08 February 2013

පොලිස් නිලධාරීන්ට වැරදුණු කුරුමාණම නොහොත් නොලැබුනු පගාව.


වැරදුනු පොලිස් කුරුමානමක් පිළිබදව ලියවෙන තවත් එක් කථාවකි,  මෙයටද පගාවක් සම්භන්ධය  .  පගාව හැරුනුකොට වෙනත් පොලිස් කථා ඇත්නම් ඒ අල්ප මාත්‍රයකි ඒ තරමටම පගාව යන වචනය සහ පොලිස් නිළධාරියා යන නාම පදය අතර ඇත්තේ පුදුමාකාර අන්තර් සම්භන්දතාවයකි.

එහෙත් මෙයට කෙලින්ම පගාව යනුවෙන් හැදින්වීමට බැරිය . මක්නිසාද යත් පගාව යනු යම් කිසි කාර්යයක් පහසුවෙන් කරගැනීමට හෝ එහෙමත් නැත්නම්, වැරැද්දක් නිවැරැද්දක් කරගැනීම උදෙසා දෙනු ලබන දොලපිදේනියකි .  එම දොලපිදේනියේ අනිසංසයෙන් ආතුරයා ගේ වැරදි කමා කිරීමේ බලය රාජ්‍ය නිළධාරීන්ට ද පොලිස් නිළධාරීන්ට ද  පත්වීම් ලබාදෙන අවස්ථාවේදීම දෙනු ලබන වරප්ප්‍රසාදයකි.  පගාව යනුවෙන් මා හැදිනගෙන සිටින්නේ එයය ...

එහෙත් එහෙම  කිසිම හේතුවක් නැතිව යමක් අයැද සිටින්නන්ද ඇත ඒ සිගන්නන්ය ඒ ඔවුන්ගේ අසරණ කමටය. එයට පගාව යනුවෙන් හදුන්වන්නේ නැත එය හැදින්වෙන්නේ පිනට දීම යනුවෙනි.  එහෙත් නිල බලය උපයෝගී කරගෙන බලහත්කාරයෙන් යමක් ගැනීමට උත්සහ කිරීමකට යොදන වචනය කුමක්ද ? එය පගාව වත් සිගමන් යැදිමවත් නොව , එබැවිනුයි මෙයට පාගාව යන  ලේබලය ගැසීමට නොහැකි වන්නේ ,

පෙරවදන අවාසනයි යමු කථාවට,

අගනගරයට ආසන්න ස්ථානයක බොහෝ කාලයක සිට පවත්වාගෙන යන ප්‍රදේශයේ නමක් දිනාගත් භෝජනාගාරයකි.  පහත මාලයේ රටබිම හලක්ද  ඉහල මාලයේ චීන අවන්හලක්ද පවත්වාගෙන යන ඩිලාන් මහත්මයා සාමකාමී පුද්ගලයෙකි . එහෙත් ඒ සාමකාමී පෙනුම යටින් සිටින්නේ බොහොම දැඩි මතධාරි ව්‍යාපාරිකයෙකි එය ඉස්මතුවන්නේ එයට සරිලන පසුබිමක් නිර්මාණයවූ විටෙක පමණි .

ප්‍රදේශයේ බොහොම ඉහල තනතුරු දරන උදවිය බොහොමයක් ඩිලාන් මහත්මයාගේ මිතුරෝවුහ.. ඔහු ඇසුරු කලේ සමාජයේ ඉහලම පිරිස මිස පහල ස්ථරය නොවේ,

ගොම්මන් කළුවර වැටී හෝරා කිහිපයක් පසුවූ තැන චීන අවන්හලේ අතුරු සිතුරු නැතිව මිනිසුන්ගෙන් පිරීයයි.. හීන් හඩින් ඇසෙන කැලිප්සෝ සංගීත කණ්ඩායමේ සංගීතය අතරේ කල්ලි ගැසී බීර වීදුරු තොලගාන මිනිසුන් සේම තවත් කොටසක තොර තෝංචියක් නැතිව දොඩමලු වෙමින් ආත්‍රී අහාර ගන්නා පවුල්වල පිරිසගෙන්ද මෙම අවන් හලට අඩුවක් නැත.. (ඇඩ් එකක් නොවේ )

මේ මොහොතේ දෙදෙනෙක් චීන අවන්හලේ ඇනවුම් භාරකාරු වෙතට පැමිණෙමින් සිටි. මේ දෙදෙනා අවන්හලේ සිටි සැමදෙනාගේම වගේ නෙත් වලට හසුවිය . එයට හේතුව මොවුන් රාජකාරි නිළඇදුමින්ම සැරසී සිටීමයි... රචකයා ඒ අසලම අසුන්ගෙන සිටී බැවින් මොවුන්ගේ දෙබස කනවැකිමේ දුර්ලබ අවස්ථාවට හිමිකම් කීවා


“මොනවාද අපිට බොන්න ගන්න තියෙන්නේ “

“බියර් ඕනෑම වර්ගයක් තියෙනවා සර් “

“බියර් වැඩක් නැහැ අයිෂේ... අරක්කු මොනවද ? “

“ දැන්නම් තියෙන්නේ විස්කි බැරැන්ඩි ජින් වර්ග විතරයි “

“හ්ම්ම් අපිට බෝතලේකුයි, බයිට් වලට චෝප්සි එකකුයි වර්ග දෙකකින් ඩෙවල් දෙකකුයි දාලා දෙනවා ඉකමනට මෙතන බොන්න නෙවේ අපිට අරගෙන යන්න “

අදහස පැහැදිලි වේලාව නවය පසුවී අඩහෝරාවක් පමණ ගොස් ඇත , මේ වේලාවේ වයින් ස්ටෝර්ස් වසා ඇති බැවින් මත්පැන් මිලදීගත නොහැක.. මිලදී ගත හැක්කේ වැඩි මුදලකට මෙවැනි අවන්හලකින්ම පමණි . එය බොහෝ දෙනෙක් දන්නා කරුනකි එබැවින් ඔවුන් මෙතැනට පැමිණෙන්නට ඇත.  එහෙත් නිළ ඇදුමකින් පැමිණ මත්පැන් ඇනවුම් කිරීම ඒතරම් සුදුසු නොවේ .  වැඩේ එලෙසවත් නිමවුනානම් කම් නැත ..බලමු ඉතිරිය ,

ඇනවුම සුදානම් කරන තුරු විනාඩි විස්සක තිහක පමණ කාලයක් නිළධාරීන් දෙදෙනා අවන්හලේ කොනක තිබු බිලියඩ් ටේබල් එකට  ගොස් ක්‍රීඩා කරන්නට විය , සාමාන්‍ය කෙනෙකුනම් ක්‍රීඩා කිරීමට මුදලක් ගෙවිය යුතුය එහෙත් මෙම නිළධාරීන් එසේ කලේ නැත.. ඔවුන්ගේ පැමිණීම නිසා එතැන ක්‍රීඩා කරමින් සිටි තරුණයන් දෙදෙනාට එතැනින් ඉවත් වීමටද සිදුවිය ...

අඩහෝරාවකට පමන පසු ..වේටර් ...

“සර් ..ඔයාලගේ ඔඩර් එක ලෑස්ති ...

වේටර්ගේ හඩින් නිළධාරීන් දෙදෙනා එතැනට පැමිණියේ  “ බලනවා අයිෂේ දැන් පැය භාගයකටත් වැඩිය ගියා .. අපි රාජකාරි පිට ඕයි ඉන්නේ ..”  කියමිනි.

“ අද කස්ටමර්ස් ලා වැඩි දවසක් සර් , කැෂියර් බයාදු ලෙස කියයි ..
කමක් නැහැ කෝ දෙනවකො ,, බඩුද රැගෙන දෙදෙනා යෑමට සැරසේ .

“සර්.. සර් , මේ බිල් එක  ගෙවලා යන්න ..
මොන බිලක්ද ඕයි , නිළධාරීන්ගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් ගතියකි .

“සර්ලා ගත්ත බඩු වලට බිල 3100/= යි ,

“තමුසෙලාගේ බොස්ට කියනවා අහවල් පොලිසියටයි මේ ගෙනියන්නේ කියලා.”

“අනේ සර් බොස් දැන් නැහැනේ එයා ඉන්න වෙලාවක එන්න  මට මෙහෙම බඩු දෙන්න බැහැ මම කරන්නෙත් රස්සාවනේ “  කැෂියර් පින්සේන්ඩු වෙයි ..

“හරි බඩු ටික දෙනවකො අපි පස්සේ ඇවිත් බොස්ට කථා කරන්නම් “

“පොඩ්ඩක් ඉන්න සර් මම බොස්ට කෝල් එකක් අරගෙන අහන්නම් ...

දුරකථන ඇමතුම ගෙන විනාඩි දෙකක් යෑමට මත්තෙන් බොස් නොහොත් ඩිලාන් මහත්මා සුහද ශීලි සිනහවෙන් යුතුව  එතැනය...

ආ..කොහොමද පොලිස් මහත්තුරු දෙන්නා මොකෝ මේ අවේලාවේ ..

“අපි මේ බඩු වගයක් ගත්තා ඩිලාන් මහත්තයා ....

“ආ හොදා ..හොදා ඉතින් , මොකක්ද ගැටළුව

“නෑ බොස් මෙයාලා බිල ගෙවන්නේ නැතුවයි යන්න හදන්නේ ..

“හප්පුච්චියේ ඇත්තද .. මෙන්න මේ බිල ගෙවලම ගියානම් අහවරයිනෙ පිසි මහත්තයෝ ,

“ අපි මේ බඩු ගිනියන්නේ ඕ. අයි .සී , මහත්තයට ..

බලාගෙන සිටිද්දී  ඩිලාන් ගේ මුහුණේ ඉරියව් වෙනස් වන්නට විය . ඔහුගේ ගති පැවතුම් දන්නා පුද්ගලයෙක්නම් ඒ මොහොතේදී බියවිය යුතුය.. එහෙත් නිළධාරීන් දෙදෙනා තවමත් එතැනය .

“ එයාටද!!!!   ඔයාලව එවනකොට එතුමා සල්ලි දීලා නෙමේද එව්වේ ...? පොලිස් නිලධාරීන් දෙදෙනා නිශ්ශබ්දය .

“කැෂියර් මෙන්න මේ මහත්තුරුන්ගේ ඇදුමේ තියෙන අංක ලියා ගන්න කොලයක් අරගෙන .. 
කියන පරක්කුවෙන් කැෂියර් අංක සටහන් කරගනී..

“ඇයි ඩිලාන් මහත්තයා මොකක්ද මේ කරන්න හදන්නේ “ එක් නිළධාරීයෙක් අසයි .

“මම ඔය කියන ඕ .අයි.සී . මහත්තයාවනම් අදුරන්නේ නැහැ .. ඒත් ඩි. අයි. ජි , මහත්තයා මගේ යාළුවා.. මම මේ එයාගෙන් අහන්න යන්නේ දැන් වසමේ තියෙන පොලිසි වලට නොමිලේ කන්ඩ බොන්ඩ දෙන්න වෙන විදියේ නීතියකුත් ක්‍රියාත්මක වෙනවද කියලා ...”

එසේ කියමින් ඔහු දුරකථනය අතට ගෙන නම්බර් පිරිස්සයි .. පොලිස් නිළධාරීන් ගේ මුහුණු කරත්තෙට අසුවූ කජු ලෙලි මෙනි ..(කරත්තෙට අසුවූ කජුලේලි ඉතාමත් විරුපිය)

පොලිස් නිළධාරීන් දෙදෙනා ඩිලාන්ගේ අතින් අල්ලාගෙනය.. දැන් පෙර තිබු තේජාන්විත පෙනුම ඔවුන් තුල නැත..

“ඩි. අයි. ජි මහත්තයට කථා කරන්න එපා ඩිලාන් මහත්තයා අපි යනවා අපිට මුකුත් එපා ..”  දෙදෙනා හිස් අතින් යෑමට සැරසේ .. එහෙත් ඩිලාන්ගෙන් එයටද ඉඩක් නැත,

“ පිසි මහත්තුරු ආයේ ලොකු අයට කඩේ යනකොට මතක් කරලා සල්ලිත් අරගෙනම එන්න  මම මේක කරන්නේ ව්‍යාපාරයක් විදියට එහෙම නැතුව පිං තකා නෙමේ ..

යෑමට සැරසෙන නිළධාරීන් දෙදෙනාට උස්හඩින් එසේ කිව් විට තරහවකටත් වඩා ඔවුන් දැඩි ලජ්ජාවකට පත්වුවා නිසැකය.. ලැජ්ජාව නිසාමදෝ එකෙක් කට ඇරියේය ,

“අපි පස්සේ බලමු ,  එයිට වඩා දෙයක් ඔහුට කීමට ලැබුනේ නැත ,

“පස්සේ මොනවා බලන්නද බැහැපියව් වැදගත් විදියට දෙන්නම එලියට .. මම වෙසක් එකට දන්සැලක් දෙනවා ඒදාට වරෙව් නිකන් කන්න ඕනෙනම් ,

පොලිස් නිලධාරීන් දෙදෙනා අතුරු දහන්ය..

එතෙක් වේලාවක් ඒ අවට අසුන්ගෙන සිටිවුන්ට පමනක් දැකගැනීමට හැකිවූ ඒ දුර්ලභ ගනයේ සජීවී නාටකය එලෙසින් නිමාවට පත්විය..

කුමක් හෝ නිලයක් සමග බලයක් ලැබෙන්නේ අවංකව සේවය කිරීමට මිස එය පාවිච්චිකර අයුතු ඵල ප්‍රයෝජන ගැනීමට නොවේ.. එහෙත් බොහොමයක් නිළදාරින් එය හරි හැටි වටහා නොගැනීම කණගාටුවට කරුනකි ..

අවසාන වශයෙන් අවන්හලේ අයිතිකරු එතැනට විත් කියූ කථාව මතක් කිරීමට කැමැත්තෙමි ,

“ඔය බඩු ටික මට දීලා යවන්න තිබුනා.. එක මට ලොකු පාඩුවක් නෙමෙයි , ඔයිට වඩා මම අහිංසක මිනිස්සුන්ට දෙනවා . ඒත් කවදාවත් කාටවත් බයේ කප්පම් වත් පගාව වත් විදියට සත පහක් මම දෙන්නේ නැහැ . ඒක මගේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි .....


තවත් පොලිස් කතා 
පොලිස් නිලධාරියෙකුට දුන්නු දවස
පොලිස් කුඩුවක සිට

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...