06 September 2013

උමතුවක වියරුව...



ධාරාණිපාත වර්ෂාවෙන් තෙත බරිතව  දිව ආ මිනිසා  අසල ඇති විශාල නිවසේ  වසා ඇති ගේට්ටුවේ එල්ලී ඇතුලට පැනීමට කිහිප වරක් උත්සහ කළේය . අවසානයේ ඔහුගේ උත්සහය සාර්ථකවී  ගේට්ටුවේ උඩ යකඩ කූරක පැටලුනු කබායද ඉරාගෙන ගේට්ටුව පාමුල වැස්සෙන් සැදී ඇති මඩ ගොහුර වෙතටම ඇද වැටුණි .

“ෂිට් කාලකන්නි වැස්ස මාව හොදටම තෙමුවා ..”

වැස්සට සාප කරමින් කොරගසමින් විශාල නිවසේ දොර වෙත පැමිණි මිනිසා  අගුලු ලා ඇති දොරට තඩි බාන්නට පටන් ගත්හ .. ඔව් ඇත්තෙන්ම එය දොරක් ව්වෘර්ත කරගැනීමට කරන සාමාන්‍ය තට්ටුවක් නොව තඩි බෑමකි ...

“හෙලෝ ..කවුරුවත් ඉන්නවද .., මම මේ වැස්සෙන් තෙමිලා ඉන්නේ හොදටම .. අනේ කවුරු හරි ඉන්නවනම් මේ දොර ඇරලා මාව ඇතුලට ගන්නවද ..ප්ලීස් ,

දොරට තඩි බෑමෙන් නොනැවතුන මිනිසා ඉන් පසුව ජනෙල් වලටද ගසමින් නිවස වටේටම  ඇවිදින්නට  පටන්ගත් අතර තොර තෝංචියක් නැතිව තනියම කියවන්නටද විය .

මේ ගෙදර කවුරුවත් නැද්ද...නැත්නම් මගේ වෙලාව අද අන්තිම නරකයි .., ගෙදර කවුරු හරි ඉදගෙන දොර අරින්නේ නැතුව ඉන්නවානම් එහෙම කරන්න එපා..ඒක හරිම කැත වැඩක්..ඔව්...හරිම කැත වැඩක්..

වරින් වර ජනෙල් වලට ගසමින් ඇවිද ගිය මිනිසා එක වරම දකින්නේ නිවස ඇතුලේ සිට ජනේලයකින් තමන් දෙස බලා  සිටිනා තරුණියක්...

“ඔක් . මැඩම් කරුණාකරලා මේ දොර ටිකකට අරින්න ..

ක්ෂනිකයෙන්ම ඒ රුව නැවතත් අතුරු දහන විය

“මැඩම් මම දැක්කා මැඩම් මගේ දිහා බලාගෙන ඉන්නවා... අනේ මැඩම් මේ දොර ටිකක් අරින්න. මම හොදටම තෙමිලා ඉන්නේ .. මේ හීතල මට ඔරොත්තු දෙන්නේ නැහැ ..ප්ලීස් මැඩම්.. ප්ලීස්

එහෙත් නිවස තුලින් කිසිදු ශබ්දයක් හෝ ප්‍රතිචාරයක් නොලැබුන තැන ... මිනිසා දිගින් දිගටම කන්නලව් කිරීමට පටන් ගත්තේය .

“අනේ මැඩම් මම හෘර්ද රෝග කාරයා.. මේ සීතලත් එක්ක මගේ අසනීපය වැඩි වේගෙනයි එන්නේ ..අනේ ප්ලීස් මැඩම්.

මද වේලාවකට පසු දිගින් දිගටම කහින්නට වූ මිනිසා පසුව එතනම බිම වාඩිවී.. මහා හයියෙන් කෙදිරි ගාන්නට පටන් ගත්තේය..

එත් සමගම දොර ඇරුණි... ඇරුන දොර අතරින් බියපත් මුහුණක් සහිතව බලා සිටින තරුණියක් පෙනෙන්නට විය

එත් සමගම නැගිට සිටගත් මිනිසා තරුණියවද පසකට තල්ලුකර දිවගොස් සාලයේ තබා ඇති සැටියේ වාඩිවිය.. පසුව නැවතත් දොර වසා දැමු තරුණිය සෙමින් ඇවිද විත් ඔහු අසල සිට ගත්තේ මේ සිදුවූදේ අදහාගත නොහැකි අයුරිනි ..

“ඇයි මැඩම් හිටගෙනම ඉන්නේ වාඩි වෙන්න “  ඔහු අසල ඇති අසුනක් වෙත අත දික්කර පෙන්වා සිටියේය .

“නෑ.. කමක් නැහැ ,

“මැඩම්ගේ ගෙදර මම ඉදගෙන ඉන්නකොට මැඩම් හිටගෙන ඉන්න එක මගේ හිතට හරි මදි වාඩි වෙන්න මැඩම්.”

“ඔහේ දැන් අසනීපෙන් හිටියේ ..?

“හක්..හක්. හා .. ඒකද මේ මැඩම් පුදුම වෙලා වගේ බලන්නේ!!!  ..හක්..හක් , මට ඉහෙන් බහින අසනීපයක් නැහැ මැඩම්.., ඒක පොඩි රගපෑමක්..  ඔව්  දොර ඇරගන්න කරපු රගපෑමක් , නැත්නම් මැඩම් කවදාවත් මේ දොර අරින්නෙත් නැහැ මට ඇතුලට එන්න වෙන්නෙත් නැහැ .. එහෙනම මම තාමත් එළියේ සීතලේ .. හක් හක් ..කොහොමද මැඩම් මගේ රගපෑම් හොදයි නේද ඒ කාලේ මම හොද වේදිකා නාට්‍ය නළුවෙක් .. මැඩම් මට අහුවුනා.. හක්..හක්.. හා ...


අමුත්තා තොර තෝංචියක් නැතිව කියවන්නට පටන් ගත්තේය.. කියවන අතර මහා හඩින් හිනහා වෙමින් විසිළු ආකාරයක් පෙන්වමින් රගදැක්විම  උමතු රෝහියෙකුගේ හැසිරීමකට සමාන විය. මද වෙලාවක් ඔහු දෙස බලා සිටි තරුණිය අප්‍රසාදයක් මුවට නංවාගෙන එතැනින් මෑත් වී ය ,


“ඔක් ..ඇයි මැඩම් යන්නේ.. මැඩම්ගේ මූනත් හොද නැහැ , ඇයි මම නරක දෙයක් එහෙම කිව්වද ..හක් හක්, ගනන් ගන්න එපා මැඩම් මගේ කට එච්චර හොද නැහැ .. මැඩම් වගේ තරුණ කාන්තාවක් ඉස්සරහදී කොහොමත්ම හොද නැහැ..හක්..හක්..හා ,  සමාවෙන්න මැඩම්..

“හරි ඒකට කමක් නැහැ ...”

“මැඩම් මම මේ අහන්න හිටියේ , මේ ගේ අයිති මෙන්ඩිස් මහත්තයාට නේද .. මම මෙතනින් යන එන ගමන් දැකලා තියෙනවා මෙන්ඩිස්  මහත්තයා මේ හෙදර ඉන්නවා ඒත් මම කවදාවත් මැඩම්ව දැකලා නැහැ..

තරුණිය ඉවත බලා සිටියා මිස ඔහුගේ පැනය ඇසුන බවක් පෙන්වුයේ නැත..

“මැඩම්.!!! .මැඩම් මෙන්ඩිස් මහත්තයාගේ දුවද ..” අමුත්තා  නැගිට උස් හඩින් ඇසු විට ඉවත බලා සිටි තරුණිය ඔහු දෙසට හැරුණි අමුත්තාට ඇයගේ මුහුණේ හැගීම් තේරුම් ගැනීමට අපහසුවුයේ නැත ..

“ඔහ්, මට සමාවෙන්න මැඩම්..හරි ..හරි මට තේරුනා මැඩම්  මෙන්ඩිස් මහත්තයාගේ බිරිද වෙන්න ඕනේ . මෙන්ඩිස් මහත්තයාත් වයසට ගියාට තාම කොල්ලා වගේනේ ..හක්.හක්… ඒක නෙමේ මැඩම් කෝ මෙන්ඩිස් මහත්තයා ඉන්නවද ?,

“නැහැ ...”

“හක්..හක්.. ඒක හොදයි මෙන්ඩිස් මහත්තයා හිටියනම් මට මෙහෙම මගේ ගෙදර වගේ ඉන්න බැහැනේ.. ඔන්න මැඩම් මම අද වැස්ස පායනකන්ම මෙහේ තමයි තරහා නැහැනේ ..

“කමක් නැහැ ..”

“මැඩම් වැඩි කතා බහක් නැහැ නේද .., එහෙම අයත් එක්ක ඉන්න එක හරිම කම්මැලි මට හරිම බෝරීන්.. අනේ මැඩම් තරහා නැතුව ඔය ටෙලිවිෂන් එකවත් දානවද ...”


තරුණිය සෙමින් ඇවිද ගොස් ටෙලිවිෂනයේ දුරස්ථ පාලකය ගෙන ටෙලිවිෂනය ක්‍රියාත්මක කරයි.. ඒත් සමගම අසුනෙන් නැගිට ඈ වෙතට ආ අමුත්තා ඇගේ අතින් දුරස්ථ පාලකය උදුරාගෙන නැවත අසුන්ගෙන..  දුරස්ථ පාලකය මගින් නාලිකා එකින් එකට මාරු වී අවසානයේ එක් නාලිකාවක යමින් තිබු ප්‍රවෘර්ති යක් වෙත අවදානය යොමු කරයි..

නැවතත් විශේෂ ප්‍රවෘර්ති,

අද දහවල් කාලයේ ඩික්මන් ප්‍රදේශයේ නිවසක තනිව විසු ව්‍යාපාරිකයෙකුව අමානුෂික ලෙස තියුණු ආයුධයකින් කපා කොටා මරා දමා ඇත.. එම දේහය පරික්ෂා කිරීමේදී හැගී යන්නේ එය විකෘර්ති මානසික රෝගියෙකුගේ ක්‍රියාවක් බවයි.. තව දුරටත් මේ පිලිබදව පොලිස් පරීක්‍ෂණ පැවැත්වෙන අතර.. එම ප්‍රදේශයේ පුද්ගලයන් හට අවදානයෙන් සිටින ලෙස දන්වා සිටිමි..

නැවතත් ප්‍රවෘර්ති සුළු වෙලාවකින් ..

“හක් හක් හා.. මිනී ගොඩ ගැහෙනවා, මැඩම් කැමති නැද්ද මිනී මැරුම් බලන්න.. මම නම් හරි කැමැති .හක්..හක්.. මම කිව්වේ මේ මිනීමැරීම් සහිත චිත්‍ර පට වලට... අපි දිගටම ටීවී එක බලමු මැඩම්,  මේක කොහොමද පොලිසිය හොයාගන්නේ කියලා ... , මම නම් කියන්නේ පොලෝසිය මේක හොයාගන්නේ නැහැ , මැඩම්ගේ අදහස මොකක්ද මේ ගැන ..?

එසේ කියා තරුණිය දෙස පිළිතුරක් අපේක්ෂාවෙන් බැලු අමුත්තාට දකින්නට ලැබුනේ තවමත් ටෙලිවිෂනය දෙස නෙත් යොමාගෙන  දැඩි බියට පත්වී ඇති ආකාරයෙන් වෙව්ලමින් සිටින තරුණියයි ..

“ඔහ්..!! ඇයි මැඩම් මේ බයවෙලා.. බය වෙන්න එපා මැඩම් මම දන්නවා මැඩම් දැන් හිතන දේ.. ඒ මිනී මරුම කලේ මම කියලා නේද මැඩම්  හිතන්නේ හක්..හක්.හා.. මැඩම්ගේ හිතීමේ නිදහසට මම බාදා කරන්නේ නැහැ ඒත් මම මැඩම්ට කිසිම කරදරයක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා  බයවෙන්න එපා මැඩම්..

අමුත්තා කතා කරන අතරම තරුණිය සෙමෙන් සෙමෙන් පිය මැන  ගොස් ස්ථාවර දුරකථනයක් තබා ඇති මේසයක් අසල නතර වී රිසිවරය අතට ගත්තෙත්  ඒත් සමගම සෝපාවේ අසුන්ගෙන හුන් අමුත්තා එය දැක අසුනෙන් නැගිට ඒ වෙත දිව ආවෙත් එකම මොහොතකදීය .

“කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා මැඩම්..  මැඩම් හදන්නේ  පොලිසියට කෝල් කරලා  ඒ මිනීමැරුම කලේ මම කියලා කියන්න නේද ..එහෙම කලොත් ..හක්..හක් ..හා .., නෑ මම පොරොන්දු උනා මැඩම්ට කරදරයක් කරන්නේ නැහැ කියලා. ඒ නිසා මැඩම් මගේ ඒ පොරොන්දුව කඩන්න වෙන විදියේ වැඩක් එහෙම කරන්න හදන්න එපා..

“නෑ මම පොලිසියට කෝල් කරන්නේ නැහැ ....”

එහෙනම් ගැටලුවක් නැහැ , මම මැඩම්ව විස්වාස කරනවා ..”

එසේ පැවසූ අමුත්තා නැවතත් හැරී පෙර සිටි අසුන වෙතම ගමන් කරන අතර තරුණිය දුරකථනය ගෙන අංක කිහිපයක් කරකවා ඇමතුමක් ගෙන සිහින් හඩින් කතා කරන්නට පටන් ගත්තේය. අසුන වෙත ගොස් වාඩිවී දුරකථනයට පිළිතුරු දෙමින් සිටින තරුණිය දෙස මද වෙලාවක් බලා සිටි අමුත්තා හඩක්  නොනැගෙන සේ නැගිට ඇයට නොඇසෙන සේ ඇවිද ගොස් ඈ පිටුපසින් සිට ඈගේ කතාවට කන් යොමුකර න්නට විය..

“මම තනියම ඉන්නේ අම්මා .. මට හරි බයයි  මේ මිනිහා හරි අමතුයි .. කථාවත් වෙනස්..ප්ලීස් අම්මා මේ වෙලාවේ මාව තනි කරන්න එපා .. මට හරි බයයි ..

ඈගේ කතාව හොරෙන් අසා සිටි අමුත්තා ඇයට නොඇසෙන සේ හිමින් ඇවිද ගොස් නැවතත් පෙර සිටි  අසුනේම හාන්සි විය .. , ඒත් සමගම ක්‍රියාත්මකව තිබු ටෙලිවිෂනයේ නැවතත් මිනීමැරුම ගැන  ප්‍රවෘර්ති යක්  විකාශය වෙන්නට පටන් ගත්තේය ..

නැවතත් විශේෂ ප්‍රවෘර්ති ,

ඩික්මන් ප්‍රදේශයේ ඝාතනයට සමාන ඝාතනයක් එයිට පැය කිහිපයකට  පසුව එයිට නුදුරු තවත්  ස්ථානයක සිදුවී ඇති බවට සාක්ෂි ලැබී තිබේ . මේ මරණ දෙකම එකම ආකාරයට කපා කොට ඝාතනය කර ඇති බැවින් එකම පුද්ගලයෙකුගේ ක්‍රියාවක් බැව් අනුමාන කල හැක. මෙය මානසික රෝගී උමතු පුද්ගලයෙකුගේ මිලේජ්ජ ක්‍රියාවක් බවට අනුමාන කරන අතර  එම මිනීමැරුමේ රූපරාමු තව ස්වල්ප මොහොතකින් විකාශය කෙරේ 

නැවතත් ප්‍රවෘර්ති සුළු වෙලාවකින් ..බලාපොරොත්තු වන්න ,

ප්‍රවෘර්ති ඇහෙන ඇහෙන පාරට මැඩම් වෙව්ලනවා.. ඒ උනාට මම හරි ආසයි මේ වගේ ඉන්ටරෙස්ට් නිව්ස් එකක් බලන්න.. ,  බය වෙන්න එපා මැඩම්..මම කිව්වනේ මගෙන් මැඩම්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියලා ... හක් ..හක්.., හරි මැඩම් ගිහින් මේ බයයි සීතලයි දෙකම නැති වෙන්නත් එක්ක හොද කෝපි කෝප්පයක් හදාගෙන එනවද ..

තරුණිය කිසිත් නොපවසා සෙමෙන් සෙමෙන් මුළුතැන්ගෙය දෙසට පියමනින අතර අමුත්තා තවමත් නොනැවති වසින මහා වර්ෂාව දෙසට නෙත් යොමයි ...

මද වෙලාවක් ගොස් මුළුතැන් ගෙයි සිට හැරෙන තරුණිය දකින්නේ තමන් අසලම සිටගෙන සිටින අදුරු සෙවනැල්ලකි ..ඒත් සමගම බියවී මහා හඩින් කෑ ගසන ඇය අතින් දියරයක් සහිත කෝප්පය බිම වැඩි සී..සී කඩ විසිරේ ...,

“අඃ මැඩම්... මැඩම්.. කෑ ගහන්න එපා මේ මම.. මැඩම් පරක්කු ඇයි කියලා බලන්නයි මම ආවේ .. මට සමාවෙන්න .

තවමත් දැඩිව බියවී ඇති තරුණිය වේගයෙන් හුස්ම ගන්නා අතර දියෙන් ගොඩ දැමු මත්සයෙකු සේ වෙව්ලන අයුරු අමුත්තා නිරීක්ෂණය කළේය ,

“මැඩම් බොරුවට බය වෙනවා.., මම කිව්වනේ මගෙන් මැඩම්ට කරදරයක් නැහැ කියලා.. අපරාදේ කෝප්පෙත් බිදිලා.. කමක් නැහැ..   මැඩම් කෝපි කෝප්පයක් හදාගෙන  එන්න එතකන් මම ගේ ඇතුලට වෙලාම ඉන්නම් ..

නැවත  සිටි ස්ථානයටම පැමිණි අමුත්තා ටෙලිවිෂනයේ දුරස්තපාලකය ගෙන නාලිකා කිහිපයක් මාරු කර බලා නැවතත් සුපුරුදු නාලිකාවේම නතර කර .. ගේ තුල මදක් සක්මන් කරමින් සිට නැවත මුළුතැන්ගෙය දෙසට හැරුණි .

“මැඩම්!!!..මැඩම්ට කෝපි කෝප්පයක් හදන්න ගොඩාක් වේලාව යනවා නේද ..හක්..හක්.. කමක් නැහැ හිමිට හදාගෙන එන්න මම ඔය පැත්තට එන්නේ නැහැ .මැඩම් බය වෙනවනේ .හක්. හක්  අහ්හ් ඒක නෙමේ මැඩම් එතකන් මම මැඩම්ලගේ දුරකථනය ටිකකට පාවිච්චි කලාට කමක් නැහැනේ ..

එසේ පැවසූ අමුත්තා දුරකථනය සහිත මේසය දෙසට ඇවිද ගොස් රිසිවරය අතට ගෙන අංකයක් කරකැවිය..

“ඔහ්..මේ ෆෝන් එක කැඩිච්ච එකක්නේ... තවම වයර් එකට සම්බන්ද කරලත් නැහැ .. එතකොට කොහොමද මැඩම් මේ ෆෝන් එකෙන් අම්මට කතා කලේ ..
“මැඩම්..මැඩම්..

කලබලවූ මිනිසා දුරකතනයද අතින් ගෙන මුළු තැන්ගෙය දෙසට යෑමට හැරුනා පමණි දුරකථනය තබා තිබු මේසය යටින් ගලා ඇවිත් තිබු දියරයක් පයට පෑගී ඔහු එතැනම ලිස්සා වැටුණි..

“ඔහ් මයිගෝඩ් බ්ලඩ් ...

අමුත්තා ලේ පාර ගලා එමින් තිබු දෙසට නැගිට ඇවිද යන විට ඔහුට දකින්නට ලැබුනේ මේසය කෙලවරේ අයිනක උඩු බැලි අතට වැටී සිටින මිනිසෙකි  කපා කොට අමානුෂික ලෙස ඝාතනය කර තිබුනද ඔහු කවුදැයි හදුනා ගැනීමට අමුත්තාට අපහසු වුයේ නැත ..

“ දෙයියනේ මෙන්ඩිස් මහත්තයා ..ඔයාට කවුද මේ අපරාදේ කලේ ...

ඒත් සමගම ටෙලිවිශනයේ නැවතත් ප්‍රවෘර්ති ආරම්භ විය

නැවතත් විශේෂ ප්‍රවෘර්ති ,

ඩික්මන් ප්‍රදෙසට නුදුරුව අමානුෂික ලෙස තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබු  මනුෂ්‍ය ඝාතනයේ රූප රාමු දැන් අප වෙත ලැබෙමින් පවතී .. ඝාතකයා එම මරණය සිදු කරන ආකාරය එම නිවසේ ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති දර්ශනයක් අප වෙත ලැබී ඇත..පහතින් දර්ශනය වන්නේ එම රූප රාමුවයි ..

තැතිගෙන සිටි අමුත්තා හුන් තැනම සිට එම රූප රාමු නිරීක්ෂණය කළේය ...

“ඔහ්..දෙයියනේ මැඩම් ඔයා ...

ඔහුට කියන්නට ලැබුනේ එපමණකි ..කන අසලින්ම ඇසුණු සියුම් සබ්දය දෙස හිස හරවා බැලු ඔහුට දැකගන්නට ලැබුනේ .. ඔහු පිටුපසට වී  තියුණු මන්නයක් අතැතිව සිටින තරුණියගේ වියරු මුහුණයි .. ඔහු ජිවිතයේ දුටු අවසානම දසුන එයම විය ..

නැවතත් ප්‍රවෘර්ති

 රූපරාමු වලට අනුව ඝාතකයා තරුණියකි.. ඈ දරුණු උමතු රෝගයකින් පෙලෙන අතර මානසික රෝහලකින් පැන ආ යුවතියක් බව වාර්තාවේ ..  ඈ ගැන තොරතුරත් ඇතොත් කරුණාකර ලගම ඇති පොලිසියට දන්වන්න ..

නැවතත් ප්‍රවෘර්ති  සුළු වෙලාවකින් ..බලාපොරොත්තු වන්න ,

එහෙත් ඒ වන විටද අමුත්තාගේ අවසන් හුස්ම පොද වාතලයට මුසුවී අවසන්ය...

















You might also like:

Related Posts Plugin for WordPress, Blogger...