අතරින් අද මගේ කතානායක ප්‍රභූ වරයාගේ බංගලාවත් ප්‍රධාන ඉලක්කයක් වෙලා තිබුනා .. අපිට වෙන් කරලා දීලා තිබුන දවසේ  අපේ කණ්ඩායමමගියා මේ ගෙදරටත් නාට්‍ය රගදක්වන්න. අපරාදේ කියන්න බැහැ උන්නැහේ අපිව බොහොම හොදට පිළිගත්තා විතරක් නෙමේ කෑමෙන් බිමෙනුත් හොදට සංග්‍රහ කරලා එහෙම අන්තිමේදී කිව්වා ...

“හොදයි පුතාලා දැන් එහෙනම් නාට්‍ය කරන්නකෝ ..හැබැයි රගපෑම් නම් සුපිරියට තියෙන්න ඕනේ ...”

උන්නැහේ එහෙම කියලා කට ගන්න හම්බ උනේ නැහැ, අපේ කොයිකටත් පණ්ඩිත ජනකාන්ත අයියා ගේ කට හැමතැනකදිම වගේ මෙතනදීත් අනිත් අයට වඩා ඉස්සරවුනා ..

“ආයෙත් අහලා අංකල්.. දෙන්නම් ආයේ ඇස්ටි හැලෙන්න ...”

අපි බලාගෙන ඉන්නැද්දි උන්නැහැගේ මුණ වෙනස් වුනා ඉස්සෙල්ලා තිබුන කුලුපහ හිතවත් ගතිය වෙනුවට ඒ මුනට ආරුඩවුනේ අපිව බියපත් කරවන තරමේ නපුරු පෙනුමක්.. කම්මුල් කේන්තියෙන් වෙව්ලන්න ගත්තා ..

“අංකල්.. කවුද යකෝ අංකල්.. මම තමුසේගේ අංකල්ද..ඈ ..කතාකරනවා ,

ලොක්කා ජනකාන්ත දිහාටම ඇගිල්ල දික්කරගෙන කෑගහන්න ගත්තා, ජනකාන්ත විතරක් නෙමේ ඒවෙලාවේ උන්දැ යකෙක් වගේ හැසිරුනු හැටියට අපි හැමෝමත්  බයවුනා...

“නෑ..නෑ,, අංකල් නෙමේ මට සමාවෙන්න සර්.සර් .” 

හොදටම බයවෙලා උන්නු ජනකාන්ත අයියා වෙව්ල වෙව්ලා ඒ වෙලාවේ උත්තර  දුන්නු ආකාරය  බලාගෙන හිටි අපි හැමෝගෙම හිත්වලට  දුකක් එක්වුනා කිව්වොත් මම වැරදි නැහැ..

“ඕයි..මිනිස්සුන්ගේ තරා තීරම බලලා ඒ විදියට ගරු නම්බු දීලා කතාකරන්න පුරුදු වෙනවා මින් පස්සෙවත් ..තේරුනාද ?..

“එහෙමයි සර් ..තේරුනා ...”

තව දුරටත් එතුමා නොනවත්වා අපිට බනින අතරේ.. තවදුරටත් ඉවසගෙන ඉන්න පුළුවන් කමක් අපිට තිබුනේ නැහැ ඒක නිසා ඕනෑ දෙයක් වෙත්දෙන් කියලා අපි එහෙම්මම හැරිලා බැස්සා එලියට.. තෙමහල් නිවසේ දෙමහලේ ඉදලා පඩි පෙළ බැහැලා ගේට්ටුව ලගට යනකොටම ආරක්ෂකයෝ දෙන්නෙක් ඇවිත් අපිව නැවැත්තුවා ..

“එක්කෙනෙක්වත් යන්න එපා .. ඔක්කොටම ආයේ මහත්තයා එන්න කිව්වා ..

ආරක්ෂකයෙක් එහෙම කියද්දී නම් මම හිතාගත්තා මේ පාර නම් හොද හෝටලේකින් බඩ කට පුරා කෑමක් දෙන්න තමයි හදන්නේ කියලා .එත් පෙර කල පිනකට  එහෙමවුනේ නැහැ ..

“හරි .දැන් වෙච්ච දේවල් අමතක කරලා ඔයාලා නාට්‍ය කරන්න ...”

අපිත් හිත යට තිබුනා අමනාපේ උඩට නොපෙන්වා නාට්‍යය කරලා ඉවරවෙලා පිටත්වුනා.. අපිට සැලකිය යුතු මුදලකුත් ලැබුනා  ..

ඒ මෙතුමාගේ මාන්නය පෙන්වපු එක අවස්ථාවක්..

ඊට පස්සෙ කාල වලදීත් අපිට සමිති සමාගම් වල අවශ්‍යතාවයන් වලට එතුමාගේ කාර්යාලයට යන්න වෙච්ච අවස්ථා තිබුනා , එත් පිරිමි පාර්ශවයේ කෙනෙක් ගිය අවස්ථා වලට වැඩේ සාර්ථක වුනේ නැහැ දවස් තුන හතර රස්තියාදු වෙන්නවුනා ඒකටත් අපි සාර්ථක පිලියමක් හොයාගත්තා ඒ තමයි සමිතියේ හිටිය හොදට ඇහැට කනට පේන තරුණියක්ව මේ වැඩේට යොදාගත්ත එක. වැඩේ සාර්ථකයි ඉන් පස්සේ දවස් ගණන් රස්තියාදු වෙන්න වෙච්ච වැඩ එක දවසෙන් අහවරයි.. ඒක හරි සිම්පල් ප්ලෑන් එකක් .. 

ඉදලා හිටලා ගමේ පාරේ තොටේදී මෙතුමාව දැක්කොත් ආයේ දෙපාරක් නෙමේ  තුන් හතර පාරක් හැරිලා බැලෙනවා.. වැරදියට වටහා ගන්න ඕනේ නැහැ ඒකටත් හේතු  තියෙනවා . එක්කෝ මෙතුමා ඉන්නේ අස්පයෙක් පිටේ, එහෙම නැත්නම් අස්ප කරත්තෙක හෝ හැඩ වැඩ දැමු  අන් දිග ගොන් කරත්තෙක.. ඉද  හිට අලියෙක් පිටේ යන අවස්ථාද නැතුවම නෙමේ..  

ගමන බිමන එහෙම වෙද්දී නිවසේ තියෙන බොහොමයක් බඩු භාණ්ඩ එහෙමත් රජ සිටු වරුන්ගේ හා සමානව නිර්මාණය කරවලා තිබෙනවා යැයි පැවසෙනවා... ඒකට හේතුව මෙතුමා රජවරු සිටුවරු නිලමේ වරුන්ට වැඩි ඇල්මක් දක්විමම තමයිලු  .

ඒ බව දන්නා බංගලාවේ ආවතේව කාරයෙක් උපායක් යොදාගෙන මඩිය තර කරගත්තු කතාවකුත් තියෙනවා (ලු).. මිනිහා කරලා තියෙන්නේ මෙතුමා එක්ක ඉද  හිට කතාවට වැටෙන්න අවස්තාවක් ලැබුන ගමන් මෙතුමාට රජතුමණි කියන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කිරීමට පෙළබිම.. එහෙම අමතන වාරයක් පාසා මුදල් නෝට්ටු කිහිපයක් ආවතේව කාරයාගේ අතේ තියන්නටත් මෙතුමා පසුබට වෙන්නේ නැහැලු ..

දවසක් මෙහෙම මෙතුමාට රජතුමණි කිය කියා ආමන්ත්‍රණය කර කර හිටි ආවතේව කාරයාට මොකක්දෝ උවමනාවකට මෙතුමාගේ බිරින්දෑ කතාකරලා තියෙනවා .. ආවතේව කාරයත් ගිය ගමන්ම අර ගැම්මෙන්ම ඇයි බිසවුන්නාන්සේ මට එන්න කිව්වේ කියලා අහලා... ඔය රජ කතාව ගැන අමනාපෙන් හිටිය බිරින්දෑට ඒක පාරම මේ මිනිහා බිසවුන්නාන්සේ කියපු එකට අසුහාරදාහටම නැගල “කොහෙද මනුස්සයෝ මෙහෙ රජවරු බිසෝවරු ඉන්නේ ..උබටත් පිස්සු උබේ මහා එකාටත් පිස්සු ...” කියලා ආවතේව කාරයව පන්නගෙන තියෙනවා..     දවසක් හොදම නැටුම් තෙල් වලින් සප්පායන් වෙච්ච ආවතේව කාරය ඕක ගම පුරාම කියව කියව ගියාලු හරි උජාරුවෙන්..


කොහොමින් කොහොමින් හරි පුංචි ජන්දයක් ලංවෙද්දි මෙතුමාත් ඒකට ඉල්ලුම් කලා.. බොහෝ උදවියට වගේම ධනයෙන් අඩුපාඩුවක් නැතිවුනාම බලය ලබාගැනීමේ ආශාව කියන සම්මතය තමයි මෙතනටත් බලපෑවේ  එහෙම නැතුව මෙතුමා දේශපාලනයෙන් හරි හම්බ කරගන්න  අදහසකින් ජන්දෙට ඉදිරිපත්වුනා කියලනම් හිතන්න අමාරුයි .

මෙතුමා ජන්දෙට ඉදිරිපත්වුනදා ඉදලම මේ බංගලාව මිනිස්සුන්ගෙන් පිරුනා කොයිවෙලෙත් මිනිස්සු හත් අටසීයක් ගෙදර ඉස්සරහා වත්තේ හිටියාමයි .. පෝස්ටර් ගහන්නද කැන්වස් යන්නද ස්ටේජ් ගහන්නද ඕනේ තරම් සෙනග උදව් කාරයන්ගේන්නම් කිසිම අඩුපාඩුවක් නොතිබුන ජන්ද අපේක්ෂකයෙක් කිවොත් හරි ... පෝස්ටර් වලින් පැය කිහිපයක් ඇතුලත මුළු පළාතේම තියෙන තාප්ප බිත්ති ටික වනසලා දන්නා පුළුවන් විදියේ කඩිසර ජනකායක් හිටියේ කොයිතරම් සෙනගක් හිටියත් මෙතුමා ඒ ඉන්න හැමෝටම හොදට සැලකුවා ..තුන් වේල කන්න බොන්න දුන්නා. ඒ විතරක්නම් මදෑ හැම කෙනාටම දෙතුන් සීය ගානේ බෙදලත් දුන්නා දවස ගානෙම මේ තරම් සෙනගක් පැල පදියම් වෙන්න හේතුවත් ඒකම තමයි .

මේ අයට මුදල් තෑගී බෙදලා දුන්නේ හරි පරිස්සමට කාවවත් මග නොඇරෙන්න ඒකට හොද ක්‍රම වේදයක් භාවිතා කලා මෙතුමා,  ඒකට යොදාගෙන තිබුනේ ඇතුල් වෙන්න සහ පිට වෙන්න දොර දෙකක් සහිත කාමරයක් එක දොරකින් පෝලිමේ සෙනග ඇවිත් එකා ගානේ කාමරේට ඇතුල්වෙලා මුදල් හෝ  තෑගී අරගෙන එහෙම්මම අනිත් දොරෙන් පිට වේලා යනවා.. කටවත් අසාධාරණයක් වෙන්නෙත් නැහැ හැමෝටම ලැබෙනවා එක්කෙනෙක්ට දෙපාරක් එන්නත් බැහැ.. කොහොමද වැඩේ ..

කොහොම හරි ජන්ද දිනය ලංවෙද්දි මෙතුමා ගණන් හදලා අනුමාන කලා මනාප මෙච්චරක් විතර ප්‍රමාණයක් අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනේ කියලා .. මම හිතන්නේ හැම අපේක්ෂකයම එහෙම බලනවා ඇති . මෙතුමා අරගෙන බැලුවම දැනට සහයට ඉන්න ජනතාවම විතරක් මනාප තුන ගානේ දුන්නොත් එතනම මනාප බරගානක් තියෙනවා , ඒ විතරක්ඈ උන්දැලගේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ මනාප තව ගමේ නිතර යන එන උදවියගේ මනාප එහෙම එකතු කරලා බැලුවම මෙතුමා දැනටම ජන්දේ දිනලා ඉවරයි මනාපම තියෙන්න ඕනේ බරගානක්.. ඉතින් මෙතුමා බොහෝම සතුටින් ජන්දේ දවස ගතකලා ..

පහුවදා ජන්ද ප්‍රතිපල බලද්දී මෙතුමා උඩින්ම පරාදයි..අර කියන්නේ ඇපත් නැහැ කියලා ආන්න එහෙමයි . ලැබිලා තියෙන මානප සංක්‍යාව ගණන් හදලා බලපුවාම ලගම හිටීය සහායකයන්ගෙන් ලැබුණානම් තියෙන්න ඕනේ ගානටත් වඩා මනාප සංක්‍යාව අඩුයි.. මගේ හිතේ අර ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ වැඩක් වෙලා තියෙන්නේ අරූ දායි මූ දායි කිය කියා හිතාගෙන හැමෝම වෙන වෙන උන්ට ජන්දේ දාල ...

කොච්චර අන්ත පරාජයක් ලබලා හිටියත් මෙතුමා මුනෙන් දුකක් කනගාටුවක් පෙන්නුවේ නැහැ කාටවත් ජන්දෙන් පස්සේ දවසෙත් වෙනදා වගේම හැමෝටම එන්න කියලා කිව්වා තෑගී දෙන්න .. මිනිස්සුත් ඉතින් ඔක්කොම ඇවිත් වෙනදා වගේම පෝලිමේ එක එකා වහලා තිබුන දොරෙන් කාමරේට ඇතුල්වෙලා එහා පැත්තේ දොරෙන් පිට වේලා එහෙම්මම පාරට බැහැලා ගියා... ඒත් වෙනදා වගේ සන්තෝෂ පාටක්නම් මුණු වල පෙනෙන්න තිබිලා නැහැ..

මොනවාද දන්නවද අන්තිමට දීලා තිබුණ තෑග්ග...






මුණ  පුරෝලා කම්මුල් පාරක්...



වෙනදා වගේම කාවවත් මග නොහැර හැමෝටම හොදට රිදෙන්න පාර දීලා තිබුනා .. ගුටි කාලා එලියට බැස්ස උන් ආයේ කාටවත් කියන්න ගියෙත් නැහැ ගිමිට කම්මුල අතගාගෙන ගෙදරම ගියා මිසක ...

ඔන්න ඔහොමයි පුංචි ජන්දයක් අහවරවුනේ එයින් පස්සේ මෙතුමා ආයේ කවදාවත් ජන්දේ ඉල්ලන්න ගියේ නැහැ ඒ මේ වෙච්ච නව නින්ගිරාව මතකේ තියෙන නිසාම වෙන්න ඇති , අද මෙතුමාගේ එක වියාපාරික ව්‍යාපෘතියක් නිසා කුඩා ළමුන් පාසල් සිසුන් හා තරුණ තරුණියක් ප්‍රයෝජනයක් ලබනවා සතුටු වෙනවා අන්න ඒ වැඩේටනම් මමත් මනාපයි

________________________________________________________________
ප.ලි :- මෙතුමා කව්දැයි ඉගියකින් හෝ අදුනාගත් කෙනෙක් සිටිනම් කෙලින්ම නම නොකියා ඉගියක් පමණක්ම කරන ලෙස ඉල්ලා සිටිමි.  
















You might also like:

Related Posts Plugin for WordPress, Blogger...