මුරකරුගේ රාත්‍රිය
හමා යන සීත සුළග
රැහැයියන්ගේ ගීත නාදය
ඇගේ හැපෙන සිත පිනි බිදු
කියා දේවි රැයක අරුමය
කොළ සෙවිලි කල පුංචි ගෙපැලේ
මැටි ඇතිරූ බිම පැදුරකට වි
නිදනු ඇත මගේ මහළු බිරිදත්
කිසි වෙකුත් නැති පාලු යාමයේ
පුරා තිස් වසරකුත් කාලය
ලය හොවා මා දැඩි කෙරූ පුතු
රජේකු වූ දා අපව මදිවී
හැර ගියා මෙහි අපව තනිකර
මහලු අම්මත් මමත් තනිකර
ගියත් පුතුනේ තරහා නෑ මම
පුරවා ලන්නට ඇයගේ කුසවත්
ගියෙමි රැකුමට මහල් නිවෙසක්
නිවෙස ඉදිරියේ ගේට්ටුව ලග
කාකි ඇදුමින් ඇග වසාගෙන
රැය පහන් වන තුරුම හිටගෙන
හිදිමි මම අපේ දිවි රකින්නට
විසල් නිවසක සියලු දේපල
රකින මම වෙමී මහලු මුරකරු
පලවා හැරුමට සොර සතුරු කැල
පමණි ඇත්තේ විදුලි පන්දම
සිත වැහි බිදු ගත තෙමන විට
වාරු නැති අත පය ගැහෙන විට
ඇසට නැගෙනා කදුළු බිදුවක්
දකින්නෙත් සද එලිය පමනයි
දුකක් නැහැ මගේ සිතේ කොතැනක
එහෙත් එක් පැතුමක් පමණි ඇත
මා මැරුන පසු මගේ ගැහැණිය
රැකබලා ගන්නේ කවරහුද
සියලු නොපෙනෙන දේවතාවුනි
එක දෙයක් ඇත ඉල්ලුමට මට
මා මියෙන දින මාත් සමගින්
ඇයව කැදවන් යන්න අවසර .
ප.ලි .
දිනක් විශේෂිත
පුද්ගලයෙක් හමුවීමට අපට යෑමට සිදුවිය. රාත්‍රී කාලයේ ඔහුගේ නිවසේ ගේට්ටුව ලග ඔහු
පැමිණෙන තුරු රැදී සිටි සුළු කාලය තුල එතැන
සිටි මහලු මුරකරු හා දොඩමළු වූ දෙබස් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.
“ මගේ පුතාට
හොදට ඉගැන්නුවා මහත්තයෝ ඒයා දැන් ඉංජිනේරුවෙක් කසාදයක් කරගෙන ගාල්ල පැත්තේ ගෙයක්
අරගෙන පදිංචි වුනා. දැන් අවුරුදු පහකින්වත් අපිව බලන්න ආවෙත් නැහැ එයා ඉන්න තැනක්
අපි හරියට දන්නෙත් නැහැ කොහොම හරි කමක් නැහැ මහත්තයෝ පුතා සතුටින් ඉන්නවානම් අපිට
ඒ ඇති “
“මගේ හිතේ තියෙන්නේ එක දුකයි ...ඒ කවදාහරි මම මරුන
දවසක මගේ ගෑනිට යන කලදවස ගැන.. ඒ වෙනුවෙන් මම මේ පඩියෙන් කීය.කීය.. හරි ඉතුරු
කරනවා මම නැති කාලේක උන්දැට ජිවත් වෙන්න .. එත් මම කැමති කවදාහරි මම මැරෙන දවසෙම
උන්දැත් මියදෙනවනම් .. එතකොට දුකක් නැහැ මහත්තයෝ ...!!!
