19 November 2012

ජිවිතයට වඩා ආදරය උතුම් කොටගත් මිනිසෙකුගේ අනුවේදනීය ප්‍රේම කථාව .!



මෑතක හදිසියේ කඩා හැලුනු මහා වරුසාවෙන් බේරෙන්නට ලගම තිබු වැසූ කඩ  පිලක් වෙත දිවය ගිය මට එහිදී අපුරු මනුස්සයෙක් හදුනාගන්න ලැබුනා වගේම කිසිදා නොඇසූ විදියේ අනුවේදනීය ප්‍රේම  කතාවක් දැනගැනීමේ අවස්ථාවද වැස්සට පින් සිද්ද වෙන්න ලැබුනා..

වැස්සෙන් බේරීමට මම එතැනට දිව යන විටම . බසයෙන් බැස මා මෙන්ම එතැනට දිව ආවේ වයස හැට පහක පමණ උවත් ප්‍රිය  මනාප  පෙනුමැති මනුස්සයෙක් .

තනි සුදු පැහැති කමිසෙකින් සැරසි හිසේ ජටාවක් ගැට ගසා සිටි මිනිසා බුලත් කහටින් අව පැහැවූ දසන් පෙන්වා සිනාසෙමින්  අප සිටි පුංචි ඉඩේ හැකි තාක් පසුපසට වී බිත්තියට හේත්තු වුනේ හිරිකඩෙන් බේරෙන්න උනත්  වන විතත් ඔහු බොහෝ තෙත බරිතව සිටියාමට ඔහු ගැන ඇති උනේ සියුම් අනුකම්පාවක්..

“ ගොඩක් තෙමිලා නේද මාමේ . මේ වැස්සත් දැන්මම පායන පාටක් නැහැ “

ඔව් පුතා මම අද එලියට බැහැලා තියෙන්නේ වැරදි වෙලාවක “

“ අංකල්  ඉන්නේ මේ ලග පාතකද මම ත්‍රීවීල් එකක් කතාකරගෙන ගිහින් ඇරලවන්නද”  මම එහෙම ඇහුවේ මේ වයසේ කෙනෙක් සීතලේ වෙව්ලමින්  ඉන්න එකෙන් අසනීපයක් හැදෙයිදෝ කියන බය නිසාමයි .

අනේ ඕන නැහැ ළමයෝ වැස්ස ටිකක් අඩු කලහම පුතා එයි මාව එක්ක යන්න මෙතනට “

අංකල්ගේ පුතා මොනවද කරන්නේ “

පුතා කිවේ මගේ නංගිගේ දරුවට පුතේ , මටමයි කියලා දරුවෝ නැහැ මම විවාහ උනේ නැහැ පුතේ “

 එහෙම කියලා ඔහු අමුත්තක් නොපෙන්වා සිනහ සුනත් .  සිනහව අතරේ දුක්බර කථාවක් හැංගිලා තියෙන විත්තිය මට තේරුනා .. මම තව තවත් ඔහුව දොඩමලු කලේ වැස්ස අඩුවෙන ලකුණක්වත් පෙනෙන්න නැති නිසයි

“ ඇයි මාමා  කාලේ කසාදයක් කරගන්න හිතුවේ නැත්තේ තනිකඩ ජිවිතේ හොදයි කියලාද  හිතුවද  “

බොහොම අහිංසකව  සිනාසුනු මිනිසා කඩ පිලේ වූ පුංචි බංකුවේ වාඩිවී අතොරක් නැතිව කඩා හැලෙන වර්ෂාව දෙස නෙත් යොමාගෙන කල්පනාවේ නිරත උනා .. ඔව් ඔහු මේ සැරසෙන්නේ දිගු කතාවකට මුල පුරන්න තමයි .

මම තනිකඩව ඉන්න හිතාගෙන උන්නු මිනිහෙක් නෙමෙයි පුතා . මමත්  කාලේ හීන  දැක්කේ කසාදයක් කරගෙන දරු මල්ලෝ හදාගෙන ජිවත් වෙන්න . එත් එක කාරණයක් හින්දා මට මේ හැමදේම එපා උනා ජිවිතේ කල කිරුනා . මොකක් හරි පුරුවේ කරපු දෙයක් උඩ තවම ජිවත් වෙනවා මිසක නැත්නම් මම මියැදිලා ගොඩක් කල් පුතා ..

අන්තිම වචන ටික කියපු විලාසයෙන් ඔහු ඉන්නේ ගොඩක් දුකකින් බව මට තේරුම් ගන්න අපහසු උනේ නැහැ..

ඕවා ගණන් ගන්න එපා මාමේ දැන් .. මමත් පටන් ගත්තේ වැරදි මාතෘකාවක් නේද .. “මට ඕන උනේ  කතාව එතැනින්ම නතර කරන්න  තව දුරටත් මේ මිනිසාව දුකට පත්කිරීමට මට හිත දුන්නේ නැහැ ...ඒත්,

නැහැ පුතා වැරදි මාතෘකාවක් නෙමේ .. කොහොමින් හරි කතාවට වැටුන හින්දා මම  කතාව කියන්නම් වැස්ස පායනකන් පුතා අහගෙන ඉන්න ..

“එයා හිටියෙ අපෙ ගෙවල් වලට ගෙවල් තුන හතරකට එහයින් පොඩි කාලෙ ඉදලම   දැන හැදුනුම් කමක්  තිබුනත් අපි අතරෙ හරියටම සම්භන්ධයක් පටන් ගත්තෙ මට වයස අවුරුදු විස්ස විසිඑක කාලෙදි … අපි ගොඩාක් ආදරේ කළා පුතා , එක දවසක්වත් නොදැක ඉන්න පුළුවන් කමක් අපිට තිබුනේ නැහැ ඒ තරම් ලොකු බැදීමක් අපි අතර තිබුනා

“ එහෙමනම් කොහොමද ඒ සම්භන්දේ නතර උනේ “

මිනිස්සු හරි කුහකයි පුතා .. අපි කවදා හරි මැරිලා යන්න ඉපදිලා ඉන්න මිනිස්සු කියලා හිතන්නේ නැහැ , කුලමල ජාති ආගම් භේද හිස් මුදුනේ තියාගෙන මිනිස්සු අනිත් මිනිස්ශසුන්ට කෙනෙහිලි කම් කරනවා එත් ඒවායින් අසරණ වෙන්නේ අනිත් අය.. හරියට මේ මම වගේ .

ඒ කොහොමද “ ඔහුගේ කතාවේ මුලක් මැදක් අගක් නොතේරුන නිසා මම එහෙම ඇහුවා ..

අපි ඒ ප්‍රදේශයේ ගොඩක් නම්බුකාර පවුලක් පුතා ..අපි හොද නම්බුකාර පරම්පරාවකින් පැවතෙන මිනිස්සු ඉඩකඩම් සල්ලිබාගේ ඇතිවෙන්න තිබුනා.. ගමෙන් තිබුණු කුබුරු යායෙන් බාගේකටත් වඩා අයිතිවෙලා තිබුනේ අපේ අප්පුච්චට .. මොනවා තිබුනත් හිතේ සතුටක් නැතුව ඇත්ද පුතේ ... මගේ සතුටට ගෙදර උදවිය විරුද්ධ උනා...

එහෙම කියපු මනුස්සයා ඔහුගේ අතේ තිබුණු පුංචි මල්ලෙන් බුලත් කොලයකුත් අඩුම කුඩුමත් අරගෙන එය සුදානම් කරනගමන් නැවතත් කල්පනාවට වැටුනා . ඔහුට නිදහසේ කල්පනා කරන්න ඉඩදී මම නිහඩ උනා...මොහොතකට ,

“පුතා දන්නවද කුලය ගැන .. ඔහු නැවතත් කටහඩ අවදි කළා ..

“ඔව් කුල ගැනනම් දන්නවා එත් කවුද දැන් ඕවා බලන්නේ “

හ්ම්ම් එහෙම කියන්න එපා පුතා දැන් කාලෙත් පරම්පරා කුලය  ඉස්සරහට දාගෙන ඉන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා .. එතකොට හිතල බලන්නකෝ ඒ කාලේ මිනිස්සුන්ගේ ඔය කුල භේදය කොයි තරම් ඉහලින් හිත්වල තිබුනද කියලා. අපිටත් උසස් කුලයක් තිබුණු මිනිස්සු එත් අනිත් මිනිස්සු වගේ මට කුලේ ගැන ආඩම්බර වෙන්න බැරි උනා . මම කුලවත්ව ඉපදුනු එක ගැන මම අදත් දුක් වෙනවා “

“ඇයි ඒ ....

මම කසාද බදින්න හිටි දැරිවි බොහොම පහත් කුලයක කෙනෙක් . එයා රදා කුලේ , අපේ පැත්තේ රෙදි හෝදන වැඩ තමයි එයාලගේ මහ උදවිය කලේ , අපේ ගෙවල් වල රෙදි හෙදුවෙත් උන්දලා තමයි.. උන්දලා අපේ ගෙවල් වලටවත් වැද්ද  ගත්තේ නැහැ උවමනාවකට ආවත් පිළිකන්න පැත්තෙන් තමයි ආවේ ... ඉතින් එහෙව් පව්ලකින් කෙනෙක් එක්ක හාද කමක් ඇති කරගෙන විත්තිය අපේ ගෙවල් වල උදවිය දැනගත්තම ඇතිවෙන තත්වේ තෙරේනවනේ  අපේ අප්පුච්චා මාව ගහලා මැරුවේ නැති ටික විතරයි ..

අපිට කවදාවත් මව් දෙමාපියන්ගේ ආශීර්වාදේ මැද්දේ එකතු වෙන්න ඉඩක් නොලැබෙන බව  අපි දෙන්නම සහ සුද්දෙන් දැනගෙන උන්නා.. මම දෙමාපියන්ගේ බහකට පිටින් ගියොත් මට තබ සතේක දෙයක් දෙන්නේ නැහැ කියලා අප්පුච්චා නිතරම දෙස් දෙවොල් තිබ්බා එත් මටනම් උන්දලාගේ දේවල් ගැන වටිනාකමක් කොහෙත්ම තිබුනේ නැහැ .. කාටත් හොරෙන් කසාදෙ කරගෙන පැනල යන්න මම උත්සහ කලෙත් නැහැ එහෙම කලොත් ඒ ඇත්තීගෙ ගෙදර උදවියගේ ජිවිත වලට කරදරයක් කරන බවකුත් මට ඉගියෙන් දන්වලයි තිබුනේ ..

අන්තිමේදී අපි දෙන්නම කථා කරලා තීරණයක් ගත්තා දෙන්නම එකට මැරෙන්න .

හෑ මැරෙන්න “ ඒ වචනේ ඇහෙද්දී මගේ ඇස් උඩ ගියේ ඉබේමයි

ඔව් පුතා එකට ජිවත් වෙන්න බැරිනම් එකට මැරෙනවා කියන තීරණේ තමයි අපි දෙන්නම උන්නේ ඒ තරමටම අපි අතර බැදීමක් තිබුනා ..

අන්තිමේදී අපි දෙන්නම එකග තාවෙකට ආව ... මම මැහි තෙල් බෝතලයක් ගෙනත් මම භාගයක්  තියාගෙන ඉතිරි බාගේ එයාට දුන්නා අපි දෙන්නම ගෙවල් වලට ගිහින් වෙලාවක් නියම කර ගත්තා හරියටම එකම වෙලාවට වස බොන්න .. අපි වස බිව්වා..

එත් මම බලාපොරොතු වෙච්ච දේ නෙමෙයි උනේ .. ගෙවල් වලින් මාව ඉස්පිරිතාලේ අරගෙන ගියා මාස ගානක් දුක් වින්දා දෙමව්පියෝ පුළුවන් තරම් සල්ලි වියදම් කරලා මාව ගොඩගත්තා .. මම පන වගේ ආදරේ කරපු කෙල්ල ඉස්පිරිතාලෙක ගොඩක් දුක් විදලා මම වෙනුවෙන් ජිවිතෙන් සමුගත්තා ඒකිගේ මිනියවත් මට දැකගන්න ලැබුනේ නැහැ අදටත් ඒ  සොහොන ලගට ගිහින් එයාට පින් පමුණුවනවා.. මට කරන්න ඉතිරිවෙලා තියෙන්නේ එච්චරයි ..

එහෙම කියා ලොකු හුස්මක් සමග නිහඩව කල්පනාවට වැටුනු මිනිසාගේ නෙත්හි දිදුලන කදුළු බිදු මාර්ගයේ වාහන ආලෝකයෙන් මට පැහැදිලිවම පෙනුනා... මටත් ඒ මොහොතේ ඉක්මනින් නිවසට යෑමේ අවශ්‍යතාවයට වඩා මේ කතාවේ  අවසානය දැනගැනීමේ කුතුහලයෙන් හිටියේ ..

අන්තිමේදී මට හිරේ උසාවි වල ලගින්න සිද්ද උනා  මම සතුටින් ඒ දේවල් බාරගත්තා  මම දරාගන්න බැරි දුකකින් හිටියේ මම සියදිවි හානි කරගනී කියලා මට මුරකාරයොත් දාලයි තිබුනේ ... එත් මම අධිෂ්ඨානය කරගෙන හිටියේ ඉඩ ලැබුණු මොහොතක මමත් මගේ ජිවිතේ නැති කරගෙන එයා ඉන්න ලෝකෙකටම යනවා කියලා..

එත් එක ඉෂ්ට කරගන්න පහසු උනේ නැහැ මාව හිරකරලා තිබුනේ .. එහෙම ඉන්න අතරේ කල්පනා කරලා වැඩිවෙලාම  මම මානසික රෝගියෙක් උනා ..  මානසික රෝහලේ වසර ගනනාවක්ම හිටියා .. ගෙවල් වල උදවිය පුළුවන්තරම් වියදම් කරලා මාව ගොඩදාගත්තා ...

පස්සේ මාව පිටිසර පළාතක පන්සලක නතර කලා ඒ පන්සලේ හිටිය හාමුදුරු නමක් එක්ක අපේ නෑදෑ කමකුත් තිබුනා උන්දා තමයි මාව  ගෙන්න ගත්තේ.. අද මම මේ විදියට අනිත්‍ය තේරුම් අරගෙන ජිවත්වෙන්නෙත් ඒ හිමිනමට පින් සිද්ද වෙන්න...

හාමුදුරුවරු ඇසුරේ ඉන්නකොට මගේ හිතත් ටික ටික හරි ගියා.. මේ හැමදේම නැතිවෙන සුළු බව උන්දැලා මට තේරුම් කරලා දුන්නා .. සෑම දේම අනිත්‍යයි .. පෙරුම් පුරාගෙන ලබාගත්ත මනුෂ්‍ය ජිවිතයක් විනාශ කරගන්න එකත් මහා පාපයක්ලු ..

 හැමදේකටම පිළිතුර මරණය නෙමේය කියල අන්තිමේදී මම තේරුම් ගත්තා  මම ඒ පන්සලේ වැඩ කටයුතු වලට උදව්වෙමින් අවුරුදු කිහිපයක්ම හිටියා.. එත් මට මහන වීමේ ආශාවක් ඇති උනේ නැහැ එත් මම කවදාවත් විවාහ නොවෙන්න ස්ථිරයෙන්ම තීරණය කරගෙන හිටියේ ..

පස්සේ කාලෙක මව් දෙමාපියෝ මියැදුනා  පරම්පරාව කුලය නම්බුව බුදලේ ඔය එකක්වත් යනකොට ගිනියන්න පුළුවන් දේවල් නෙමේ .. එයාලා ගියා හිස් අතින්ම එත්  එයාලගේ නම්බුව වෙනුවෙන් මාව සදාකාලිකවම තනිකරලා .. පස්සේ මම ඒ ගෙදරට ගිහින් පදිංචි උනා ඒත් කවදාවත් මම වෙන ගැහැණු කෙනෙක් ගැන හිතුවේ නැහැ මම වෙනුවෙන් මියගිය ඒ උත්තමාවී ගැන හිත හිතා  අද වෙනකනුත් හිතින් මැරී මැරී  තනිවම ජීවත්වෙනවා
.
හරි අපරාධයක්නේ “ කථාව අවසානයේ මට  එයිට වඩා යමක්  කියන්න ඉතුරුවෙලා තිබුනේ නැහැ

අපරාධයක් නෙමේ පුතා මේක තමයි ජිවිතේ අපි ලබා උපන් හැටි අපි සංසාරේ කොතැනක හරි ලොකු පාප කර්මයක් කරලා ඇති ..

අවසානයේ මම බොහෝදේ කීවත් වැහි අහස දිහා බලාන හුල්ලන මිනිසාගේ දුක තුනී කරන්න ඒ වචන ප්‍රමාණවත් උනේ නැහැ ..

ආදරය සුන්දර දෙයක් වගේම මිනිස් හදවත්  දවා අළු කිරීමට තරම් දරුණු වන අවස්ථා ඇති බව මා ද තේරුම් ගත්තා මේ මිහිපිට ආදරය වෙනුවෙන් දුක් විදින මෙවැනි ජිවිත කියක්නම් ඇත්දැයි සිතමින් මා ඒ සොදුරු මිනිසාට සමුදී පොද වැස්සේම පිටත් උනා ...

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...