“ සමරේ දැන් ඔය ඇති මෙහෙ වරෙන් “
සුනිල් කෑ ගැසුවේ වේදිකාවේ එහා කොනේ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින් හුන් සමරේටය . ඔවුන් මේ වෙහෙසෙන්නේ පසුවදා උදෑසන කර්මාන්ත ශාලාවේ පැවැත්වීමට නියමිතව ඇති උත්සවය වෙනුවෙනි . එහි සියලු සැලසුම් පැවරී තිබුනේ සුනිල් ඇතුලු නඩත්තු අංශයේ සිව්දෙනෙකු අතය ..
“පොඩ්ඩක් හිටින් මේ ටික හරියට තිබුනේ නැත්නම් හෙට ලොක්කා මගේ ඔලුව කයි “
“දැන් ඔය කොලා මදෑ දොළහටත් කිට්ටුයි මම යනවා ටිකක් ඇල වෙන්න ..” මැදි වයසද පසුකර සිටි සුනිල්ට රෑ බෝවන තුරු වෙහෙස වීම අපහසුය ඒ බව දත් අනෙක් තිදෙනාද ඔහුට බාදා කලේ නැත..
“සුනිල් අය්යේ උබ නිදාගන්න යන්නද හදන්නේ “
කොහේදෝ සිට පැමිනි අජිත් ඇසුවේය .
“ඔව් ඇයි ...
“මේ ,
කියමින් අජිත් අතේ රැදී බෑගයෙන් එලියට ඇදගත් බෝතලය සියල්ලන්ටම පෙනෙන ලෙස ඉහලට එසවූයේ තරගයකින් ජයග්‍රහණය කල ක්‍රීඩකයෙකු කුසලානය ඔසවා පෙන්නනවාක් මෙනි..
ඒ වන විටද මදක් ඈතට වන්නට ගොස් සිටි සුනිල් නැවත හැරුනේ යාන්ත්‍රිකව මෙනි .දෑස් පුංචිකර බලා බෝතලය හරි හැටි හදුනාගත් සුනිල්ගේ මුවේ ඇදුනේ සිහින් සිනහවකි . මෙතෙක්වෙලා ඔහු කෙරෙන් දිස්වූ තෙහෙට්ටු බව දැන් අතුරු දහන්ව ඇත. මත්පැනට දැඩි ගිජුකමක් දක්වන සුනිල්ගේ මේ පෙරලිය අනෙක් උන්ට අරුමයක් වුයේද නැත.
බොහෝ දිනවල කර්මාන්ත ශාලාවේ වැඩ අහවර කර යන අතරතුර මගදී ඇගේ තෙහෙට්ටුවටයි කියමින් එයට අවෟෂධ ගැනීමට සුනිල් නතර වන්නේ හන්දියේ බාර් ඒක අසල වහ මේ තිදෙනාම දනී..
“ කොහෙන්ද අජිත් මල්ලියේ “ සුනිල් නැවත හැරුනේ එසේ අසාගෙනය .
“ ලොක්කා යනගමන් දීලා ගියා වැඩේ ඉවර කරලා ගන්නය කියලා ... “ අජිත් බෝතලය පරිස්සමින් සුනිල් අත තැබුවේය
“ලොක්කා දෙයියෙක්නේ . " . කියමින් බෝතලයේ දෙතුන් පාරක් පිරිමැදී සුනිල්ගේ නෙත් ඊළගට සෙව්වේ ඔහුගේ අනෙක් සගයා වූ සමරේවය. ඔහු තවමත් පෙර ස්ථානයේම කාර්යයක නිරතව සිටි .
" ඒයි සමරේ මෙහෙ වරේන් හනිකට මේක අහවරයක් කරලා දාල නින්දක් දාමු හෙට උදේම ආයෙත් වැඩ පටන් ගන්ටත් එපැයි .. සුනිල් අඩගැසුවේ අත රැදී බෝතලය සමරේටද පෙන්වමිනි ..
කතිකා කරගත් තිදෙනා අසල ගසක් පාමුල ලක ලැස්ති කරගෙන මදුවිතෙන් සප්පායම් වෙන්න සැරසේන අතරේ අමතකවී ඇති යමක් සුනිල්ට මතක්විය .
“කෝ අජිත් මල්ලියේ කටගැස්මට මුකුත් ගෙනාවේ නැතැයි ?,
“ෂික් මට ඒක මතකෙට ආවේ නැති හැටියක් , යැයි කියමින් අජිත් පසුතැවිලිවුයේ ලොකු අත්වැරදීමක් වී ඇති බැවිනි.
“දැන් ඉතින් කොරන්ට දෙයක් නැහැ .. අනේ සමරේ පොඩ්ඩක් බලලා වරෙන් අර කුස්සිය පැත්තෙවත් මොකොවත් ඉතුරුවෙලා තියේද කියලා “
මෙම කර්මාන්ත ශාලාවේ සේවකන්ට දිවා ආහාරය සපයන්නේ මෙතැනින්ම බැවින් මෙහි මුළුතැන් ගෙයක් ඇත. එහෙත් මෙපමණ රාත්‍රී වෙනතුරු එහි කෝකියන් රැදෙන්නේ නැත , එ බව දත් සමරේ අදිමදි කළේය .
“දැන් ඔහේ ගියත් වැඩක් නැහැ උයන උන් වහලා දාලා යන්ටත් ඇති ...
“ ආ ... මට දැන්නේ මතක් උනේ අද ලොකු මහත්තයා ආව හින්දා වෙන්ටැ ලොකු මහත්තයට කෑම හදන කොල්ලා කුස්සිය පැත්තේ තවම ඉන්නවා දැක්ක ඉස්සෙල්ලා මම එතැනින් යමින් ගමන් . ,, අජිත් කිවේය .
අජිත් ලොකු මහත්තයා යනුවෙන් හැදින්වුයේ මෙම කර්මාන්ත ශාලාව අයිති කොරියන් ජාතිකයාවය . මාසේකට දෙතුන් වරකට වඩා ඔහු මෙහි පැමිණෙන්නේ නැත . එහෙත් ඒ පැමිණෙන වාරයක් පාසා ඔහුගේ කෑම සකස් කිරීම වෙනුවෙන්ම වෙනමම පුද්ගලයෙකුව රැගෙන ඒයි.. එබැවින් කර්මාන්ත ශාලාවේ සේවකයන්ද එම කෝකියා සමස සුළු හිතවත් කමක් ගොඩනගාගෙන ඇත.
“හිටහල්ලකෝ එහෙනම් මම බලාගෙන එන්ට , කියමින් සමරේ නැගිට්ටේය .
මුළුතැන්ගේ දෙසට පියනගන සමරේගේ නැහැයට දුර සිටම ප්‍රනීත ආහාරයක සුවද දැනෙන්නට විය . එබැවින් ගාටමින් සිටි සමරේ පය ඉක්මන් කලේ සිතේ බලාපොරොත්තු රදවගෙනමය.
මද වේලාවක් ඇතුලත ආහාරයක් සකසමින් සිටින ලොකු මහත්මයාගේ ආහාර සුදානම් කරන කොලුවාව සමරේගේ දර්ශන පථයට හසුකරගැනීමට හැකිවිය ..
ලිප උඩ දුම් දමමින් පිසෙන මස් ව්‍යංජනය දෙස පෙරේත බැල්මක් හෙලමින්ම සමරේ කඩහඩ අවදි කළේය .
“මල්ලි අපිට බයිට් ඒකට මොකවත් තියේද බලන්ටයි ආවේ “
සමරේ දෙස මද වෙලාවක් බලාගෙන සිටි ඔහුගේ පිළිතුර මෙය විය “ ඔයාලට හරියන මුකුත් නැහැ අය්යේ ..
බලාපොරොත්තුවූ දෑ දෑස මානයේ තියෙද්දීම ලැබුනු පිළිතුරෙන් කෝකියා කෙරෙහි සමරේගේ සිතේ හටගත් කෝපය මුවෙන් පිට නොකරම ඉවත්වීමට සිතූ සමරේ නැවත හැරුනි.. එහෙත් මුළුතැන්ගේ දොරටුව පසුකරන විටම වාගේ නැවතත් කෝකියා හඩ නැගුවේය
“ඔහොම ටිකක් ඉන්නකෝ අය්යේ ...
“ලොකු මහත්තයට හදපු මස්වගයක ඉතිරි ටිකක් නම් තියෙනවා . මම ගෙදර ගෙනියන්න හිතාගෙන රත් කළා . කැමතිනම් දෙන්නම් ...
“අනේ ලොකු දෙයක් මලයෝ මේ වෙලාවේ හැටියට .
මදවේලාවක් ඇතුලත පිසිමින් තිබු මස් ව්‍යංජනය භාජනයක දමා පාර්සල් කර ගෙනැවිත් කෝකියා සමරේ අත තැබිය .
එයද රැගෙන සමරේ මිතුරන් දෙදෙනා වෙතට පිය නැගුවේ රටක් රාජ්ජයක් ලැබුවෙකු පරිද්දෙනි .අවස්ථාවේ හැටියට මෙය ඔවුන්ට රාජබෝජනයක් මෙන් විය. එහෙත් කෝකිය මුලින්ම එය දීමට අදිමදි කිරීම ගැන සිතේ කුකුසක් ඉපදුනත් අමාශ ගතවීමට නොඉවසිලිමත්ව සිටින මත්පැන් බෝතලය ඒ සිතුවිල්ල යටපත්කිරීමට තරම් බලවත් විය.
“ඒයි මෙන්න මම උබලට නියම බයිට් එකක් ගෙනාව .. කියමින් සමරේ එය සුනිල් අත තැබුවේය .
“ මොනවාද සමරේ ..
“ජාතිය නම් දන්නේ නැහැ ලොකු මහත්තයට හදපු එකක් කියලා කුස්සියේ ඉන්න කොල්ල දුන්නේ .. කලාම බලපල්ලකො ..
කිසිදා නොකෑ මාංශයක් බව පෙනෙන්න තිබුනද ව්‍යංජනය කාගේත් සිත් ගත්තේය . විටෙන් විට කැලේ සිටින ගෝනා , මුවා , ඉත්තෑවගේ ඉදලා මීමින්නට වෙනකන්ම
සිටින සතුන්ගේ නාමයන් මස් වර්ගයට ආදේශ කරමින් තිදෙනා බෝතලය ටිකෙන් ටික හිස් කරමින් සිටියේය . මෙය ඔවුන්ට ඉහටත් උඩින්ය ව්‍යංජනය ලබාදුන් කෝකියාටත් මස් වර්ගය හිමි සත්වයාටත් පින් පමුණුවමින් තිදෙනා බෝතලයේ අවසන් බින්දුවටම තොල ගෑවේය.
පසුදිනට එළිවී උත්සවය යන අතරේ පවා තිදෙනාට පෙරදා රාත්‍රියේ අනුභව කල අහාරයේ රස දිවගට දැනෙන්නාක්මෙන් විය . ඒ තරමටම ඒ ව්‍යංජනය ඔවුන්ගේ සිත් ගෙන තිබුණි .
දිවා ආහාර වේලාව ලංවන විට සමරේ කාටත් හොරෙන් මුළුතැන් ගේ වෙත පියනැගුවේ පෙරදා රෑ අනුභව කල අරුම පුදුම ව්‍යංජනයේ කොටසක් හෝ තවම ඉතිරිව ඇත්නම් නැවත ඉල්ලා ගැනීමේ බලාපොරොත්තුවද සිත රදවාගෙනය .
සුපුරුදු ලෙසම කෝකියා මුළුතැන්ගේයි ඔහුට වෙන්කර ඇති කොටසේ උයන පිහන කටයුතුවල නිරතව සිටිනු සමරේට දැකගත හැකිවිය .
හිමින් එතැනට කිට්ටු කල ඔහු කථා කලේය...
මල්ලි ඊයේ දුන්නු මස් එකනම් හරිම රහයි , ඇත්තටම මොනවද ඒ මස් ..
පෙරදින ඇසිය යුතුව තිබුන මුත් නොඇසූ එහෙත් කෑමෙ රස දැනීමෙන් පසු සත්වයා මොකාදැයි දැනගැනීමට නොඉවසිලිමත්වූ පැනයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් සමරේ කෝකියා දෙස බැලුවේය ..
මුහුනේ ප්‍රශ්නාර්ථයක් රදවාගෙන සමරේ දෙස බැලුව මිස ඔහු පිළිතුරක් දුන්නේ නැත.
ඒ බැල්ම සමරේගේ සිතේ ඇතිකලේ නොරිස්සුමකි ., එබැවින් ඔහු නැවතත් පළමු පැනයම නැගුවේය .
“ඇයි මොනවද කියලා නොදැනද අරගෙන ගියේ ...
“ ඒකනේ මල්ලි ඇහුවේ ඒ මොනවාද ?
"මම හිතුවේ දැනගෙන ඉල්ලුවා කියලනේ ... ආන්න අර ප්‍රිසරේ යට කෑල්ලේ තියෙනවා ඇරලම බලන්න ..
දෙපාරක් නොහිතාම ප්‍රිසරේ ඇරපු සමරේ කඩි මුඩියේ එහි ඇති සිලී මලු ඇද්දේ මෙහි අගක් මුලක් හිතාගත නොහැකිවය . ඒ අතරේ එකවරම ඔහු ඇදී මල්ලක පැටලී එලියට විසිවී ආ සත්ව හිසක් සහිත කොටසක් ඔහුගේ දෙපා මුල නතර විය ..
එය දුටු විටම අමාශය කලතාගෙන ඉහලට ඇදී ආ වමනය එතැනම පිට වීමට ඉඩ නොදී ආයාසයෙන් අතින් කට තදකරගෙන එලියට දිවයන අතරේ සමරේට යන්තමින් ඇසුනේ. කෝකියා කියූ මේ වදන් කිහිපය පමණි ,
" නොදැන ඉල්ලුව විත්තියක් මම දන්නේ නැහැනේ. කොරියන් මහත්තයාගේ කියල දැනගෙනත් ඉල්ලද්දී මම හිතුවා ඔහෙලත් බලුමස් කාලා පුරුදු අය කියලා ..."
___නිර්මාණාත්මකව වෙනස් කල සත්‍ය සිදුවීමකි ____
